4.2 - ආර්ථිකය

රටේ බොහෝ පිරිසක් ජීවත් වූයේ ගම්වල ය. ඒ ගම්වල වැසියන්ගේ ජීවිත වර්තමානයට සාපේක්ෂ ව ඉතා සරල ආකාරයට හැඩ ගැසී තිබිණි. බොහෝ දෙනාගේ ජීවන වෘත්තිය වූයේ ගොවිතැන යි. ඇතැමුන් හේන් ගොවිතැන්වල යෙදුණ අතර සෙසු අය කුඹුරු ගොවිතැන්වල නිරත වූහ. ජීවත් වීම සඳහා සතුන් ඇති කිරීම පැවතිණි. ඊට අමතර ව නොයෙක් වෘත්තීන්වල යෙදුණු පිරිස් ඔවුන්ට ම වෙන් වූ ගම්වල ජීවත් වූහ.


4.2.1 ගොවිතැන

ශ්‍රී ලංකාවේ පැරණි සමාජයේ වාසය කළ බොහෝ ගැමියන්ගේ ප්‍රධාන ජීවන වෘත්තිය වූයේ ගොවිතැන යි. සතුන් ඇති කිරීම හෙවත් පශු පාලනය ද ගොවිතැන් කටයුතුවලට ම තදනුබද්ධ ව පවත්වා ගෙන ගිය කටයුත්තකි. ගොවිතැන් කටයුතු ආකාර දෙකකට සිදු කෙරිණි. ඉන් පළමු වැන්න හේන් ගොවිතැන යි. දෙවැන්න මඩ ගොවිතැන හෙවත් කුඹුරු ගොවිතැනයි. මේ අතරින් වඩාත් පැරණි හේන් ගොවිතැන බව ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය මගින් තහවුරු කරයි. බුත්සරණ නම් සාහිත්‍ය කෘතියේ සෙහෙන් යනුවෙන් ද සිංහල උම්මග්ග ජාතකයේ සේන් යනුවෙන් ද සෙල්ලිපිවල 'පිටිබිම්' යනුවෙන් ද හඳුන්වා දී තිඛෙන්නේ පැරණි
කාලයේ තිබූ හේන් ය.


හේන් ගොවිතැන - හේන් ගොවිතැන යනු ගො ගොවිතැනකි. තමන්ට අවශ්‍ය ප්‍රමාණයේ ධාන්‍ය සහ එළවළු වවා ගැනීමට ප්‍රමාණවත් තරමේ ඉඩම් කොටසක් මහකැලෑවකින් වෙන් කොට ගෙන එය කපා ගිනි තැබීමෙන් හේනක් සකස් කර ගනු ලැබේ. මෙහි දී විශාල ගස් කපා නොදැමීමට වග බලා ගැනේ. මූලික වශයෙන් එළිපෙහෙළි කර ගත් කැලෑ කොටස ගිනිතැබීමට පෙර සියලූ සතුන්ට ඉන් ඉවත් වන ලෙස ශබ්ද නගා කෑ ගැසීම සිදු කරන්නේ හේන අයත් ගොවියා විසිනි.
අලූතින් ගිනිතබා ගත් හේනක් හඳුන්වන්නේ නවදැලි හේන නමිනි. එවැනි හේන් ඉතා සරුසාර ය. නවදැලිසේන යන යෙදුම සද්ධර්මරතනාවලියේ ද යෙදී තිබේ. ශ්‍රී ලංකාවේ ඇතැම් පළාත්වල නවදැලි හේන යන යෙදුමට වෙනත් තේරුමක් දී තිබේ. කුරක්කන්, කොල්ලූ, උඳු, මුං, ඉරිඟු, මෑ, තණහාල්, අසමෝදගම්ල අමු යන පැළෑටි නවය දලූ ලා සරුවට වැවුණු හේන් නවදැලි හේන් යනුවෙන් හැඳින්වෙන බව ඉන් කියැවේ. කාලයක් අතහැර දමා යළිත් වගා කිරීම අරඹන හේන් හැඳින්වීමට 'කනත්ත' යන වචනය භාවිත කරන්නෝ අනුරාධපුර පළාතේ ගැමියෝ ය. හේන් වගාවේ දී අනුගමනය කෙරෙන සාමාන්‍ය ක්‍රමය වූයේ වරක් දෙවරක් වගා කළ හේන ඉන් පසු අතහැර දැමීම යි. කාලයක් එසේ අතහැර දමා තිබීමෙන් එතැන යළිත් කැලෑව හට ගනී. එනිසා පැරණි හේන් වගාව කිසි විටෙකත් පරිසරයට අනිසි බලපෑමක් ඇති නොකළේ ය.

