මරියා ගොරෙත්ති තුමිය උපත ලැබුවේ 1890 ඔක්තෝම්බර® මස 16 වන දින දීය. දෙමව්පියන් සමග ඇය ජීවත් වූයේ ඉතාලියේ කොරිනැල්ඩෝ නමැති කුඩා නගරයේය. ඇගේ පියා ලුවිස් ගොරෙත්ති වු අතර මව අසුන්තා ගොරෙත්ති විය. පියා රැකියාව වශයෙන් ගොවිතැන් කළ අතර, ජීවත් වීම සඳහා වෙහෙස දරා වැඩ කරන්නට සිදු විය. දරුවන් හත්දෙනාගෙන් මරියා තුන්වැන්නාය. දිළිඳු වුවත් මෙම පවුල සතුටින් නිතරම දෙවියන් වහන්සේටත්, දේව මෑණියන්ටත් සමීපව ජීවත් විය. මරියාගේ මව අසුන්තා දේව මෑණියන් කෙරෙහි ගැඹුරු භක්තියක් ඇතිව සිටියා. පවුලේ සෑම දරුවකුම කතා කරන අවස්ථාව පැමිණි විට කුඩා යාච්ඤා කියන්නට ඉගෙන ගත්තේය. ඉතාම කුඩා වයසේ වුවත් දරුවාගේ හෝ දැරියගේ සිගිගිති අත ගෙන කුරුසියේ ලකුණ අඳින්නට පුරුදු කරනු ලැබීය. මරියාද එසේම විය.
මරියා ගොරෙත්ති වයස අවුරුදු 6 වන විට මුළු පවුලම පිලියානෝ නමැති පෙදෙසට පදිංචියට ගියෝය. එහි කුලියට ගනු ලැබු ගොවිපළ අවුරුදු තුනක් පමණ බර වැඩ කරන්නට ඔවුනට සිදුවිය. ඉන්පසු ඔවුන් නැවත පදිංචිය වෙනස් කොට පෙරියේ නමැති ප්රදේශයට ගියෝය. මෙය පළමු තැනට වඩා දුෂ්කර ස්ථානයක් විය. දේශගුණයද අහිතකර විය. මරියාගේ පියා වු ලුවිස් ගොරෙත්ති අසනීප වූ අතර මරියා මව සමග තම පියාට සාත්තු කළාය. එහෙත් පියා මිය ගියේය.
මෙතැන් සිට මරියා මව සමග වගකීම භාර ගත්තාය. බාල සොයුරු සොයුරියන් රැක බලා ගත්තාය. ගෙදර වැඩ කටයුතු වලදී අම්මාට සහය වූවාය. දෙවියන් වහන්සේට ආදරය වන සැටිත් යාච්ඤා කරන සැටිත් තම බාල සහෝදර සහෝදරියන්ට ඉගැන්වුවාය. වයසින් වැඩෙන විට මරියා ආත්මයෙන්ද, පිටස්තර පෙනුමෙන්ද වඩ වඩා රූමත් වූවාය. පිරිමි හා ගැහැනු ළමයින් සියලු දෙනාම ඇයට ආදරය දැක්වූහ. එහෙත් මරියා ඔවුන් ඇසුරු කළේ ඉතා පරිස්සමෙන්ය. ඇය කිසිදාක නරක වචන කතා කළේ නැත. අසභ්ය කතා වලට සවන් දුන්නේ ද නැත.
