18.4 - ළැව්ගිනි

ඈත අතීතයේ සිට ම වනාන්තරවල ළැව්ගිනි හටගෙන ඇත. වනාන්තර වියළී ඇති විට අකුණු ගැසීම් වැනි ස්වාභාවික හේතු නිසා ද වැරදීමකින් හෝ උවමනාවෙන් ම ගිනි තැබීම නිසා ද ළැව්ගිනි ආරම්භ වේ.

ගින්නක් ඇතිවීම සඳහා සම්පූර්ණ විය යුතු සාධක තුනක් ඇත.

  • දැවෙන ද්‍රව්‍යයක් තිබීම
  • දහන පෝෂක වායුව හෙවත් ඔක්සිජන් තිබීම
  • දැවෙන ද්‍රව්‍ය ගිනිගන්නා උෂ්ණත්වයට හෙවත් ජ්වලන උෂ්ණත්වයට රත් වීම

ළැව්ගිනි පැතිරී යාමට උපකාර වන සාධක කිහිපයක් ඇත.

  • දැවෙන ද්‍රව්‍ය ලෙස වියළි ශාක පත්‍ර හෝ ගස් කඳන් ආදිය තිබීම.
  • අධික උෂ්ණත්වයක් පැවතීම.
  • වාතයේ ආර්ද්‍රතාව (ජල වාෂ්ප ප්‍රමාණය) අඩුවෙන් පැවතීම.
  • සුළං හැමීම නිසා ගින්නට හොඳින් ඔක්සිජන් ලැබීම.
  • ප්‍රදේශය බෑවුම් සහිත වුවහොත් බෑවුමේ ඉහළට ගින්න පැතිරී යෑම.

ළැව්ගින්නක් අතිශයින් භයානක ය. ඉතා උස් ගිනිකඳක් අධික වේගයෙන් ඉදිරියට ඇදී යාමක් මෙහි දී සිදු වේ. මෙම ගින්නෙන් නැගෙන දුම් මීටර දහස් ගණනක් ඉහළ වායුගෝලයට විහිදී යයි. ගින්නෙන් බොහෝ ඈත පිහිටි ප්‍රදේශවලට ගිනි රොටු ඉහළින් ගොස් වැටීම නිසා, තව තවත් ගිනි හට ගනී.

ළැව්ගිනි හේතු කොට ගෙන වනාන්තරවල ශාක හා සත්ත්ව ප්‍රජාව විනාශයට පත්වීම සිදු වේ. එමෙන් ම ළැව්ගිනිවලින් ඇති වන දුම් මගින් ද ජීවීන්ට හානි සිදු වේ. එමගින් ශ්වසන අපහසුතාව මෙන් ම මරණ සිදු වූ අවස්ථා ද වාර්තා වී ඇත. 2016 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ වනාන්තර අක්කර 4 000ක් පමණ ගින්නෙන් විනාශ වී ඇත.