හේන්වල වගා කරන ලද දේ අතර උඳු, මෑ, මුං, කුරක්කන්, ඉරිඟු, තල, අමු, අබ, දුරු, තණහාල් යන ඇට වර්ග ද කරබටු, තිබ්බටු, වම්බටු, අළුපුහුල් සහ වට්ටක්කා යන එළවළු වර්ග ඇල් වී වර්ග සහ අල වර්ග උක්ගස් සහ කපු ද විය. වගා කරන ලද්දේ ඒවාට ම වෙන් වූ හේන්වල ය. ඒ කාලයේ රටට අවශ්‍ය වූ රෙදි සහ හකුරු නිපදවීමට ප්‍රමාණවත් තරමින් කපු වගාව සහ උක් වගාව මෙරට දියුණු වී තිබිණි. වැටුප් ලබමින් උක් කර්මාන්තයේ යෙදී සිටි කම්කරුවන් ගැන වංසකථාවල සඳහන් ව තිබේ. ඉතිහාසයේ දීර්ඝ කාලයක් තිස්සේ රටට අවශ්‍ය හකුරු රට තුළ ම නිපදවා ගැනීමට අපේ මුතුන්මිත්තෝ සමත් වූහ. ක්‍රිස්තු වර්ෂයෙන් දහසය වන සියවස වන තුරු මෙරටට සීනී ආනයනය නොකළ බව විද්වත්හු පෙන්වා දෙති.

හේනක් කොටන්නේ තමන් වාසය කරන නිවසට තරමක් ඈත ප්‍රදේශයක බැවින් හේනේ අස්වැන්න ලබා ගන්නා තුරු ගොවියෝ හේනේ ඉදි කරන ලද පැල්පතක තාවකාලික ව ලැගුම් ගනිති. හේන වනසතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට හේන වටා ඉදි කරන ලී වැට හඳුන්වන්නේ 'දඬුවැට' යන නමිනි. හේනේ උස් ගසක ඉදි කරන කුඩා පැල්පත හැඳින්වෙන්නේ 'පැල' නමිනි. රාත්‍රි කාලයට හේනට පැමිණෙන සතුන්ගෙන් තම හේන ආරක්ෂා කර ගැනීමට ගොවියා රැය පහන් කළේ මෙම පැලේ ය. 

හේන් වගා කිරීම වෙනුවෙන් ඇතැම් රජවරුන්ගේ කාලවල දී බදු අය කර ගෙන තිබේ. කැති අඩ, කෙටූ කනබ අය යනුවෙන් සෙල්ලිපිවල හඳුන්වා දී තිඛෙන්නේ එවැනි බදු වර්ග දෙකකි. පොළොන්නරුවේ රජ කළ නිශ්ශංක මල්ල රජතුමා (ක්‍රි.ව 1187 -1196) එම බදු වර්ග දෙක අහෝසි කළ බව එරජු විසින් කරවන ලද සෙල්ලිපිවල සඳහන් වේ.

පුරාණ කාලයේ ජනගහනය අධික නොවූයෙන් හේන් වගාව සිය ජීවන අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් වෘත්තියක් විය. මඩ ගොවිතැනක් ලෙස වී වගාව ආරම්භ වූයේ වැඩි වන ජනගහනයට අවශ්‍ය කරන ආහාර වැඩිවැඩියෙන් නිපදවීමට ය.

