පන්තේරු කවි - සාමාන්‍යපෙළ නර්තනය (සිංහල)

පන්තේරු කවි

ජන කවිය

සාහිත්‍යය නම් පාඨක සිත් සතන් තුළ රසවත් හැගීම් ඇතිවන පරිද්දෙන් නිර්මාණය කරන ලද ගද්‍ය හා පද්‍ය කෘතියයි. සාහිත්‍ය කරුවගෙ අරමුණ රස නිෂ්පත්තිය යි. ජීවිතය පිළිබඳ අපූර්ව අත්දැකීමක් ඇසුරෙන් පාඨකයා චමත්කාරයට පත් කිරීමට ඔහු තම සාහිත්‍ය නිර්මාණය මඟින් බලාපොරොත්තු වේ. කිසියම් සාහිත්‍ය නිර්මාණයක් උසස් ලෙස සැළකෙන්නේ පාඨකයා ඉන් ලබන වින්දනයේ අපූර්වත්වය නිසා ය. මිනිසා ට සිය විවේකය විනෝදයෙන් ගත කිරීමටත්, වෙහෙස නිවා ගැනීමටත්, සිත සන්සුන් කර ගැනීමටත්, දුක් කම්කටොලු අමතක කර ගැනීමටත් සාහිත්‍යයෙන් ලැබෙන සේවය ඉමහත් ය.

එක එක අය විවිධ ආකාරයට කතා කරනවා. එනම් මේ බස්වහර ය. මේ කරන කතාවට සෞන්දර්ය එක් වූ තැන නිර්මාණය වන්නා වූ එක් පැත්තක් තමයි ජන කවිය. මෙමඟින් ඔවුනොවුන්ගේ සංස්කෘතිය ද පෝෂණය ලබනවා පමණක් නොවෙයි එය අන්‍ය ජාතීන් අතර ද ඉමහත් ගෞරවයට පාත්‍ර වී අනන්‍යතා ගොඩනඟා ගැනීමට උත්සුක ද වනු ඇත.  ජන විඥානය කරනකොට ගෙන උපත ලබන ජන කවි තුළින් ජනයාගේ බස්වහර පිළිබඳ ව තේරුම් ගැනීමට අවශ්‍ය උපකාරක ද සපයනු ලබනවා.

උගතුන් විසින් නිර්මාණය කරන ප්‍රබුද්ධ කවියට වඩා පරිසරය මත ගැටෙන දුගී ජනතාවගෙන් නිර්මාණය වන ඇතැම් කාව්‍ය වියත් වන්නේ කඳුළ, සිනහව, වේදනාව, සුන්දර ආකෘතිය අමරණීය කොට කවියට ගැබි කිරීම නිසා යැයි මම සිතමි. නිර්මලව, අව්‍යාජයෙන්, රසවත්ව ගලා එන හැඟීම් ගුවනට මුසුවන්නේ සාමූහිකත්වය ද පූර්ණ කොට ගෙන ය. තව ද  වෘත්තිය ජීවිතය ද ජන කවියට පාදක කොට ගනී.

ආදිතම සිංහලයන් සීගිරියේ කුරුටු ගී ලියන්නට ඇත්තේ ගැමි වහර මනා කොට දැන ගෙන යැයි සිතෙන්නේ එකී කවියේ ඇති විදග්ධ බව නිසාවෙනි. සීගිරියෙ ද ඇත්තේ ජන කවියයි. ජන කවිය විවිධ තැන්වල එක එක ස්වරූප වලින් සිටිනවා. ඒ විතරක් ඇයි ජන කවියේ ශබ්ද මාදුර්‍යද එම අවස්ථාවට උචිත බවක් ද පෙන්නුම් කරනවා. දුෂ්කර කාර්යයක් වුවත් පහසු වෙන්නේ ඒක නිසානේ.

“හදවත කියනවා කවියට පණ      දෙන්න

දිව මගෙ කියනවා මුමුණා ගෙන  ඉන්න

මම දැන් කියනවා කවුරුත් අහ    ගන්න

ගෙවිලිය ඉඹිනවා මගෙ හඳ   මෝරන්න”

කවිය ආ මඟ හරි සුන්දරයි. මම කවදත් ජන කවියට ආදරෙයි. ඒ මගේ මුතුන් මිත්තන්ගේ හඬයි. ජන කවිය සමඟ ජීවත් වන විට මට හැගෙන්නේ “මම ඔවුන් සමඟ ජීවත් වෙනවා” යන්නයි. තනිව යන ගමන ශක්තිමත් ව ඉදිරියට යන බව මට හැගෙන්නේත් ඒ නිසා වෙන්න ඇති.

 

පන්තේරු කවි

 

තේරු තේරු පන්තේරු          වළල්ලා

සීරු සීරුවට වට ම               වළල්ලා

මාරු මාරු කර නටන           නැටිල්ලා

වේය නෑර ජය නීර               සියල්ලා

 

සත්තුට වඩවන මන්මේ           සියල්ලා

පැත්තට තැනි තැන පෙලි පෙල    අල්ලා

ගත්වට කෙවියන් දෑඟුල           මැනලා

අත්වට යයි පන්තේරු             වළල්ලා

 

මුනිදුන් වට යන පාර            වළල්ලා

මෙරවට යන ඒ චක්‍ර             වළල්ලා

පත්තිනි දෙවිදුගේ හළඹ        වළල්ලා

සුරත දරමි පන්තේරු            වළල්ලා

 

සිත් ලෙස ලොව සැදි චක්‍ර        වළල්ලා

නෙත් තැන සුරිඳුගෙ නුවරු      සියල්ලා

පත්තිනි දෙවිඳුගෙ හළඹ           වළල්ලා

ගත්තේ අතට පන්තේරු           වළල්ලා

 

සිරස ජටා මහාබඹු වරමින්නේ හිසේ          දරන්නේ

සමත ජටා සත් දෙවි වරමින්නේ කුණ්ඩල     ලන්නේ

ලවන බන්දි රහුසුර ඉසුරන්ගේ දෙවුර         දරන්නේ

අඳින සළුව පත්තිනි වරමින්නේ  ඉනේ       දරන්නේ

 

කියන කිම හඬ සරස්වතීගේ මුඛය                      දරන්නේ

දෑතමේ පන්තේරු ගුරුගේ බෙලෙන්නේ අතින්         දරන්නේ

දෙවන භූමි දෙවියන් වරමින්නේ වරම්               ලැබෙන්නේ

රැගෙන වරම් මම මෙරඟ බසින්නේ නැටුම්            නටන්නේ

 

ඉරවට කර සැදි ගිරව් වළල්ලා ගිරව්                   වළල්ලා

සඳ වට කර සැඳි හස්ති වළල්ලා හස්ති                 වළල්ලා

මෙර වට කරසැඳි මුහුදු වළල්ලා මුහුදු                 වළල්ලා

අත වට කර යති පන්තේරු වළල්ලා   තේරු         වළල්ලා