9.3 - පරිණාමය

පරිසරයේ ඇති වන වෙනස්වීම්වලට ඔරොත්තු දීම සඳහා ජීවීන්ගේ දේහ තුළ ද ඊට අනුරූපව ක්‍රමික වෙනස්වීම් ඇති විය යුතු ය.

පරිසරයේ අඛණ්ඩව සිදු වන වෙනස්වීම්වලට අනුරූපව ජීවී දේහ තුළ ක්‍රමිකව ඇති වන වෙනස්වීම් නිසා, එම පරිසරය තුළ ජීවීන්ගේ පැවැත්ම තහවුරු වේ.

පෘථීවිය මත බිහි වූ මුල් ජීවින් මෙලෙස කාලයත් සමග වෙනස් වී සංකීර්ණ ජීවීන් බවට පත්ව ඇත.

ආරම්භක සරල ජීවීන්ගේ සිට වර්තමාන සංකීර්ණ ජීවීන් දක්වා වූ ක්‍රමික විකාශනය පරිණාමය ලෙස හැදින්වේ.

පරිණාමය පිළිබඳව නිගමනවලට පැමිණීමේ දී විවිධ සාක්ෂ්‍ය සලකා බැලේ.

  • භූගෝලීය සත්ත්ව ව්‍යාප්තියෙන් ලැබෙන සාක්ෂ්‍ය
  • සංසන්දනාත්මක ව්‍යුහ විද්‍යාවෙන් ලැබෙන සාක්ෂ්‍ය
  • පොසිල අධ්‍යයනයෙන් ලැබෙන සාක්ෂ්‍ය

මෙම සාක්ෂ්‍ය අතරින් පොසිල මගින් ලැබෙන සාක්ෂ්‍ය ඉතා වැදගත් වේ.

 

පොසිල

සංරක්ෂණය වූ ශාක හා සතුන්ගේ දේහ කොටස් විවිධ කැණීම් කටයුතුවල දී හමුවේ. යම් ආකාරයකට සංරක්ෂණය වුණු ජීවියකු හෝ ජීවියකුගේ දේහ කොටසක් හෝ ඔවුන්ගේ සලකුණු (පා සලකුණු, කවචවල සලකුණු) සංරක්ෂිතව පවතින ප්‍රදේශ පොසිලයක් ලෙස හැඳින්වේ. එබඳු පොසිල පාෂාණ තුළ, අයිස් තුළ, පීට් නිධි තුළ, ගිනිකඳු අළු තුළ මෙන් ම මඩ තුළ ද හමු වී ඇත.

පොසිල සඳහා නිදසුන් පහත දැක්වේ.

  • සත්ත්වයකුගේ සැකිල්ලක්, දතක් හෝ කවචයක් වැනි තද කොටසක් -
    මෙහි දී මුල් අස්ථීයේ ඇති කොටසක් දිරාපත් වී එම සවිවර කොටස් තුළට රොන්මඩ එකතු වේ. පසුව අධික පීඩනයකට ලක්වී අස්ථීමය පාෂාණයක් නිර්මාණය වේ. එම පාෂාණය පොසිලයක් ලෙස සැලකිය හැකි ය.
  • මියගිය ඇතැම් සතුන් මඩ තුළ තැන්පත් වේ. පසුව එම සත්ත්වයාගේ දේහය දිරාපත් වී දේහ කොටස් වායු ලෙස පිට වී යයි. එවිට සෑදෙන සත්ත්ව දේහයට සමාන හිස් අවකාශයෙහි සිලිකා (වැලි) වැනි දෑ තැන්පත් වේ. එමගින් සත්ත්වයාගේ හැඩයට සමාන පොසිලයක් සෑදේ.
  • ශාක රෙසින තුළ (ශාකවලින් ස්‍රාවය වන දුම්මල, මැලියම් වැනි දෑ) ඇතැම් කෘමි සතුන්ගේ බාහිර සැකිලි සංරක්ෂණය වී පොසිල බවට පත් ව ඇත.
  • මැමත් වැනි ලොවින් තුරන් වූ සතුන්ගේ ආරක්ෂිත සිරුරු ධ්‍රැවාසන්න රටවල අයිස් තුළ හමු වේ.
  • ආන්තික පරිසර තත්ත්ව හේතුවෙන් ආරක්ෂා වී ඇති ඩයිනෝසර් වැනි සත්ත්වයින්ගේ පා සලකුණු ද පොසිල ලෙස සැලකේ.

ආදර්ශ පොසිලයක් නිර්මාණය කිරීම සඳහා ක්‍රියාකාරකම 9.1හි නිරත වන්න.

