සිංහල සංස්කෘතියේ මුදුන් මල්කඩ බඳු වූ සිංහල අලුත් අවුරුද්ද

සිංහල සංස්කෘතියේ මුදුන් මල්කඩ බඳු වූ සිංහල අලුත් අවුරුද්ද

සිංහල සංස්කෘතියේ මුදුන් මල්කඩ බඳු වූ සිංහල අලුත් අවුරුද්ද


සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීම නව වසරක උදාව ලෙස සළකා ඒ වෙනුවෙන් උත්සව පැවැත්වීම සිංහල ජනතාව විසින් අතීතයේ සිටම සිදු කරගෙන එනු ලබයි. මෙම දිනය බක් මස හෙවත් අප්‍රේල් මස 14 වන දිනට යෙදෙයි. ආර්ථික අපහසුතා හා කාර්ය බහුලත්වය මධ්‍යයේ වුවද "අලුත් අවුරුද්ද " වර්තමානයේද සැමරීම අගය කල යුත්තකි.

නිවාස අලුත් වැඩියා කිරීම, අලුත් ඇඳුම් පැළඳුම් මිලදී ගැනීම, අවරුදු රස කැවිලි සැකසීම ආදී බොහෝ කටයුතු සිදුකරමින් සිංහල ජනතාව "අලුත් අවුරුද්ද " පිලිගැනීමට සුදානම් වෙති. මිනිසා පමණක් නොව ස්වභාව ධර්මයද "අලුත් අවුරුද්ද " පිලිගැනීමට සුදානම් වන බව කාටත් වැටහෙන කරුණකි. ගස් අතු ඉති ඵලින් බර වීම, විශේෂයෙන් කජු පුහුලන් ඉදී දසතම සුවඳවත් වීම, එරබදු මල් පිපීම, මෙන්ම කොහාගේ "කොහෝ කොහෝ" නාදය දසත පැතිරීම මේ සඳහා උදාහරණ වේ.

අලුත් අවුරුද්දේ තවත් සුවිශේෂී තැනක් ගන්නා අංගයකි අවුරුදු රස කැවිලි. කිරිබත්, අතිරස,කොන්ඩ කැවුම්, ආස්මී, අලුවා, කොකිස් හා අග්ගලා ආදී රස කැවිලි ගෘහනියන් අතින් "අලුත් අවුරුද්දට " දින කිහිපයකට පෙර පිළියෙළ වේ. එසේම සෑම නිවසකම පාහේ කෙසෙල් කැනක්ද ඉදී සුවඳ හමයි. එසේම මැලේ අච්චාරු, හත් මාළුව වැනි ව්‍යන්ජනද අවුරුදු කෑම මේසය සඳහා නොවරදින ආහාරයන් වේ. "අලුත් අවුරුද්දේ " අතිශය වැදගත්ම අංගය අවුරුදු චාරිත්‍ර ලෙස හැඳින්විය හැක. ලිප ගිනි මෙලවීම, ආහාර අනුභවය, ගනුදෙනු කිරීම, හිස තෙල් ගෑම, රැකිරක්ෂා සඳහා පිටත්ව යාම ආදී බොහෝ චාරිත්‍ර එම අවුරුදු චාරිත්‍ර අතර වේ. මෙම අවුරුදු චාරිත්‍ර අපගේ ජිවිතයට බොහෝ යහපත් ගුණාංග එකතු කර ගැනීමට අවස්ථාව සලසයි. සහයෝගයෙන් කටයුතු කිරීම, නියමිත වේලාවට කටයුතු කිරීම, කළගුණ සැළකීම, වැඩිහිටියන්ට සැළකීම ආදී ගුණාංග ඒ අතර වේ.

"අලුත් අවුරුද්දේ " දී වැඩිමනත්ම සතුටින් පසුවන්නේ කුඩා ළමුන්ය. පංච දැමීම, ඔළිඳ කෙළිය, ඔන්චිලි පැදීම, ආදී ජන ක්‍රීඩා වලින්ද රතිඥ්ඥා දැල්වීම ආදියෙන්ද ඔවුහු මෙම සමයේදී සතුටු වෙති. "බක් මහ උළෙල" පැවැත්වීමෙන් තමා සතු ක්‍රීඩාශීලීත්වය ප්‍රදර්ශනය කිරීමට "අලුත් අවුරුද්ද " මහඟු තෝතැන්නකි. කොට්ටා පොර, අලියාට ඇස තැබීම, කණා මුට්ටි බිඳීම, අන්ධයාට කිරි කැවීම ආදී අංගයන් වර්තමානයේ බක් මහ උළෙලකදී සුලබ දසුනක් වුවද පොර පොල් ගැසීම, ජන ගායනා, තිරික්කල් රේස්, ආදී සම්ප්‍රදායික ජන ක්‍රීඩා අද දක්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. ජය පරාජය එකසේ විඳ දරා ගැනීමට හුරුවීමට මෙම අවුරුදු ක්‍රීඩා වලින් අවස්‌ථාව සලසයි.

"අලුත් අවුරුද්දේ " තවත් වැදගත්ම අංගයක් වන්නේ නෑගම් යාමයි. නෑයන් සියලු දෙනා එකට එකතු වී සතුටු වීමට මෙන්ම තෑගි භෝග හුවමාරු කරගැනීමටද මෙහිදී අවස්ථාව සැලසේ. සියල්ල වාණිජකරණය වූ ලෝකයක "සිංහල අලුත් අවුරුද්ද" ද වාණිජකරණය වීම වැළැක්විය නොහැකි වී ඇත. ඇතැම් වෙළඳ ව්‍යාපාරිකයන් තම ව්‍යාපාර අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා "සිංහල අලුත් අවුරුද්ද" යොදා ගැනීම කණගාටුවට කරුණකි. නමුත් ඔවුන් විසින් "සිංහල අලුත් අවුරුද්දේ" නියම අර්ථය වටහා ගත යුතුය. වර්තමාන පරම්පරාව විසින් සිය ඉදිරි පරම්පරාව සඳහා තම සංස්කෘතිය දායාද කිරීම සඳහා "සිංහල අලුත් අවුරුද්ද" මහඟු අවස්ථාවකි. එබැවින් අප සියලු දෙනාම ඉදිරි පරම්පරාවෙන් ඉහත සඳහන් කළ යහපත් මානුෂීය ගුණාංග බලාපොරොත්තු විය යුතු නම්, හෙළයේ මහා මංගල්‍යය වූ මෙම "සිංහල අලුත් අවුරුද්ද" ඔවුන් සඳහා නියමාකාරයෙන් දායාද කරමු.


කතෘ : Hashan Madhumal
ලිපිය : සාමාන්‍ය ලිපි
කියවූ ගණන : 10,445
කැමති ගණන : 4