අතීතයේ අප සමාජය තුල ජිවත් වූ මිනිසා තම එදිනෙදා ජීවිතය ඔවුන්ට ගත කිරීමට අවශ්‍ය මිල මුදල් ආදිය සොයාගැනීම සදහා විවිධාකාරයේ වෘත්තීන් වල නිරත විය. එහි දී ඔවුන් පිරිසක් වශයෙන් එකට එකතු වී පතල් හැරීම තුලින් මිනිරන්, මැණික් ආදිය ගොඩ ගැනීම තුලින් ඒවා විකුණා එයින් ලැබෙන මුදල විය පැහැදම් කර තම අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට පුරුදු විය. එම කාර්යයයේ නිරත වීමේ දී ඔවුන්ට විවිධ දුක් කරදර වලට මුහුණ දීමට ද සිදු විය. එම කරදර තම ජිවිතයේ ම කොටසක් කරගත් ඔවුන් එම කරදර උපයෝගී කොට ගනිමින් කවි නිර්මාණයට ඉබේ ම හුරු පුරුදු විය. එහි දී ඔවුන්
1. පතල් හැරීමේ දී
2. දෝනාවේ ගමන් කිරීමේ දී
3. මිනිරන් ගැනීමේ දී
4. ආහාර අනුභව කිරීමේ දී
5. මැණික් ගැරීමේ දී
6. දබරය කරකැවීමේ දී
මේ ආකාරයේ දී ඔවුන්ගේ වැඩ කිරීමේ දී තම වෙහෙස මහන්සිය ද නිවා ගැනීම සදහා ඔවුන් මෙම කවි ගායනය තුලින් බලාපොරොත්තු විය. මේ ආකාරයේ කටයුතු වල දී ඔවුන් පහත ආකාරයේ කවි ගයනා කරන ලදී.
1. කරව නැල්ල ස්ටේෂම ටිකට් දෙන
රුවන් වැල්ල කන්තෝරුව ලියුම් දෙන
කොටියා කුඹුර කඩමණ්ඩිය බඩු කිරන
මහ බෝගල පතලයි අපි වැඩ කරන
2. ආවා තමා පතලේ වැඩ කරන්ට
බැරුවා තමා ඉනිමං වල බැස යන්ට
මැරුවා වගේ ලග ඉදගෙන කියන කොට
බැරුවා දෙවියනේ කළුගල් බිදින්නට
3. දබර කරනවා අත් දෙක වෙව්ලනවා
නිතර ඇවිත් ලෝඩර දත් මිටි කනවා
වතුර ඇදලා අත් වල කරගැට එනවා
මිතුර පතල් වැඩ ගැන මගේ බඩ දනවා
4. දුම්බර කන්ද පාමුල මිනිරන් පතලේ
බැසලා බඹ තිහක් කළුගල් සිදුරු කලේ
බස්නාහිරට දෝනා දෙක ගමන් කලේ
විස්තර කියමි දුම්බර මිනිරන් පතලේ
5. ඉන්නෙත් දුම්බරයි මහ කළු ගලක් යට
කන්නෙත් කරවලයි රට හාලේ බතට
බොන්නෙත් බොර දියයි පූරුවේ කළ පවට
යන්නේ කවදාද මව්පියෝ බලන් නට
6. කළු වන් කළු රුවයි මන්ගෝ දිලිසෙන වා
මිනිරන් තෝරන්න දින ගණනින් යන වා
මිනිරන් තේරුවොත් ලඳ නුබ කළු වෙන වා
ලගනම් ගෙදර මුර ඇරුනම මම එන වා
7. දඩි බිඩි ගගා කරනා වැඩ රට වටියේ
රට වෙඩි දමා කඩනා කළු ගල් කැටියේ
මඩ යට තිබෙනා මිනිරන් ගන්නා සැටියේ
උඩ වැඩ කරනා අයට දෙන්නේ අඩු පඩියේ
8. මිනිරන් පතල හරියට අපේ ගෙදර වගේ
කෝකි අයියා හරියට මෑණියෝ වගේ
ලියන අප්පු පවුලට ලොකු අයියා වගේ
ලෝඩර ගොල්ල හරියට යම පල්ලා වගේ
9. සතර වරම් දෙවියෝ මගේ දුක බැලුවා
මිනිරන් පතල ඇතුළත මම වැඩ කෙරුවා
දවස් ගණන් නොකා නොබී දිවි ගෙව්වා
මිතුර ඔබත් මම සමග ම කල් ගෙව්වා
10. මහ බෝ ගලට ඇවිදින දුකා
ගැට්ට නැති මුට්ටියේ උයා කකා
පනත් විස්ස ණය වෙනකොට සිතට දුකා
සතර වරම් දේවි පිහිටෙන් නොවන දුකා
මේ ආකාරයට පතල් තුළ තම ජිවන අරගලය සිදු කිරීමේ දී ඔවුන් මේ ආකාරයේ කවි ගයනා කළහ. මෙම කවි පාසල් වයසෙහි පසුවන ඔබ දැන උගෙන සිටීම ඔබේ ඉදිරි අධ්‍යාපනයට මෙන් ම සමාජීය තොරතුරු පිළිබද හදුනා ගැනීමට ඉතා වැදගත් වනු ඇත.