පළමු වරට දිව්ය සත්ප්රසාදය ලැබීමට කාලය පැමිණි විට ඇය ඉතා භක්තියෙන් හා උනන්දුවෙන් ජේසුස් වහන්සේ ලබා ගැනීමට සූදානම් වූවාය. ඇය පළමු වරට දිව්ය සත්ප්රසාදය ලැබීමේදී කළ පොරොන්දු සටහන් පොතක ලියා තැබුවාය. එයින් එක පොරොන්වදුක් මෙසේය. “මැරෙන්නට සිදුවුවත් මා මාගේ දේව ජීවිතය නැතිකර ගන්නේ නැත.” යනුවෙනුයි. මරියා ගොරෙත්ති අවුරුදු 12 වන විට ඇගේ නිවසේ ඇලෙක්සැන්ඩ්රෝ නැමැත්තෙක් නවාතැන් ගෙන සිටියේය. දවසක් ඇගේ මව කෙතේ වැඩට ගොස් සිටියදී මරියා පමණක් තනිව ගෙදර වැඩ කරමින් සිටියදී ඇලෙක්සැන්ඩ්රෝ නමැති පවිටු සිතක් ඇති මෙම නේවාසිකයා අවුත් ඇයව පාපයට පෙළඹවා ගන්නට උත්සහ කළේය. නමුත් එයට දැඩි ලෙස ඇය විරුද්ධ විය. කිහිප විටක් ඔහු තම කාමුක පාප ආශා මුදුන් පමුණුවා ගන්නට උත්සහ කළත්, ඇය කිසිසේත් එයට එකඟ නොවීය. පාපයට පෙළඹවු සෑම අවස්ථාවකදීම ඇය ඊට විරුද්ධ වූ නිසා අධික කෝපයට පත් ඇලෙක්සැන්ඩ්රෝ ඇයට පිහියකින් ඇන්නේය. අන්තිමේදී ඇය කෑගසාගෙන ක්ලාන්ත වී වැටුනාය. ඇගේ කෑ ගැසීම ඇසුණු මව වහාම එතනට දුව එන විට ඇලෙක්සැන්ඩ්රෝ පැන දිව්වේය. පසුව වෛද්යවරයකු කැඳවනු ලැබීය. ඇගේ තුවාල බරපතල නිසා ඇය සුවකළ නොහැකි බව ඔහු කීවේය. මරණාසන්න යහනේ සිටි මරියා ගොරෙත්ති අම්මාට කතා කළාය. “අම්මේ පළමු වරට දිව්ය සත්ප්රසාද වහන්සේ ලැබූදා මා ජේසුස් වහන්සේට දුන් පොරොන්වදු එනම් මරණයට පත් වුවත් මගේ ජීවිතය නැතිකර නොගනිමි” යන පොරොන්වදු මම ඉටු කළා නේද?
“ඔව්, මගේ ආදර දුව ඔබ ජේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් සිටියා. දැන් ඔබ එක්කරගෙන යාමට උන්වහන්සේ පැමිණේවි” යි කියා මව පිළිතුරු දුන්නාය. “ආ මම කොතරම් ප්රීතියෙන්ද” කියමින් මරියා ගොරෙත්ති අවසන් සුසුම් හෙලුඵවාය. පව් කරනවාට වඩා මරණය යහපති යන්න මරියා ගොරෙත්ති තෝරා ගත්තාය. ඒ නිසා ඇය අද ශුද්ධවන්තියකි, ඇය මැරී සුළු කාලයකින් ශු. සභාව ඇය ශුද්ධවත්ත ගණයට ඇතුලත් කළේය. ඇය ශුද්ධවන්තියක් බව ප්රකාශ කරන රෝමයේ පැවති උත්සවයට ඇගේ මව සහභාගි වූවාය. තවද පශ්චාත්තාපී වූ ඇගේ මිනීමරුවා වන ඇලෙක්සැන්ඩ්රෝ ද ඊට සහභාගී වීය.
අපිත් මරියා ගොරෙත්ති තුමිය මෙන් දෙවිපියාණන් ගෙන් දේව ජීවිතය නැති කර නොගෙන ජීවත් වීමටත්, විශ්වාස පක්ෂව සිටින්නටත් පිහිට වන්න කියා ඉල්ලා සිටිමු. එසේ සිටීමට අපට පිහිට වන්න කියාද මරියා ගොරෙත්ති සාන්තුවරියගෙන් ඉල්ලමු. ජුලි මස 06 වන දින මරියා ගොරෙත්ති තුමියගේ මංගල්යය පැවැත්වේ.