48 පාඩම, වසලකරන ධර්ම (ඉගැන්වීම් උපකාරක කෙටි සටහන්) - 10-වසර දහම් පාසල (බෞද්ධ)

48 පාඩම, වසලකරන ධර්ම (ඉගැන්වීම් උපකාරක කෙටි සටහන්)

  • බුදුරජාණන් වහන්සේ අග්ගික භාරද්වාජ බ්‍රාහ්මණයා අරඹයා වසලයා සහ වසලකරන ධර්ම හෙවත් පුද්ගලයා පහත් තත්වයට පත්කරන ධර්ම පිළිබඳව පහදමින් වසල සූත්‍රය හෙවත් අග්ගික භාරද්වාජ සූත්‍රය දේශනා කොට වදාළේය.

  • වසල සූත්‍රයෙහි සඳහන් වසලකරන ධර්ම 20 පිළිවෙලින් පහත පරිදි වේ.

    1. නිතර කිපෙන, වෛරබඳින සුළු, අනුන්ගේ ගුණ මකන තමන්ගේ නැති ගුණ පෙන්වන, මිත්‍යාදෘෂ්ඨික තැනැත්තා වසලයෙකි.

    2. සත්ව හිංසනයෙහි යෙදෙන, සත්වයා කෙරෙහි දයානුකම්පාව නැති තැනැත්තා වසලයෙකි.

    3. ගම් නියම්ගම් වනසන, ගම් පහරන සොරෙකු යැයි ප්‍රසිද්ධ තැනැත්තා වසලයෙකි.

    4. අනුන්ට අයත්, නුදුන් යමක් සොර සිතින් ගන්නා තැනැත්තා වසලයෙකි.

    5. ණයක් ගෙන එම ණය නොපියවා පලා යනු ලබන තැනැත්තා වසලයෙකි.

    6. මාර්ගයෙහි ගමන්ගන්නා ජනතාව තලා පෙලා යමක් පැහැරගනු ලබන තැනැත්තා වසලයෙකි. (මංපහරන්නා)

    7. ජීවිතය නිසා හෝ ධනය නිසා හෝ බොරු සාක්ෂි සපයන තැනැත්තා වසලයෙකි.

    8. හිතමිත්‍රාදීන්ගේ භාර්යාවන් සමග අනාචාරයේ යෙදෙන තැනැත්තා වසලයෙකි.

    9. හැකියාව තිබියදී දෙමාපියන් පෝෂණය නොකර තැනැත්තා වසලයෙකි.

    10. මවට පියාට සහෝදර සහෝදරියනට තලා පෙලා බැන කෝප ගන්වන තැනැත්තා වසලයෙකි.

    11. දියුණුවට හේතුවන කාරණයක් ඇසූ විට කාරණය සඟවා අහිතවත් වූ දෙයක් පවසන තැනැත්තා වසලයෙකි.

    12. අන්‍යන්ට හෙලි නොවන සේ රහසින් පවු කරන තැනැත්තා වසලයෙකි.

    13. අන් නිවසකට ගොස් සංග්‍රහ සත්කාර ලබා එම නිවසේ අයෙක් තම නිවසට පැමිණි විට පෙරලා සංග්‍රහ සත්කාර නොකරන තැනැත්තා වසලයෙකි.

    14. බ්‍රාහ්මනයන් හෝ යාචකයන් හෝ බොරු කියා රවටන තැනැත්තා වසලයෙකි.

    15. තමා ආහාර ගන්නා වේලාවේදී පැමිණෙන ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආහාර නොදී බනින තැනැත්තා වසලයෙකි.

    16. යමක් ලබාගැනීමේ අරමුණෙන් අසත්‍යවූ අසත්පුරුෂ අදහස් ප්‍රචාරය කරන තැනැත්තා වසලයෙකි.

    17. අනුන්ට අවමන් කරන තමා ගැන උසස් ලෙස වර්ණනා කරගන්නා තැනැත්තා වසලයෙකි.

    18. අනුන් කුපිත කරවන, කෑදර, පහත් බලාපොරොත්තු ඇති, මසුරු, කපටි, පවට ලැජ්ජා බිය නැති තැනැත්තා වසලයෙකි.

    19. බුදුන් වහන්සේට හෝ උන්වහන්සේගේ ශ්‍රාවක ගිහි හෝ පැවිදි අයෙකුට නින්දා කරන තැනැත්තා වසලයෙකි.

    20. රහත් නොවූ තැනැත්තෙක් රහත් වූයේ යැයි පවසයිද හෙතෙම මුලූ ලෝකයෙහිම සොරෙකි. අන්තිම වසලයෙකි.

  • නජච්චා වසලෝ හොති
    නජච්චා හොති බ්‍රාහ්මණො
    කම්මනා වසලො හොති
    කම්මනා හොති බ්‍රාහ්මණො

    කෙනෙක් උපතින්ම වසලයෙක් නොවෙයි.
    උපතින්ම බ්‍රාහ්මණයෙක්ද නොවෙයි.
    අපිරිසිදු ක්‍රියා (කර්ම) නිසා වලයෙක් වෙයි.
    පිරිසිදු ක්‍රියා නිසා බ්‍රාහ්මණයෙක් වෙයි.

    ශ්‍රේණි විභාගය 2014

    1. පුද්ගලයා පරිහාණියට පත් වන අයුරු වසල සූත්‍රයේ එන කරුණු අනුව පැහැදිලි කරන්න. (ල.8)