18.2 - භූමි කම්පා

භූමි කම්පාවක් යනු පොළොවේ ඇති වන කම්පනයක් වැනි චලනයකි. ප්‍රබලතාවෙන් අඩු භූමිකම්පා, භූ චලන යනුවෙන් හැඳින්වෙයි.

භූමි කම්පා සහ භූ චලන ඇති වීමට හේතු වන්නේ පෘථීවි කබොලෙහි ගබඩා වී ඇති ශක්තිය නිදහස් වීමයි.

භූමි කම්පා හේතුවෙන් පොළොව මතුපිට ඇති මිනිසාගේ නිර්මාණවලට විශාල ලෙස හානි සිදු වේ.

භූමි කම්පා සිදු වන ආකාරය වටහා ගැනීම සඳහා පෘථීවියේ ව්‍යුහය පිළිබඳව දැනගත යුතු වේ. පෘථීවියේ අභ්‍යන්තර ව්‍යුහය 18.7 රූපයේ දැක්වේ.

පෘථීවි අභ්‍යන්තරය ප්‍රධාන ස්තර තුනකින් යුක්ත වේ.

 

පෘථීවියේ මතුපිට ම ස්තරය වන කබොල, එකිනෙකට සාපේක්ෂව චලනය වන භූ තැටි නම් වූ කොටස් ගණනාවකින් යුක්ත බවට සාක්ෂ්‍ය ලැබී ඇත. පෘථීවි කබොල විශාල භූ තැටි කිහිපයකින් යුක්ත වේ. ඒවා 18.8 රූපයේ දැක්වෙන සිතියමෙන් හඳුනාගත හැකි ය.

පෘථීවි කබොල සෑදී ඇති භූ තැටි, එකිනෙකට සාපේක්ෂව චලනය වේ. මෙය සිදුවන ආකාරය 18.2 ක්‍රියාකාරකම සිදු කිරීමෙන් ඔබට වටහාගත හැකි වනු ඇත.

ප්‍රාවරණයේ ඉහළ කොටසේ ඇති අර්ධ ස්වභාවයේ පවතින මැග්මා මතුපිට භූ තැටි චලනය වන ආකාරය ස්ටයිරොෆෝම් කැබලිවල චලනයට අනුරූප වේ.

 

භූ තැටි චලන සිදුවන ආකාරය

භූ තැටි මායිම්වල දී එකිනෙකට සාපේක්ෂව භූ තැටි චලනය වන ආකාර තුනක් ඇති බව හඳුනාගෙන ඇත.

  • අපසරණ තැටි මායිම
  • අභිසරණ තැටි මායිම
  • තීර්යක් තැටි මායිම

අපසරණ තැටි මායිම

මෙම තැටි මායිමේ දී භූ තැටි දෙක එකිනෙකින් ඈත් වේ. අපසරණ භූ තැටි මායිම්වල දී ඉහළ ප්‍රාවරණයේ ඇති මැග්මා, භූ තැටි දෙක අතුරින් මතුපිටට පැමිණීම නිසා අලූතින් කබොලූ නිර්මාණය වීමක් සිදු වේ. මෙවැනි භූ තැටි මායිම් බොහොමයක් පිහිටා ඇත්තේ සාගර පතුලෙහි ය.

නිදසුන :- මධ්‍ය අත්ලාන්තික් වැටිය (18.11 රූපය)

අභිසරණ තැටි මායිම

මෙම තැටි මායිමෙහි දී භූ තැටි දෙකක් එකිනෙක ගැටීම සිදු වේ. මෙහි දී එක් තැටියක්, අනෙක් තැටිය යටට ගමන් කරයි. මෙම චලන සිදු වන ප්‍රදේශයේ ගිනිකඳු හටගනී.

නිදසුන :- ශාන්ත හෙලේනා ගිනිකන්ද (18.13 රූපය)

තීර්යක් තැටි මායිම

මෙම භූ තැටි මායිමෙහි දී භූ තැටි දෙක එකිනෙකට ස්පර්ශ වෙමින් ප්‍රතිවිරුද්ධ දිශාවලට චලනය වේ.

ඇතැම් විට මෙසේ චලනය වන භූ තැටි එකිනෙකට හිර වීමක් සිදු වේ. මෙලෙස අධික ශක්තියක් එකතු වූ විට එම ස්ථානයේ ප්‍රබල භූමි කම්පාවක් සිදු විය හැකි ය.

නිදසුන :- සැන් ඇන්ඩ්‍රියාස් විභේදය (18.15 රූපය)

පෘථීවි කබොලෙහි භූ තැටි චලනය වන ආකාරය පිළිබඳව ඔබට 18.3 ක්‍රියාකාරකමෙන් අවබෝධයක් ලැබෙනු ඇත.

