6 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වා දහම් පාසල් පෙළ පොත් වල එන භාවනා පාඩම් හැර පාලි අභිධර්මය ඇතුලු අනෙකුත් සියලුම පාඩම් ආවරණය වන පරිදි “ඉගැන්වීම් උපකාරක කෙටි සටහන් මාලාව” සකසා ඇත. විභාගයේදී විමසිය හැකි වැදගත් කරුණු සාරාංශ වන පරිදි සෑම පාඩමකටම වෙන වෙනම සැකසූ කෙටි සටහන් මෙහි ඇතුලත්ය.
පාඩම උගන්වා අවසානයේදී ඉගැන්වූ පාඩමට අදාල කෙටි සටහන දරුවාගේ සටහන් පොතට ඇතුලත් කිරීමට සුදුසු වන පරිදි සකසා ඇත. තවද පාඩම උගන්වන අතරතුර පාඩම තුල හමුවන ඇතැම් සංකීර්ණ දහම් කරුණු සරළව විග්රහ කොට කෙටි සටහනට ඇතුලත් කොට ඇත.
ඇතැම් සංකීර්ණ දහම් කරුණු විස්තර විග්රහ කිරීමේදී මූලාශ්‍ර වශයෙන්,
1. වෙනත් ශ්‍රේණියක දහම් පාසල් පෙළ පොතක්
2. එම ශ්‍රේණියේම වෙනත් පාඩමක්
3. ධර්මාචාර්ය විභාගයට අදාල පෙළ පොත්
4. රේරුකානේ චන්දවිමල නාහිමියන්ගේ කෘතීන් හෝ
5. බොහෝ විට අන්තර්ජාලය ද
උපයෝගී කරගෙන ඇත.
සෑම පාඩමකම කෙටි සටහන් එකම රටාවකට අනුව සකසා ඇති අතර කෙටි සටහන් භාවිතයේදී පහත කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතුය.
දහම් පාසල් පෙළ පොතක පාඩමකට අදාල කෙටි සටහනක් සැකසීමට පෙර එම පාඩමින් පසුගිය වර්ෂ වල විභාග වලදී විමසන ලද ප්‍රශ්න පිළිබඳව සොයා බලා විරන්තරයෙන් විමසීමට ලක් වන කොටස් කෙරෙහි වැඩි අවධානයක් යොමු වන පරිද්දෙන් සහ මේ වනතුරු විමසා නොතිබුනද ඉදිරියේදී විමසීමට ලක් විය හැකි කොටස් තෝරා බේරා වෙන් කර ගැනීමෙන් කෙටි සටහන් වඩාත් ඵලදායී වන අයුරින් සම්පාදනය කොට ඇත. ඒ සඳහා අවශ්‍ය පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සොයාගැනීමත්, පාඩමේ සඳහන් ඇතැම් කරුණු වලට වැඩිදුර විග්රහ සෙවීමත්, අනවශ්‍ය කරුණු ඉවත් කොට අත්‍යාවශ්‍ය ම කරුණු පමණක් ඇතුලත් කිරීමත්, පාඩමේ සමස්ථ කෙටි සටහන හැකිතාක් කෙටි කිරීමත් ආදිය පිළිබඳව සැලකීමේදී එක් පාඩමකට වූවද කෙටි සටහනක් සැකසීම එතරම්ම පහසු කටයුත්තක් නොවන බව පැහැදිලි වේ.
එම පාඩමේ තරමක් සංකීර්ණ දහම් කරුණු වෙතොත් විශය පිළිබඳව හසල අවබෝධයක් ඇති ගිහි පැවිදි පිරිස සමග සම්බන්ධ වී දහම් කරුණු වල විස්තර විග්රහ සෙවීමට ඇතැම් විට දින ගණනාවක් ගතවූ අවස්ථා පවා තිබේ. එසේ කැටි කොටගත් කරුණු යලිත් වරක් හෝ දෙවරක් කියවා බලා සංස්කරණය කිරීමෙන් අනතුරුව අවසාන කෙටි සටහන සකසනු ලැබේ.