ජීවමාන පොසිල

පරිණාමිකව ඉතා පැරණි සම්භවයක් සහිත ඇතැම් ජීවීන් වර්තමානයේ ද ජිවත් වේ. ඔවුහු වසර මිලියන ගණනාවක් තිස්සේ විවිධ දේශගුණික හා පාරිසරික වෙනස්වීම්වලට මුහුණ දුන්න ද අතීතයේ සිට පැවති දේහ ලක්ෂණ බොහොමයක් එලෙස ම පවත්වාගෙන ජීවත් වෙති. එවැනි ජීවීන් ජීවමාන පොසිල ලෙස සැලකේ.

මීට වසර මිලියන 70කට පමණ පෙර වඳ වී ගොස් ඇතැයි විශ්වාස කළ සීලාකැන්ත් නම් මත්ස්‍යයා 1938 දී දකුණු අප්‍රිකාව අසල මුහුදේ සොයා ගන්නා ලදී. එම මත්ස්‍යයාගේ දේහ ලක්ෂණ වසර මිලියන ගණනකට පෙර සිටි මත්ස්‍යයාට සමාන බව විද්‍යාඥයන් විසින් සොයාගෙන ඇත. එනම් සිලාකැන්ත් මත්ස්‍යයා ජීවමාන පොසිලයකි.

ත්‍රිකුණාමලයේ තඹලගමුව බොක්ක ආශ්‍රිත ව වාසය කරන ලාම්පු බෙල්ලා ද එබඳු ජීවමාන පොසිලයකි. තව ද බත්කූරා, කැරපොත්තා සහ පෙනහැලි මත්ස්‍යයා ද ජීවමාන පොසිල සේ සලකයි. ගිනිහොට නම් මීවන ශාකය ජීවමාන ශාක පොසිලයක් ලෙස සැලකේ.

පෘථීවිය මත එක් එක් යුගවල දී සෑදුණු පාෂාණ, ස්තර වශයෙන් සකස් වේ. එම ස්තර තුළ ශාක හා සත්ත්ව පොසිල ද අඩංගු වේ. මුලින් ම තැන්පත් වූ පාෂාණ තට්ටුව, පතුලේ ම පවතින අතර එහි වඩා පැරණි පොසිල පවතී. මෙලෙස පාෂාණ තට්ටු එකිනෙක මත තැන්පත් වන අතර මෑත යුගයේ පොසිල ඉහළ ම පාෂාණ ස්තරයේ පවතී.

පාෂාණ ස්තරවල ඇති පොසිල අධ්‍යයනයෙන් පෘථීවියේ විවිධ යුගවල ජීවත් වූ ශාක හා සතුන්ගේ අනුපිළිවෙළ අනාවරණය කළ හැකි ය. එමගින් ජෛව පරිණාමය පිළිබඳව අදහසක් ලබා ගත හැකි ය.

අශ්වයාගේ පරිණාමය

පොසිල සාක්ෂ්‍ය මගින් ජීවීන්ගේ පරිණාමය පිළිබඳව නිගමනවලට එළඹීමේ දී ගැටලූ රැසක් මතු වේ. අදාළ ජීවියාගේ සෑම පරිණාමික අවධියක් ම නිරූපණය වන පරිදි පොසිල සාක්ෂ්‍ය නොලැබීම මීට ප්‍රධාන හේතුවයි. බොහෝ ජීවීන් පිළිබඳව පොසිලවලින් කියැවෙන වාර්තා අසම්පූර්ණ බැවින් පොසිල සාක්ෂ්‍ය යනු තැනින් තැන පිටු ඉරී ගිය කතා පොතක් වැන්නකි.

නමුත් අශ්වයාගේ පරිණාමික ඉතිහාසය සම්පුර්ණයෙන් ම අධ්‍යයනය කිරීමට තරම් ප්‍රමාණවත් පරිදි පොසිල සාක්ෂ්‍ය ලැබී ඇත. එනම් අශ්වයාගේ පරිණාමික ඉතිහාසය ඉතා ම හොඳින් අනාවරණය කර ගැනීමට හැකි වී ඇත.

නූතන අශ්වයාගේ පූර්වජ ජීවියා මීට වසර මිලියන 54කට (වසර 54*10 6) පමණ පෙර උතුරු ඇමෙරිකාවේ වාසය කළ සත්ත්වයකු ලෙස සැලකේ. 40 cm ක් පමණ උස ඇති කුඩා බල්ලෙකු වැනි මෙම සත්ත්වයාට ද දිවීමේ හැකියාව තිබූ බවත් පාද ඉතා කුඩා වන අතර පූර්ව ගාත්‍රාවල ඇඟිලි තුනක් පැවති බවත් සොයාගෙන ඇත. තව ද මෙම ඇඟිලි සිරස්ව පිහිටීම සුවිශේෂි වූ ලක්ෂණයකි.

මෙම සත්ත්වයා නූතන අශ්වයා දක්වා පරිණාමය වීමේ දී ක්‍රමික වෙනස් වීම් රැසක් සිදු වී ඇත. එහි දී සංචරණ ක්‍රමයේ සහ ආහාර ලබා ගන්නා ක්‍රමවල ක්‍රමික වෙනස්වීම් සිදු විය.