වී ගොවිතැන - සෙල්ලිපිවල, වී වගා කරන ලද තැන් කුඹුර සහ කෙත යන වචන දෙකෙන් හඳුන්වා දී තිබේ. ඇතැම් විට කුඹුර යනුවෙන් හඳුන්වන්නට ඇත්තේ වී වගාවට භාවිත කළ කුඩා ඉඩ ප්‍රමාණයක් වීමට ඉඩ තිබේ. 'කෙත' යන වචනය සංස්කෘත භාෂාවේ 'ක්ෂෙත්‍ර' යන වචනයෙන් සකස් වූවකි. ඉන් අදහස් කරන ලද්දේ තරමක විශාල කුඹුරු යායවල් ය. බොහෝ අවස්ථාවල වී වගාව පවත්වා ගෙන යන ලද්දේ වාරිමාර්ග භාවිත කිරීමෙනි. මෝසම් වැසි කාලවල දී වර්ෂා ජලය වැව්වල රැස් කර ගැනිණි. අනතුරුව ඒවා ඇළ මාර්ග ඔස්සේ කුඹුරුවලට ලබා දීමට කටයුතු යොදා තිබිණි. වර්ෂයට දෙවරක් වී වගා කෙරිණි. වී වගා කළ කාල හඳුන්වන්නේ 'කන්න' යන නමිනි. වගා කළ කන්න දෙක හඳුන්වන ලද්දේ මහ කන්නය සහ යල කන්නය යනුවෙනි. මීට අමතරව මැද කන්නය යනුවෙන් හැඳින්වෙන තවත් කන්නයක් ගැන සෙල්ලිපිවල සඳහන් ය. යල-මහ අතර තිබූ එම කන්නයේ වගා කිරීම රඳා පැවතියේ ජලය සුලබ වීම මත ය.

වී වගාව සාර්ථක ව පවත්වා ගෙන යාම සඳහා වියළි කලාපයේ ප්‍රධාන අවශ්‍යතාව වූයේ ප්‍රමාණවත් ලෙස ජලය ලබා ගැනීම යි. වර්ෂා ජලය එකතු කර ගැනීමත් ස්වාභාවික ගංගා හරස් කර ඇළමාර්ග ඔස්සේ ජලය
කුඹුරු වෙත ගෙන යාමත් එම අවශ්‍යතාව සපුරා ගැනීමට අනුගමනය කළ උපක්‍රම දෙකයි. වැව් තැනීමේ සම්ප්‍රදාය මෙරට දියුණු වුයේ ජලය රැස් කර ගැනීමේ අවශ්‍යතාවට මුහුණ දීමේ උපක්‍රමයක් ලෙස ය. මහා පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි.ව 1153-1186) විසින් ප්‍රකාශ කරන ලද "අහසින් වැටෙන එක දිය බිඳක්වත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට යාමට ඉඩ නොදිය යුතු ය" යන ප්‍රකාශය මගින් ජලය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම පාලකයා විසින් දුටු ආකාරය අපට පෙන්වා දෙයි.

වර්තමානයේ දී මෙන් නොව පැරණි යුගයේ කුඹුරු ගොවිතැන් කිරීමේ දී නොයෙකුත් චාරිත්‍ර සිදු කිරීමට ගොවියෝ වග බලා ගත්හ. ස්වභාවධර්මය සමග ඉතා සුහදශීලී ලෙස කටයුතු කරමින් තමන්ගේ ජීවිකාව කර ගැනීමට ඉන් ලැබුණු පිටිවහල අතිමහත් ය.

සත්ත්ව පාලනය - ගොවිතැන් කටයුතුවලට අමතර ව එකල සත්ත්ව පාලනය ද පැවතිණි. ඒ අතර ප්‍රධාන වූයේ ගව පාලනය යි. ගවපාලනයේ යෙදුණු පිරිස් සඳහා ම වෙන් වූ ගෝපාලගම් ගැන සෙල්ලිපිවලත් අන් සාහිත්‍ය මූලාශ්‍රයවලත් සඳහන් ය. පශු සම්පත් හෙවත් සතුන්ගෙන් ලබා ගන්නා දැ ආහාර සඳහා මහත් සේ ඉවහල් විය. මී කිරි, ගිතෙල්, වෙඬරු ආදී දේ ඒ අතර ප්‍රධාන විය. කොළඹ ජාතික කෞතුකාගාරය‍ෙ තිබෙන හතර වන කාශ්‍යප රජතුමා විසින් කොට'වන ලද සෙල්ලිපියක කිරිගෙරි යන පදය දකින්නට තිබේ. ඉන් අදහස් කර තිබෙන්නේ කිරි ලබා ගැනීම සඳහා ඇති කරන ගවයින් ය. ගෘහිණියක් එළදෙනකගෙන් කිරි දෝවනය කරන ආකාරය පෙන්වන කදිම කැටයමක් සීගිරියේ පිහිටි නාගපබ්බ විහාරය නමින් හැඳින්වෙන පුරාණ ස්තූපයේ ධාතුගර්භයේ තැන්පත් කර තිබූ මහාමේරු ගලේ කැටයම් කර ඇත.

