ගොඩනැගිලි නිමහම් කිරීමේ ක්‍රම (තීන්ත ආලේප කිරීම) - උසස්පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය

ගොඩනැගිලි නිමහම් කිරීමේ ක්‍රම (තීන්ත ආලේප කිරීම)

ගොඩනැගිලි නිමහම් කිරීමේ ක්‍රම (තීන්ත ආලේප කිරීම)

 

ඉදිකිරීම් පෘෂ්ඨ වල මතුපිට ආරක්ෂාව සහ මතුපිට පෙනුම ලබා ගැනීම සඳහා තීන්ත ආලේප කරනු ලැබේ.
තීන්ත ආලේප කිරීම මගින් ඉටුවන කාර්යයන්,


1. මල බැඳීම දිරායාම කෘමි සතුන්ගෙන් හා දිලීර වලින් සිදුවන හානි වලින් පෘෂ්ඨය ආරක්ෂා කිරීම.

2. අලංකාර කැපී පෙනෙන පෘෂ්ඨයක් ලබා ගැනීම.

3. තෙතමනය ශබ්දය ආදී බාහිර සාධක වලින් පෘෂ්ඨය ආරක්ෂා කර ගැනීම.

4. සෞඛ්‍ය සම්පන්න ආරක්ෂාකාරී පෘෂ්ඨයක් ලබා ගැනීම.



තීන්ත ආලේප කිරීමේදී  වර්ණය දිගු කාලයක් නොනැසී පවත්වා ගැනීම සඳහා පහත දැක්වෙන කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

 

1. කපරාදුව තෙත් ව තිබෙන විටදීත් වැසි සහිත කාලගුණයක් ඇති විටදීත් තීන්ත ආලේප නොකළ යුතු ය.


2. තීන්ත ආලේප කිරීමට පෙර ආලේප කරන පෘෂ්ඨය පිරිසිදු කළ සකස් කරගත යුතුය.

උදාහරණ:- * බිත්තියක තීන්ත ආලේප කිරීමේදී කපරාරු පෘෂ්ඨයේ ඇති දූවිලි ආදිය ඉවත් කිරීම හා කඩතොලු වැසීම.

              * වානේ පෘෂ්ඨයක තීන්ත ආලේප කිරීමේ දී ග්‍රිස් මලකඩ ඉවත් කිරීම.

              * ලී පෘෂ්ඨයක තීන්ත ආලේප කිරීමේදී ලී කුඩු පිස දැමීම, අසමානතා පිරවීම පෘෂ්ඨය මත රැඳී ඇති වෙනත් ද්‍රව්‍ය ඉවත් කිරීම.


3. එක් වරක් ආලේප කර වියළීමෙන් පසු ව දෙවන වර තීන්ත ආලේප කළ යුතු ය.



තීන්ත ආලේප කිරීම අවස්ථා තුනකින් සිදු කළ හැකිය.


      1. ප්‍රාථමික ආලේපය
      2. යටි ආලේපය
      3. අවසාන ආලේපය


ප්‍රාථමික ආලේපය කිසියම් පෘෂ්ඨ ඒකට යොදන ලබන මුල්ම ආලේපයයි. මෙය පෘෂ්ඨය සමග ද දෙවනුව ආලේප කරන යටි ආලේපනය සමඟ ද හොඳින් බැඳී තිබිය යුතුය. ආලේපනය මගින් පෘෂ්ඨය මත ඇති කුඩා සිදුරු වසා දැමීම ද සිදු වේ. දැව සහ බිත්ති මත යොදන ප්‍රාථමික ආලේපය මගින් පෘෂ්ඨය ට උරා ගනු ලබන තීන්ත ප්‍රමාණය පාලනය වීමක් ද සිදු වෙයි.

යටි ආලේපනය යනු ප්‍රාථමික ආලේපනයට පසුව අවසාන ආලේපයට පෙර සිදු කරනු ලබන ආලේපනය යි. මෙයින් ප්‍රාථමික ආලේපනය වැසී යයි.

අවසාන ආලේපනය ඉතා කල්පවතින්නා වූ ද ආකර්ෂණීය පෙනුමක් ලබා දෙන්නා වූ ද ආලේපනය වේ.


හොඳ තීන්ත වර්ගයක තිබිය යුතු ගුණාංග.

1. හොඳින් පැතිරීමේ ගුණයක් තිබීම.

2. ආලේප කිරිමට භාවිතා කරන බුරුසු ඉතා පහසුවෙන් හැසිරවීමට හැකි වීම

3. පෘෂ්ඨය පුරා ඒකාකාරී තුනී පටලයක් ලෙස පැතිරී යාමේ හැකියාවක් තිබීම.

4. අඩු කාලයකදී සම්පූර්ණයෙන් වියලීම.

5. ආලේප කර වියලීමෙන් පසු බුරුසු සටහන් දක්නට නොලැබී.

6. වර්ණය වෙනස් නො වී දිගු කාලයක් පැවතීම.

තීන්ත ආලේප කිරීමේ ක්‍රම

1. බුරුසුවෙන් ආලේප කිරීම


2. රෝලරයෙන් ආලේප කිරීම


3. විසිරීමෙන් ආලේප කිරීම

 



තීන්ත වර්ග


01. Emulsion paint - එමල්ෂන් තීන්ත

සිවිලිම දැව ගොඩනැගිල්ලක ඇතුලත බිත්ති සඳහා යොදා ගැනේ. පීඩිත බිත්ති සඳහා weather shield emulsion paint භාවිතා කරනු ලැබේ. මෙම තීන්ත ජලයේ දිය කළ හැක. ආලේප කිරීමෙන් පසු ජලයට ඔරොත්තු දිය හැක.



02. Enamal - එනමල් තීන්ත

ලෝහ දැව බිත්ති වැනි ඕනෑම මතුපිටක් සඳහා භාවිතා කළ හැක. දිලිසෙන නො දිලිසෙන ආකාර වලින් ලබාගත හැක. භාවිතා කිරීමෙන් පසුව මතුපිට බුරුසු පහරවල් ඇති නොවේ. තෙතමනයට සහ ජලයට ඔරොත්තු දේ.



03. Aluminium paint - ඇලුමිනියම් තීන්ත

යකඩ හෝ වෙනත් ලෝහ මතුපිට සඳහා සුදුසු වේ. මල බැඳීම වළක්වයි. දැව මත කෙලින්ම ආලේප කිරීමේදී උරා ගැනීම වැඩි බැවිනි මුලින්ම සීලර් ආලේප කර ඉන්පසු ඇලුමිනියම් තීන්ත ආලේප කරනු ලැබේ.



04. සෙලියුලෝස් තීන්ත

වාහන වැනි ලෝහ මතුපිට සඳහා භාවිතා කරයි. ඉක්මනින් වියලී යයි. සීතල උණුසුම වැනි ඕනෑම කාලගුණික තත්වයකට ඔරොත්තු දේ.