සාමාන්‍යපෙළ බුද්ධ ධර්මය

දිවි මග ජය ගෙනෙන දේව පිහිට

දිවි මග ජය ගෙනෙන දේව පිහිට 

 

ඇතමුන් දෙවියන් කෙරේ භක්තිමත් වෙති. එදිනෙදා කටයුතුවල දී දේවශිර්වාදය පතති. පින් පමුණුවති. ඔවුන් නිබඳ දේව පිහිට ලබති. එහෙත් ඇතමුන්ට දෙවියන් සිහිපත් වන්නේ කරදරයක් ගැටළුවක් මතු වූ විට පමණී.ඔවුන් එදාට පූජා වට්ටි රැගෙන බාරහාර වීමට දෙවියන් බැහැ දකිති. නොමසුරුව කපුරාලට මුදල් පූජා කරති. එහෙත් බලාපොරොත්තු කටයුතු ඉටු නොවුණු තැන දෙවියන්ට ගරහති.

සැබෑ දෙවියන් ඇදහීම කුමක්දැයි අප මනාව තෙරුම් ගත යුතුය. එදිනෙදා අප ඇසුරු කරන සැබෑ මිත්‍රත්වයක් දක්වන්නෙකුගෙන් අපට උදවු උපකාර බලාපොරොත්තු වීමට සාධාරණ අයිතියක් ඇත. නමුත් ඊට ප්‍රථම ඔවුන් අපට උදවු උපකාර කරති. අපේ දුක සැප සොයා බලති.

එහෙත් අපට ගැටළුවක් මතු වූ විට පමණක් මොනවා හෝ පොදි බැදගෙන යමකු හමුවට ගියොත් ඔවුන් අපට උදවු කරනු ඇතිද ? අපට ඔවුන් ගෙන් උදවු ඉල්ලීමට සාධාරණ අයිතියක් තිබේද? ඔවුන්ගෙන් බලාපොරොත්තු වන උදවු නොලැබුණු කල්හී ගැරහීමට අපට අයිතියක් වේද? නුවණින් විමසා බැලිය යුත්තකි.

 දෙවියන්ද එසේමය. ඔබ දෙවියන්ගෙන් යම් උදවුවක් පැතිය යුත්තේ දෙවියන් අඳහන්නේනම් පමණී. එදිනෙදා ජීවිතයේ දී දෙවියන් අමතක නොකොට ගෞරව කරන්නේ නම් පමණි. දෙවියන් සැබැවින් විශ්වාස කරන්නේ නම් පමණි. හදවතින් අඳහන්නේනම් පමණි. පහනක් දල්වා කන්නලව් කර පමණින් ඔබට ශක්තිය ළගාකර දීමට දෙවියන් දිවනෙත් යොමුවනු ඇත. පිහිට ලැබෙනු ඇත.

දෙවියන් ඇඳහීම යනු රතු නිල් රෙදි පොරවා ගනිමින් දවස තුන් වේලේ ස්තොත්‍ර යාදිනි කියමින් හැසිරීම නොවේ. අපට ඒ අයුරින් දෙවියන් වෙනුවෙන් කැපවීමට හැකියාවක් ද නැත. බෞද්ධයන් වන අප අඩුම තරමින් සතියකට වරක් හෝ තෙරුවන් සරණ ගොස් පන්සිල් හී පිහිටීමත්, බුදුන් වහන්සේ උදෙසා මලක් පහනක් පිදීමත්, ඉක්බිතිව අප එම පින් අනුමෝදන් කොට ශාන්තිය පැතීම හොඳටම සෑහේ.

වසරකට වරක් හෝ හේතු විරහිතව දේව මන්දිරයකට ගොස් තමන් අඳහන දෙවියන් වෙනුවෙන් පූජෝපහාර පැවැත්වීම සුදුසුය. එදිනෙදා කටයුතු අතරට දෙවියන් වෙනුවෙන් කිසියම් ගෞරවයක් දැක්වීම ඔබට කළ හැකි වේ නම් යම් ප්‍රශ්නයක දී දෙවියන්ගේ පිහිට අනිවාර්යයෙන් ලැබෙනු ඇත.

දෙවියන් ඇඳහීම පිළිබඳ විරෝධාකල්ප දරන්නන් ද අප අතර ඇත. දෙවියන් ඇඳහීම කැපද? යන්න ගැටළු මතු වේ. බුද්ධ දේශනා වල පහත කරුණු ඇත.

“සම්මුති දේවා නාම රාජානො දෙවියෝ කුමාරා”

                                                               (ජාතක අටුවාවෙහි දිව්‍ය භේදය)

රජ දරුවනුත්, රාජ මෙහෙසියනුත්, රජ කුමාර කුමරියනුත් සම්මුති දෙවියන් වෙති.

“උප්පත්ති දේවා නාම භූම්මට්ඨක දෙවෙ උපාදාය තතුත්තරිතං”

                                                             (ජාතක අටුවාවෙහි දිව්‍ය භේදය)

තලාටු-බුමාටු දෙවියන් සිට තව්තිසාදී දිව්‍ය ලෝක දක්වා උපත ලබා ඇති දිව්‍ය යෝනින් හී ජනිත වූවෝ දෙවියන් වෙති.

“විශුද්ධි දේවා නාම බුද්ධ පච්චේක බුද්ධ ඛීණාසවා”

                                                             (ජාතක අටුවාවෙහි දිව්‍ය භේදය)

 බුදු, පසේ බුදු, මහ රහත් ආදී උතුමන් විශුද්ධි දෙවියෝ වෙති.

 

 “ජප්පෙන මත්තෙන සුභාසිතෙන

අනුප්පදානෙන පවේණියාවා

යථා යථා සත්ථ ලභෙත අත්ථං

තථා තථා තත්ථ පරක්ඛ මෙය්‍ය”

(අංගුත්තර සඟියේ සෝක සල්ලභරණ සූත්‍රය)

කිසියම් උපද්‍රවයක් පැමිණි විට ජප කිරීම, මැතිරීම හෝ ශුභ වචනයෙන් ලබන ශාන්තියෙන්ද. දන් දීමාදියෙන්ද, කෙරෙන පුද පූජාදියෙන්ද, යම් ප්‍රයෝජනයක් ලැබෙන්නෙද, ඒ අනුව කටයුතු කිරීම සුදුසු වන්නේය.

 

මේ අනුව සළකා බලන විට බුදුරජාණන් වහන්සේ දෙවියන්ට පුද පූජා කිරීම, පින් පෙත් දීමා දී කටයුතු අනුදැන වදාළ බව පෙනේ.

තර්කනයට හා විද්‍යාවට හසු නොවන බොහෝ දෑ ඇත.

ඔබ දෙවියන් කෙරේ කොපමණකින් භක්තිමත් වේද, අව්‍යාජ වේද එපමණකින්ම දෙවියන් ඔබට පිහිට වනු ඇත. ඔබ කොතෙක් සාධාරණ ද, කාරුණික ද, දයාවන්ත ද එපමණකින්ම දෙවියන් ඔබට පිහිට ලබාදෙනු ඇත. පිංදහම් කරන්න. පිං පමුණුවන්න. දෙවියන් ඔබට කාරුණික වේ. හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී.

 

( උපුටා ගැනීම “දේව කන්නලව් සහ දේව ස්තෝත්‍ර” - විජය ශ්‍රි ජයසිංහ)


ලිපිය නිර්මාණය කලේ,
D
Danushka Dharmapala


MEMBER

අදාල තවත් ලිපි,



Danushka Dharmapala

සාමාන්‍යපෙළ බුද්ධ ධර්මය

අනෙකුත් ලිපි