ගවයින් හැරුණු විට කුකුළෝ සහ එළුවෝ ද නිවෙස්වල ඇති කරන ලදහ. පොළොන්නරුවේ මැදිරිගිරියේ පිහිටා තිබුණු ඇත්වෙහෙර පධානඝරයේ රෝහලේ රෝගීන්ගේ අවශ්‍යතා සඳහා ස්වාභාවික ව මියගිය එළුවන්ගේ සහ කුකුළන්ගේ මාංස පමණක් යොදා ගත යුතු බව දැක්වෙන සඳහනක් ක්‍රිස්තු වර්ෂයෙන් නවවන සියවසේ රචනා කරන ලද සෙල්ලිපියක දක්නට තිබේ.

4.2.2 කර්මාන්ත

ඉතා පුරාණ කාලයක සිට ශ්‍රී ලංකාවේ ලෝහ කර්මාන්තය ඉතා දියුණු තත්ත්වයක පැවති බව මීට ඉහත පාඩම්වල දී ඉගෙන ගැනීමට ඔබට අවස්ථාවක් ලැබිණි. ලෝහ භාවිත කරමින් කර්මාන්තවල යෙදුණු ශිල්පීන් ගැන යම් තොරතුරු මූලාශ්‍රයවල දක්නට තිබේ. මේ අතර විශේෂයෙන් කැපී පෙනෙන්නේ යකඩ වැඩ කළ කම්මල්කරුවන් ය. ඔවුන් හැඳින්වීමට සෙල්ලිපිවල යොදා තිඛෙන්නේ 'කබර' යන නම යි. ඒ කම්මාර යන වචනය පුරාණ සිංහල භාෂාවෙන් ලියූ ආකාරය යි. යකඩ තැළූ කම්මල්කරුවා ගම්වැසියන්ට ඉතා අවශ්‍ය වැදගත් පුද්ගලයෙක් විය. එදිනෙදා ගොවිතැන් කටයුතුවලට අවශ්‍ය කැත්ත, උදැල්ල, නඟුල ආදි දැ ඔවුන්ට තනා දුන්නේ
කම්මල්කරුවා යි. පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් මුතුගල්ල නම් ස්ථානයේ තිඛෙන සෙල්ලිපියක මජ්ජිම නම් කම්මල්කරුවකු ගැන සඳහන් ව තිබේ.

මීට අමතර ව තඹ ලෝහයෙන් (තබකර) සහ ටින් ලෝහයෙන් කර්මාන්ත කළ ශිල්පීහු ද එකල සිටියහ. එකල විසූ රන්කරුවන් හැඳින්වීමට පැරණි ලේඛනවල යොදා තිඛෙන්නේ තුලාධාර යන වචනය යි. ඇතැම් පොත්පත්වල ඔවුන් ස්වර්ණකාර යන නමින් ද විස්තර කර තිබේ. හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් මණ්ඩගල නම් ස්ථානයේ පිහිටි එක්තරා සෙල්ලිපියක තුලදර සුමන නමින් හඳුන්වා දී තිබෙන්නේ රන්කරුවෙකු ගැන ය. අනුරාධපුරල මාගම ආදි පැරණි නගරවල කර තිඛෙන පුරාවිද්‍යාත්මක කැණීම්වලින් සොයා ගෙන තිඛෙන මැණික් සහ අර්ධ මැණික් වර්ගවලින් නිම කරන ලද පබළු, මුද්‍රා ආදි දේ මගින් එකල මෙරට සමාජයේ
පැවති මැණික් කර්මාන්තයේ ස්වභාවය පිළිබිඹු කරයි. එවැනි කටයුතුවල නියුක්ත ව සිටි ශිල්පීන් හඳුන්වන ලද්දේ මණිකර යන නමිනි.

පුරාණ කාලයේ මෙරට සමාජයේ පැවති තවත් කර්මාන්තයක් වූයේ ඇත්දත් කැටයම් කලාව යි. මහනුවර දිස්ත්‍රික්කයට අයත් වේගිරිය දේවාලය අසල පිහිටි සෙල්ලිපියක දටික සුමන නම් වූ ඇත්දත් ශිල්පියකු ගැන සඳහන් ය. දටික යනු දන්තික යන වචනයෙන් සකස් වූවකි.

