ශු. ඇලෝසියස් මුනිතුමා - 5-වසර කතෝලික ධර්මය

ශු. ඇලෝසියස් මුනිතුමා

රෝමානු අධිරාජ්‍යයේ කුමරෙකු හා මත්තුවාහි ආදිපාදව සිටි පරඬිනන්ඩ් ගොන්සාගා තුමාගේ වැඩිමහල් පුතනුවන් විය. වංශවත් පවුලකට අයත් වූ ඔහුගේ මවද යහපත් ක්‍රිස්තු භක්තිකයකු වුවාය. 1568 මාර්තු 9 වන දින ඇලෝසියස් ඉතාලියේ රජමැදුරක උපත ලැබුවේය. ඔහුගේ මව තම පුතු කිතුනු ලීලාවෙන් ඇති දැඩි කළාය. යාච්ඤා කිරීමටක්, දිළිදුන්ට කරුණාව පෙන්වීමටත් ඇය ඔහුට ඉගැන්වුවාය.

ඇලෝසියස් තුමා ශුද්ධවන්තයකු වූයේ තම මව නිසාය. වයස අවුරුදු 07 ඔහු ආධ්‍යාත්මික දිවියේ පුළුල් පියවරක් ගත්තේය. දෙව්මව් වෙත භක්තියත්, යාච්ඤාවට තිබු ලැදියාවත් වඩාත් ඔහු තම සොහොයුරා සමග ප්ලෝරන්ස්හි ප්‍රැන්සිස්කෝ ටෙ විසින් නම් මිතුරකුගේ රජවාසලට යවනු ලැබුවද ආධ්‍යාත්මික දේ කෙරෙහි ඔහුගේ සිත බැඳි තිබු හෙයින් ඔහු බඹසර දිවියකට පොරොන්දු ගත්තේය. ප්ලෝරන්ස් නුවරින් මන්ටුවා වලට යවනු ලැබු ඔහු එහිදී යාච්ඥාවෙන් හා පශ්චාත්තාපයෙන් ජීවිතය ගත කළේය. නිරහාරශිලය රැකීමටත්, තම ක්ෂණික කෝපය මැඩ ගැනීමට මෙන්ම අන් අයගේ චෝදනාවලට මුහුණ දීමටත් හෙතෙම තමාව පුරුදු කරගත්තේය. වයස අවුරුදු 12 දී එතුමා පළමුවරට දිව්‍ය සත්ප්‍රසාදය ලැබිය.

දිනපතා සත්ප්‍රසාද වහන්සේ ලබාගැනීමට ඔහු ආශා කළද, එකල පැවතී සිරිත අනුව දිව්‍ය සත්ප්‍රසාද ලැබිය හැකි වුයේ සතියකට වරක් පමණි◊. එබැවින් එතුමා දිව්‍ය සත්ප්‍රසාද ලබා ගැනිමට සූදානම් වීම සඳහා දින තුනක්, තුති පිදීමට දින තුනක්ද ගත කිරීමට පුරුදු විය.

මුල සිටම හෙතෙම හැකි තරම් ශුද්ධවන්ත දිවියක් ගත කළේය. දෙව්මව් වෙත මුළු හදින් පෙම් කළ එතුමා දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ඉදිරිපිට බොහොවේලා යාච්ඤා කළේය. වැඩිකල් නොගොස්ම තම සොහොයුරන් වෙනුවෙන් සිය නිත්‍යානුකුල උරුමයන් කැප කරමින් පැවිදි දිවියට එළඹිමට එතුමා තීරණය කර ගත්තේය. එහෙත් මේ තීරණයට ඔහුගේ පියා දැඩි ලෙස විරෝධය පෑ නිසා, ඔහුගේ අවසරය ගැනීමට වසර 03 ක් තිස්සේ වෙහෙසෙන්නට සිදුවිය. මේ අතරතුර වසර දෙකකට පසු එතුමා ස්පාඤ්ඤයේ පිලිප් කුමරුන් වෙත යවනු ලැබීය. එවිට ඔහුට උතුරු ඉතාලීයේ සියලුම රජකුමරුන් හා ආදිපාදවරුන් හමුවීමට සිදුවිය. ඔහුගේ අදහස වෙනස් කිරීමට ඔව්හු උත්සහ දැරුවද එය නිෂ්ඵල විය. අවසානයේ 1585 දී සරත් සෘතුවේදී 17 හැවිරිදි ඇලෝසියස් රෝමයේ ජේසු නිකායික ආධුනික නිවෙසට පිවිසියේ පූජකවරයකු වීමේ මහත් ආශාව සපුරා ගැනීමටය.

1590 දී ඉතාලියේ දරුණු සාගතයකින් අනතුරුව දරුණු වසංගතයක්ද පැතිරිණි. ජේසුනිකායික පියවරුන් විසින් හදිසියේ රෝහලක් විවෘත කරනු ලැබීය. ඇලෝසියස් තුමා අනුන්ගෙන් උදව් ඉල්ලා ලෙඩුන්ට උපස්ථාන කරමින් ඔවුන් සනසන්නට විය. අසාධ්‍ය වුවන් ඔවුන්ගේ අවසානයට සුදානම් කරමින්, ලෙඩුන්ට සේවය කිරීම සඳහා තම දිවිය කැප කිරීමට එතුමා වෙහෙස විය.

1591 මාර්තු මස දී එතුමා රෝගයකට ගොදුරු වී තුන්මසක් ඉවසීමෙන් එය දරා ගත්තේ ය. ජුනි 20 වන දින එතුමා දිව්‍ය සත්ප්‍රසාද ලැබීමට ආශා බව කියා සිටියේ ය. ඒ එතුමා අවසාන වරට සත්ප්‍රසාද ලැබු අවස්ථාව විය. ශු. රොබට් බෙලමින් මුළු රැයම එතුමා සමග ගත කළ අතර, පසුදින අළුයම, තම දිවි හිමියෙන් පෙම්කළ, ලැදියාවෙන් සේවය කළ කිතු සමිදුන් සොයා එතුමාගේ ආත්මය පියා සැලුවේය. ඒ 1591 ජුනි 21 දින දීය. එවිට 23 වන වියෙහි පසූවූ ඔහු , ජේසු නිකායට බැඳී වසර 6 පමණ විය.

විශේෂයෙන් තරුණ ක්‍රිස්තියානි ශිෂ්‍යයන්ගේ ආරක්ෂක නාම සාන්තුවරයා ලෙස ශු. ඇලෝසියස් තුමා සභාව විසින් ප්‍රකාශ කර ඇත. එතුමා තරුණ තරුණියන්ට පිවිතුරු දිවියකට මනා ආදර්ශයක් වේ. එතුමාගේ මංගල්‍යය ජුනි 21 දින සමරනු ලැබේ.