18.3 - සුනාමි

2004 වර්ෂයේ දෙසැම්බර් 26 වන දා ශ්‍රී ලංකාවට මෑතක දී බලපෑ විශාලතම ස්වාභාවික ආපදාවට මුහුණදීමට සිදුවිය. එනම් සුනාමි ආපදාවයි. එයින් වසර 12කට පසුව පුවත්පතක පළ වූ ප්‍රවෘත්තියක කොටසක් 18.20 රූපයේ දැක්වේ.

මෙම සුනාමි ආපදාවෙන් ඉන්දියන් සාගරයට යාබද රටවල 250 000ක් මිය ගියහ. ශ්‍රී ලංකාවේ 40 000ක් පමණ මිය ගියහ. එම සුනාමිය හටගත්තේ කෙසේ ද යන්න භූ විද්‍යාඥයන් විසින් පහත දැක්වෙන ආකාරයට පැහැදිලි කර ඇත.

මෙදින ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙ.ව. 6.58ට ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් අසල මුහුදු පතුලේ රිච්ටර් පරිමාණයේ 9.1 ක අගයක් සහිත භූමිකම්පාවක් සිදුවිය. එහි දී අභිසරණ තැටි මායිමක සිදුවන ක්‍රියාවලිය හටගත්තේය. ඉන්දියානු භූ තැටිය, බුරුම භූ තැටිය යටට ගමන් කළේ ය. ඒ අනුව බුරුම භූ තැටිය එසවීම හා භූමිකම්පාවෙන් නිකුත් වූ අධික ශක්තිය නිසා සාගරයේ ජලය ඉහළට එසවීමක් සිදු විය. එයින් හටගත් සුනාමි තරංගය පැයට කිලෝමීටර් 800කටත් වඩා වේගයෙන් ඉන්දියන් සාගරය පුරා විහිදී ගියේ ය.

සුනාමි අවස්ථාවක් ආදර්ශනය කිරීම සඳහා ක්‍රියාකාරකම 18.4 හි නිරත වන්න.

 

සුනාමි ඇති වීමට තුඩු දෙන සිදුවීම්

  • සාගර පතුලේ හටගන්නා භූමිකම්පා
  • සාගර පතුලේ ගිනිකඳු පිපිරීම්
  • සාගර පතුලේ සිදුවන නායයෑම්
  • විශාල උල්කාවක් මුහුදට පතිත වීම

මේ අතරින් විශාලතම විනාශය සිදුවිය හැක්කේ දැවැන්ත උල්කාපාතයක් මුහුදට පතිත වීමෙනි. ග්‍රාහකයක් පෘථීවිය හා ගැටීමෙන් ද මෙවැනි ම විනාශයක් සිදුවිය හැකි ය.

පසුගිය වසර 20 ඇතුළත ඇති වූ සුනාමි පිළිබඳ තොරතුරු 18.5 වගුවේ දැක්වේ.

ඉහත වගුව අධ්‍යයනය කර පිළිතුරු සපයන්න.

  1. මෙම වගුව අනුව වැඩි ම වාර ගණනක් සුනාමි ආපදාවට ලක් වූ රටක් නම් කරන්න.
  2. මෙම කාලය තුළ දෙවරක් බැගින් සුනාමි ආපදාවට ලක් වූ රටවල් මොනවා ද?
  3. වැඩි ම උසකින් යුත් සුනාමි රළ හටගත්තේ කවර දිනක හටගත් සුනාමි ආපදාවෙහි ද?
  4. ඉහත 3 වන ප්‍රශ්නයට පිළිතුර වූ සුනාමිය ශ්‍රී ලංකාවට කෙසේ බලපෑවේ ද?

සුනාමි තරංගයක ස්වභාවය

සුනාමි රළ හෙවත් තරංග, ජල තරංග වර්ගයකි. සාමාන්‍ය ජල තරංගයක ලක්ෂණ 18.23 රූපයේ දැක්වේ.

ජල තරංගයක ඇත්තේ මාරුවෙන් මාරුවට හට ගන්නා ශීර්ෂ හා නිම්න ශ්‍රේණියකි. අනුයාත (එක ළඟ පිහිටි) ශීර්ෂ දෙකක් අතර දුර හෝ නිම්න දෙකක් අතර දුර තරංග ආයාමය නම් වේ. තරංගයේ මධ්‍ය රේඛාවේ සිට ශීර්ෂයකට ඇති ගැඹුර හඳුන්වන්නේ විස්තාරය යනුවෙනි.

සුනාමි රළවල තරංග ආයාමය, විස්තාරය හා තරංගයේ වේගය ගැඹුරු මුහුදේ සිට නොගැඹුරු මුහුදට එනවිට වෙනස්වන ආකාරය 18.24 රූපයේ දැක්වේ.

මුහුද මතුපිට ඇති වන රළවල බලපෑම ජලයේ ගැඹුර මත රඳා පවතී. ගැඹුරු මුහුදේ දී සුනාමි රළවල වේගය වැඩි ය. එම නිසා තරංග ආයාමය ද වැඩි ය. නමුත් විස්තාරය හෙවත් රළවල උස අඩු ය. එබැවින් ගැඹුරු මුහුදේ දී සුනාමි රළ හඳුනාගත නොහැකි වේ. තව ද ගැඹුරු මුහුදේ යාත්‍රා කරන නැව්වලට සුනාමි රළවලින් හානියක් සිදු නොවේ.

නොගැඹුරු මුහුදේ දී සුනාමි රළවල වේගය අඩු වේ. තරංග ආයාමය ද අඩු වේ. එම නිසා විස්තාරය හෙවත් රළවල උස වැඩි වේ. එබැවින් වෙරළ ආසන්නයේ ඇති බෝට්ටුවලට සුනාමි රළවලින් හානි සිදු වේ.

සුනාමි රළවල නිම්නය පළමුව වෙරළට ළඟා වේ. ශීර්ෂය සෑදීමට අවශ්‍ය ජලය ලබා ගැනීමට ජලය ඇදීමක් සිදු වේ. එවිට මුහුද පසුපසට (දියඹට) ඇදීයාමක් සිදු වේ. මෙය සුනාමියක ආසන්න පෙර නිමිත්තකි.

කඩොලාන ශාක ප්‍රජාව සහ කොරල්පර මගින් සුනාමි රළවල වේගය අඩු කරයි. එම නිසා කඩොලාන හා කොරල්පර ආරක්ෂා කිරීම වැදගත් වේ.

භූමිකම්පා හා සුනාමි ඇතිවන දිනය හා වේලාව නිශ්චිතව ප්‍රකාශ කිරීම අපහසු ය. නමුත් යම් ප්‍රදේශයක භූමිකම්පා ඇතිවීමේ අවදානම පිළිබඳව භූ විද්‍යාඥයන්ගේ අනාවැකි ගැන ජනතාව සැලකිල්ලක් දැක්විය යුතු ය.