එකල විසූ සාමාන්‍ය ජනතාවට තමන්ගේ එදිනෙදා කටයුතු සඳහා වඩාත් උපයෝගි වූයේ මැටිභාණ්ඩ යි. පුරාවිද්‍යාත්මක කැණීම්වලින් අතිවිශාල ප්‍රමාණයක් එවැනි මැටිභාණ්ඩවලට අයත් සුන්බුන් සොයා ගෙන තිබේ. මැටිභාණ්ඩ සෑදීම එකල හොඳින් සංවිධානය වූ කර්මාන්තයක් ව පැවතිණි. මැටිකර්මාන්තයේ නියැලීි සිටි පුද්ගලයින් ගැන මීට අවුරුදු 2250 කට ඉහත ලියැවුණු සෙල්ලිපිවල පවා සඳහන් ය. එකල ඔවුන් හැඳින්වූයේ කුම්භකාර (කුබකර) යන නමිනි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෙහෙරකෙම නම් ස්ථානයේ තිඛෙන සෙල්ලිපියක 'තතවය' නමින් වචනයක් යෙදී තිබේ. මෙම වචනය තන්තු වාය යන දෙපදය මගින් සකස් වූවකි. එහි තේරුම නූල් කටින්නා යන්න යි. නූල් කැටීම රෙදි විවීමට අදාළ කටයුත්තකි. ඉතා පැරණි කාලයක සිට රෙදි විවීම අපේ රටේ පැවති බව ඓතිහාසික මූලාශ්‍රයවල සඳහන් වේ. වෙහෙරකෙම සෙල්ලිපියේ සඳහන් වන නූල්කටින්නන් පිළිබඳ සඳහන් කිරීම ඒ කාලයේ පැවති රෙදි විවීමේ කර්මාන්තය පිළිබඳ නිසැක සාක්ෂියක් ලෙස සැලකිය හැකි ය.

වෘත්තිය වශයෙන් විවිධ කර්මාන්තවල නියැලුණු පුද්ගලයින් ගැන තොරතුරු අපේ ඉතිහාසයේ සඳහන් වීමෙන් පෙනෙන්නේ අපේ රටේ පැවති පුරාණ සමාජය ඉතා ක්‍රමවත් අන්දමට සංවිධානය වී තිබුණු බව යි. මේ සියලූ ශිල්පීහු ඒ කාලයේ සමාජය හොඳින් පවත්වා ගෙන යාමට තමන්ගේ දැනුමෙන් සහ ශ්‍රමයෙන් ඉතා අගනා මෙහෙයක් ඉටු කළහ.

 

4.2.3 වෙළෙඳාම - පුරාණ කාලයේ පැවතියේ නගර කිහිපයකි. ඓතිහාසික මූලාශ්‍රයවල දැක්වෙන අන්දමට අනුරාධපුරය සහ මාගම ඒ අතර ප්‍රධාන විය. ඒවා හැඳින්වීමට "පුර" යන පදය යොදා තිබේ. එවැනි විශාල නගරවල ජීවත් වූයේ වත්පොහොසත්කම් ඇති අය යි. ඒ නගරවල දේශීය මෙන් ම විදේශීය වෙළෙන්දෝ ගැවසුණහ. අනුරාධපුර නගරයේ දකුණු දොරටුව අසල කාළසුමන නමින් හැඳින්වූ වෙළෙඳපළක් තිබිණි.

වෙළෙඳාම පැරණි කාලයේ මෙරට පැවති ප්‍රධාන ජීවන මාර්ගයක් විය. වෙළෙඳ කටයුතු රට ඇතුළත මෙන් ම රටින් පිටත වෙනත් දේශ සමග ද පැවතිණි. සීගිරියේ බටහිර ජලඋද්‍යානයේ තිඛෙන එක්තරා සෙල්ලිපියක 'අබල වපර' නමින් හැඳින්වෙන පුද්ගලයෙකු ගැන සඳහන් ය. ඒ ආම්ල ව්‍යාපාර යන වචනය පැරණි සිංහල භාෂාවෙන් ලියා ඇති ආකාරය යි. එලෙස හඳුන්වා දී තිබෙන්නේ සියඹලා වෙළෙන්දෙකි. එම සෙල්ලිපිය මීට අවුරුදු 2250 කට පමණ ඉහත කාලයක රචනා කරන ලද්දකි. සුළු පිරිසක් හැරුණු විට සෙසු වෙළෙන්දෝ සමූහ වශයෙන් සංවිධානය වී කටයුතු කළහ. එවැනි සංවිධානයක් හඳුන්වන ලද්දේ 'පූගය' යන නමිනි.
ඇතැම් තැනක ඒ සඳහා 'නියමස්ථාන' යන වචනය ද යොදා තිබේ.

