කිසියම් අදහසක් රසවත් ව මෙන් ම අන් අයගේ අවධානය ලැබෙන පරිදි ඉදිරිපත් කිරීමේ දී ඒ සදහා ඉගි වැකි නොහොත් රූඪි භාවිත කරයි. කාල භේදයකින් හෝ පුද්ගල භේදයකින් තොරව සිංහල භාෂාවේ රූඪි භාවිතාකරන බව පෙනේ. ඉගි වැකි යනු කෙටි වැකි විශේෂයකි. බොහෝ විට ඉගි වැකියක් එක වචනයකට හෝ වචන දෙක තුනකට ද සීමා වන බව පෙනේ. එය ඉගි වැකි වලටම අනන්‍ය වූ ලක්ෂණයකි. ඉගි වැකි සහ ප්‍රස්ථාව පිරුළු අතර යම් සමානාත්මතාවයක් දිටිය හැකි ය. එහෙත් ඉගි වැකි කෙටි ය. දනවන අරුත ව්‍යංගයෙන් යුක්ත ය. ඒ අනුව ප්‍රස්ථාව පිරුළු සහ ඉගි වැකි අතර ඇති වෙනස හදුනාගත හැකි ය. එසේ ම ලිඛිත භාෂාවට වඩා කතා ව්‍යවහාරයෙ දී ඉගි වැකි බහුල ව භාවිත වන බව පෙනේ. ඒ නිසා ම කතා ව්‍යවහාරයේ දී භාවිත වන ඉගි වැකි ජීවමාන ය. විවිධ අවස්ථා වල දී භාවිතා කරනු ලබන ඉගි වැකි කිහිපයක් මෙසේ හදුනා ගනිමු.
- අට පහ නොදැනීම :- කිසි උගත් කමක් නැති බව
- අනූ නවයෙන් බේරුනා :- කරදරයකින් යන්තම් බේරීම
- අමු අපාය :- ඉතා අපිරිසිදු තැනක්
- අඩි ගහනවා :- මත් පැන් බොනවා
- අන්ඩර දෙමළ :- නොතේරෙන දේවල්
- අතේ හිරි ඇර ගත්තා :- හොදටම පහර දුන්නා
- අකුල් හෙලනවා :- බාධා ඇති කරනවා
- අතදීම :- උදව් කිරීම
- අනුන්ට උගුල් ඇටවීම :- අන් අයට කරදර කිරීම
- අහසේ තරු ගනිනවා :- නිකරුනේ කාලය ගත කරනවා
- අන්දුන් කුන්දුන් වෙනවා :- කලබලයට පත් වෙනවා
- අර අදිනවා :- යමක් කිරීමට සුදානම් වෙනවා
- අවසන් නින්ද :- අවසන් හුස්ම හෙලීම
- අන්තිම ඉත්තත් ඇදීම :- කල හැකි අන්තිම උත්සහයත් කිරීම
- අං ඇවිල්ලා :- උඩගු වීම
- ඇඟිලි ගහනවා :- අනවශ්‍ය ලෙස තොරතුරු සෙවීම
- ඇඟේ ලේ වතුර වුණා :- ඉතා දැඩි බියට පත් වීම
- ඇගේ මාළු නටනවා :- තද කේන්තියක් ඇති වීම
- ඇඟ බේරා ගන්නවා :- වරදකින් බේරීම
- අගට නොදනී :- ඉතා පහසුවෙන්
- ඉබි පිහාටු සෙවීම :- සොයා ගත නොහැකි දෙයක් සෙවීම
- උණුසුම් ලෙස පිළිගැනීම :- ඉතා සුහදව පිළිගැනීම
- උපාසක බළලා :- බොරු හික්මීමක් පෙන්වන්නා
- එක හැලියේ බත් කෑ අය :- එකට වාසය කල අය
- එළිපත්ත උඩ සිටීම :- තීරණයක් නොගෙන සිටීම
- කරල පැහිලා :- කිසිවකින් අග හිගයක් නැති වීම
- කරදිය පෑගුණු අය :- කපටි මිනිස්සු
- කට ගෙවෙනකම් කියනවා :- බොහෝ වතාවක් කියනවා
- කර ලගට එරීම :- වැඩ පල ඉතා අධික වීම
- කුඩම්මාගේ සැලකිල්ල :- ඉතා අඩු සැලකිල්ල
- කොක් හඩලා සිනාසීම :- මහ හයියෙන් සිනාසීම
- ගල් පැලෙන බොරු :- සිතා මතා ගොතා කියන බොරු
- ගිනි බත් වීම :- ගින්නෙන් විනාශ වීම
- ගිනි කන වෙළෙන්දා :- අසාධාරණ ලාභ ලබන්නා
- තරු පෙනුනා :- එක් වරම දැඩි බියට පත් වීම
- ගොනාට අන්දලා :- මෝඩ කරගෙන රවටා ගැනීම
- ගොළු බෙලි ගමන :- ඉතා සෙමින් වැඩ කිරීම
- පොත් ගුල්ලා :- නිතර පොත් කියවන්නා
- පොර කුකුළා :- නිතර රන්ඩු කරන්නා
- පිං ගොනා :- අනුන්ගෙන් යැපෙන්නා