එවැනි එක් පාඩමකට අදාලව කෙටි සටහනක් සැකසීම පවා සැබවින්ම පහසු කටයුත්තක් නොවේ. 10 ශ්‍රේණිය සඳහා පමණක් එවැනි පාඩම් 70 කට ආසන්න සංඛ්‍යාවකට කෙටි සටහන් සැකසිය යුතු වන අතර එය ඉතා අපහසු මෙන්ම සැබැවින්ම වෙහෙසකර කටයුත්තකි. එයට වඩාත්ම හේතු වී ඇත්තේ එම පාඩම් අතරට පාලි පාඩම් 10 ක් හා අභිධර්මය පාඩම් 10 ක් ද එක්වී තිබීමයි.
කෙසේ හෝ වෙහෙස දරා සැලකිය යුතු කාලයක් වැය කොට 10 ශ්‍රේණිය දහම් පාසල් පෙළ පොතට අදාල ඉගැන්වීම් උපකාරක කෙටි සටහන් සියල්ල සකසා නිම කොට ඇත. ඉඩ කඩ ලැබෙන අවස්ථාවන් වලදී අනෙකුත් කටයුතුද කළමනාකරණය කරගනිමින්, කෙටි සටහන් සම්පාදනය කිරීම සිදුකළ ද 10 ශ්‍රේණිය පෙළ පොතට අදාල සියලුම කෙටි සටහන් අන්තර්ජාලගත කොට නිම කිරීම තෙක් මේ දක්වා ගත වී ඇති කාලය වසරකුත් දින 8 ක් වේ.
නමුත් තවදුරටත් ඒ තුල වැරදි අඩුපාඩු මෙන්ම සංස්කරණය විය යුතු තැන්, වාක්‍ය නොගැලපීම්, අක්ෂර දෝශ ආදියද තිබිය හැකි වේ. මීට අමතරව වැදගත් කරුණු මගහැරී ඇති අවස්ථා ද, අනවශ්‍ය කරුණු එකතු වී ඇති අවස්ථා ද තිබිය හැක. කෙටි සටහන් සැකසීම, සංස්කරණය කිරීම, යතුරු ලියනය කිරීම ආදී සියළුම කාර්යයන් තනි පුද්ගලයෙකු විසින් සිදුකිරීමේදී ඇතැම් අත්වැරදීම් ඇසට අසු නොවී මගහැරී යාම මෙයට එක් හේතුවක් විය හැකිය.
තවද කෙටි සටහන් ප්‍රායෝගිකව භාවිතා කිරීමේදී තවදුරටත් සංස්කරණය විය යුතු තැන් හමු විය හැක. එසේ බලනකල “ඉගැන්වීම් උපකාරක කෙටි සටහන් මාලාව” සැබැවින්ම තවමත් සම්පූර්ණයෙන් ම සකසා නිම කොට නැත. එකී නොකී දහසකුත් එකක් අඩුපාඩු මගහරවා ගැනීමට මෙම කෙටි සටහන් පරිශීලනය කරන සැමට දායක විය හැකිය. එවන් අඩුපාඩුවක් දුටුවහොත් ඒ බව අපට දැනුම්දීමට තරම් කාරුණික වන්න.
මීට අමතරව කෙටි සටහන් මාලාව පිළිබඳව වෙනත් අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට හැකිනම් නිසැකයෙන්ම එය මහත් අත්වැලක් වනු ඇත. චෝදනා හා විවේචන පිළිබඳව ද එසේම දත යුතුය. ඉහත කුමන හෝ හේතුවක් මත අපව සම්බන්ධ කරගැනීමට අවශ්‍ය නම් අපට_දන්වන්න යන අතුරු පිටුව භාවිතා කළ හැක.
ඔබට තෙරුවන් සරණයි !!!