වෙළෙඳාමේ නියුක්ත වූ පිරිස් එකල හඳුන්වන ලද්දේ 'වණිජ' යන නමින් හෝ 'වාපර' යන නමිනි. වාපර යන වචනය ව්‍යාපාරික යන පදය පැරණි සිංහල භාෂාවෙන් ලියූ ආකාරය යි. පැරණි සමාජයේ ජීවත් වූ ධනවත් පිරිසක් වූ මෙකී වෙළෙන්දෝ ය. ඔවුන් විසින් බෞද්ධ භික්ෂූන්වහන්සේලාට වැඩ වාසය කිරීම සඳහා ගල්ගුහා පවා පූජා කර තිබේ. හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් මණ්ඩගල නම් ස්ථානයේ තිඛෙන සෙල්ලිපියක සුමන නම් වෙළෙන්දකු විසින් එලෙස පූජා කරන ලද ගල්ගුහාවක් ගැන සඳහන් වේ. වෙහෙරකෙම නම් ස්ථානයෙන් සොයා ගෙන තිබෙන සෙල්ලිපියකට අනුව රෙදි වියා වෙළෙඳාම් කළ අයගේ සංවිධානයක් ම`ගින් භික්ෂූන්වහන්සේලාට ගුහාවක් පූජා කිරීමට අදාළ විස්තරය එම සෙල්ලිපියේ සඳහන් ය.

වෙළෙඳ නගර හා වෙළෙඳ ගම් ආශි්‍රත ව භාණ්ඩ වෙළෙඳාම් කිරීම සඳහා වෙළෙඳපොළවල් පැවතිණි. මහාග්‍රාමයේ සිට අනුරාධපුරයට පැමිණි සුරනිමල නම් තැනැත්තෙකු වෙළෙඳපොළකින් සුවඳ විලවුන් මිල දී ගත් බව සාහිත්‍ය මූලාශ්‍රයවල සඳහන් වේ. හතර වන උදය (ක්‍රි.ව.946-954) රජුගේ හෝපිටිගම ටැම් ලිපියේ සඳහන් තොරතුරු මගින් පුරාණ වෙළෙඳපොළවල් සංවිධානාත්මක ලෙස පාලනය වූ ආකාරය පෙන්වා දෙයි.

මේ සඳහා දැක්විය හැකි හොඳ ම නිදසුන සොරබොරවැව ටැම් ලිපියේ විස්තර කර තිබෙන හෝපිටිගම වෙළඳපොළයි. එහි පාලනය සම්බන්ධයෙන් රජතුමා විසින් පැනවූ නීති එම ලිපියට ඇතුළත් ය. වෙළඳපොළට පැමිණෙන කරත්තවලින් මිස වෙළඳපොළ පසුකොට ගෙන යන කරත්තවලින් බදු අය කර ගැනීම නොකළ යුතු බවට නීතියක් එහි සඳහන් වේ. හිරුඑළියෙන් ආවරණය වන පරිදි මඩුවක් යට පමණක් බුලත් වෙළෙඳාම්
කළ යුතු බවට නීතියක් පනවා තිඛෙන්නේ වියළී ගිය බුලත් මහජනයාට විකිණිම පාලනය කිරීමට ය. එකල පොහෝ දිනවල වෙළෙඳාම සිදු වූයේ නැත. පොහොය දිනවල වෙළෙඳාම් කළ අයගෙන් දඩ මුදල් අය කර ගනු ලැබිණි. හෝපිටිගම වෙළෙඳපළේ පොහොය දිනවල වෙළෙඳ කටයුතු කළ අය දඩයක් ලෙස මහියංගණ විහාරයේ පහන් දැල්වීමට තෙල් ලබා දිය යුතු විය.