බිත්තරය මිරිකීමේ දී ඇතැම් පිපිරීම් සහිත ස්ථානවල දී බිත්තර කටු කොටස් ඈත්වනු පෙනේ. එවැනි ස්ථාන අපසරණ තැටි මායිම්වලට අනුරූප වේ.

තවත් සමහර ස්ථානවල බිත්තර කටු කොටස් ළං වනු පෙනේ. එවැනි ස්ථාන අභිසරණ තැටි මායිම් නිරූපණය කරයි.

තවත් සමහර ස්ථානවල බිත්තර කටු කොටස් එකිනෙකට සාපේක්ෂව ඉදිරියට හා පසුපසට චලනය වනු පෙනේ. එවැනි ස්ථාන තීර්යක් තැටි මායිම්වලට අනුරූප වේ.

 

භූමි කම්පාවල තීව්‍රතාව

භූ තැටි එකිනෙක ගැටෙන ස්ථානවල දී පාෂාණ ස්තර නැමීමක් සිදු වේ. මෙසේ නැමීමට යෙදෙන බලය, පාෂාණවල ඔරොත්තු දීමේ හැකියාව ඉක්මවා ගිය විට පාෂාණ ස්තර කැඩී යයි. මෙම කැඩීම සිදුවන ස්ථානය, භූමි කම්පාවේ නාභිය නම් වේ. නාභියට ඉහළින් පොළොව මතුපිට පිහිටි ලක්ෂ්‍යය, අපිකේන්ද්‍රය නම් වේ.

භූමි කම්පාවක නාභියේ සිට සෑම දිශාවකට ම භූ කම්පන තරංග විහිදී යයි. මෙම තරංග මගින් පෘථීවි පෘෂ්ඨය ඔස්සේ ද පෘථීවි අභ්‍යන්තරය තුළින් ද ශක්තිය රැගෙන යයි.

පෘථීවියේ විවිධ ස්ථානවල පිහිටුවා ඇති භූ කම්පන මාන මගින් භූ කම්පනවල ප්‍රබලතාව මැන ගත හැකි ය. භූ කම්පන පිළිබඳ තොරතුරු ඉබේ ම සටහන් කෙරෙන උපකරණය භූකම්පනරේඛය නම් වේ.

භූකම්පනරේඛයේ සටහන් වන තොරතුරු ද භූමිකම්පාවෙන් ගොඩනැගිල්ලට, භූමියට හා මිනිසුන්ට වන හානිය ද පදනම් කොටගෙන ගණනය කරනු ලබන පරිමාණය රිච්ටර් පරිමාණය නම් වේ.

මෙම පරිමාණය 1953 දී චාල්ස් එෆ් රිච්ටර් විසින් හඳුන්වා දී ඇත.

18.3 වගුවේ දැක්වෙන්නේ රිච්ටර් පරිමාණයේ අගයයන්ට අනුව භූමිකම්පාවල තීව්‍රතාව හා එයින් ඇති විය හැකි ප්‍රතිඵල පිළිබඳ කෙටි හැඳින්වීමකි.

 

ලෝකයේ භූමි කම්පා බහුල ප්‍රදේශ

ප්‍රබල භූමි කම්පා සිදු වූ ස්ථාන දැක්වෙන සිතියමක් 18.19 රූපයේ දැක්වේ. එය හොඳින් අධ්‍යයනය කරන්න.

භූමිකම්පා වැඩිපුර සිදු වී ඇත්තේ සමහර මායිම් සහිත ප්‍රදේශවල බව ඔබට ඉහත සිතියම නිරීක්ෂණයේ දී පැහැදිලි වන්නට ඇත. ඒ අතුරෙන් ද වැඩි ම භූමිකම්පා සංඛ්‍යාවක් සිදු වී ඇත්තේ 'පැසිපික් ගිනි වළල්ල' නම් වූ ප්‍රදේශයෙහි ය. එම ප්‍රදේශය අතිවිශාල පැසිෆික් භූ තැටියේ මායිම බව සිතියමෙන් පැහැදිලි වේ.

 

භූමි කම්පාවලට හේතු විය හැකි මිනිස් ක්‍රියාකාරකම්

ස්වාභාවික හේතූන්ට අමතරව මිනිසාගේ ඇතැම් ක්‍රියාවන් ද භූමි කම්පාවලට හේතු විය හැකි බව විද්‍යාඥයන් විසින් මෑතක සිට නිරීක්ෂණය කර ඇත. පහත දැක්වෙන්නේ එවැනි මිනිස් ක්‍රියා කිහිපයකි.

  • පොළොව යට න්‍යෂ්ටික ආයුධ අත්හදා බැලීම.
  • තෙල් සහ ඛනිජ ලබා ගැනීම සඳහා පොළොව ඉතා ගැඹුරට කැණීම.
  • වේලි බැඳ විශාල ජලාශ ඉදි කිරීම.
  • උසින් හා බරින් වැඩි අති විශාල ගොඩනැගිලි ඉදි කිරීම.