ටිබැට් ජාතික ඇස්. මහින්ද හිමි - 11-වසර ඉතිහාසය

ටිබැට් ජාතික ඇස්. මහින්ද හිමි

 

ඉන්දියාවේ හිමාල පර්වතයට ආසන්න ටිබැට් දේශයට යාබද ව පිහිටි සිකිම් ප්‍රදේශයේ කීර්තිමත් පවුලක සොහොයුරෝ සතර දෙනෙක් වුහ. වැඩිමහල් සොහොයුරා කලිකතා විශ්ව විද්‍යාලයේහි මහාචාර්ය වරයෙකු ලෙසින් කටයුතු කල අතර තුන් වන සොහොයුරා බෞද්ධ භික්ෂූන් වහන්සේ කෙනෙකු ලෙස පැවිදි වී සිටියේ ය. බාල ම සොහොයුරා ඇස්. කේ. තෂිනම්ගල් නම් විය. කුඩා කාලයේ දී ම දෙමව්පියන් මියගිය
හෙයින් තෂිනම්ගල් දරුවා පැවිදි සොහොයුරා සමග කල් ගත කලේ ය.

ක්‍රි. ව. 1914 දී ජර්මන් ජාතික ගුරු ඤාණාලෝක හිමියෝ තෂිනම්ගල් හා පැවිදි සොහොයුරු හිමියන් කැටුව ශ්‍රී ලංකාවට පැමිණිය හ. තෂිනම්ගල් මෙහි පැමිණෙන විට වයස අවුරුදු 11 පමණ විය. මේ තිදෙනා වාසය කලේ දොඩම්දූවේ “ පොල් ගස් දූව” නම් ආරාමයෙහි ය. වයස අවුරුදු 12 වන විට ඤාණාලෝක හිමියන් විසින් තශිනම්ගල්, විදේ‍යාදය පිරිවෙනට භාර කරන ලදී. එහි දී ඔහු සිංහල, පාලි, සංස්කෘත යන භාෂාවන් මැනවින් ඉගෙන ගත් හ. ඉන් පසු ඉංග්‍රීසි ඉගෙනීම සදහා මහාබෝධි විද්‍යාලයට ඇතුලත් විය. කුඩා කාලයේ සිට දැක් වූ ඉගෙනීමේ දක්ෂකම රට දැයසමය කෙරෙහි දැක්වූ භක්තිය ගැන පැහැදුණු ඤාණාලෝක හිමියෝ තශිනම්ගල් දරුවා පැවිදි කළහ. තශිනම්ගල් පැවිදි ජිවිතයට එස්. මහින්ද (සිකිම් මහින්ද) යන නමිනි. රත්මලානේ රජමහා විහාරයේ ශ්‍රී ධර්මකීර්ති ශ්‍රී ධර්මාරාම හිමියන්ගේ ආරාධනය අනුව 1930 දී මහින්ද හිමියෝ රත්මලානට වැඩම කළහ.

එහි දී 1930 ජුනි 16 වන දා සියම් නිකායික සම්ප්‍රදායට අනුව පැවිදි වූ සේක. මහින්ද හිමියෝ සාමණේර කාලයේ සිට ම ඉතා විචිත්‍ර ලෙස ධර්මය දේශනා කරන ධර්ම දේශකයෙක් වුහ. අයුක්තිය, අසාධාරණය, නොඉවසූ උන්වහන්සේ කිපෙන සුළු තැනැත්තෙකු වුව ද අනුන්ගේ දුකෙහි දී වෙඩරු පිඩක් මෙන් උණු වන හදවතක් ඇති අයෙකු බව උන්වහන්සේ ඉතා ළගින් ඇසුරු කල අය දැන සිටියෝ ය. සිංහල, පාලි, සංස්කෘත ආදී භාෂා ද බුද්ධ ධර්මය ද මැනවින් හදාරා සිටි මහින්ද හිමියන්ට 1934 දී කොළඹ ආනන්ද විද්‍යාලයේ ආචාර්ය තනතුරක් ලැබීම උන්වහන්සේගේ ජිවිතයේ වැදගත් සිදුවීමක් විය. බෞද්ධ අධ්‍යාපනය නගා සිටුවීම සදහා ඇප කැප වී වැඩ කිරීමට ඉන් අවස්ථාව සැලසිණි. මහින්ද හිමියන්ගේ චරිතයෙහි සුවිශේෂී ලක්ෂණයක් වූයේ එවකට ඉංග්‍රීසි පාලකයන්ගේ දරදඬු පාලනයට යට වී පයට පෑගී සිටි සිංහල ජනතාව අවදි කරමින් නිදහස ලබා ගැනීම උදෙසා සටන් කිරීම ය. උපතින් විදේශිකයකු වුව ද උන්වහන්සේ තමන් සැලකුවේ මේ රටෙහි ම උපන් සිංහලයෙකු ලෙස ය. උන්වහන්සේ ශ්‍රී ලංකාව හදුන්වන්නේ “මගේ රට” යනුවෙනි. ලංකා වාසීන් අවදි කිරීමට උන්වහන්සේ නොබියව සිය සුරත මෙහෙය වූ සේක. නිදහසේ මන්ත්‍රය, නිදහසේ දැහැන, ලංකා මාතා, ජාතික තොටිල්ල ආදී පොත් තුලින් ජාත්‍යානුරාගය, දේශාභිමානය ඇති කිරීමට උන්වහන්සේ මහන්සි වූ සේක.

බලව් පොළොන්නරු අනුරාපුර                  පෙදෙස

සිතව් පැවති නිදහස මෙහි පෙර                     දවස

නගව් තව තවත් තිසරණ තරුණ                  ගොස

වරෙව් යමව් නැගිටිව් නොපියව්                  දෙඇස

උන්වහන්සේ ඉතා වේගවත් ස්වරයකින්  අදහස් ප්‍රකාශ කළ අයුරු එම කවියෙන් පෙනේ. මහින්ද හිමියන් ලියූ පොත් අතර කුඩා දරුවන් සදහා ලියූ කවි විශාල ප්‍රමාණයක් ඇත. පිටරැටියන්ගේ දේ අගය කරමින් නිවට ලෙස කල් ගෙවූ ලංකාවාසී වැඩිහිටියන් තුළ පමණක් නොව කුඩා දරුවන් තුල ද රට, ජාතිය, ආගම කෙරෙහි ඇල්මක් ඇති කිරීමට නොබිය ව සිය අදහස් මෙහෙය වූ ටිබැට් ජාතික ඇස්. මහින්ද හිමියෝ ක්‍රි. ව. 1951 මාර්තු 16 වන දා රාත්‍රී 8.00 ට පමණ මෙලොවින් සමුගත් හ. 
                                                                  





විශ්මි ඔදිශා
2024 11 17 09:20:57

Matheesha Prabhashwara
Best
2023 09 12 19:47:34