සේද මාවත යනුවෙන් හඳුන්වනු ලබන්නේ චීනයේ හන් රාජවංශය කාලයේදී විධිමත්ව පිහිටුවන ලද වෙළඳ මාර්ග ජාලයකි. එමඟින් පුරාණ ලෝකය වාණිජ් කටයුතු වලට සම්බන්ධ කර ගනු ලැබීම සිදු විය. ඒ අනුව විවිධ සංස්කෘතික වෙනස්කම්, කලාව, ආගම්, දර්ශනය, තාක්ෂණය, භාෂාව, විද්යාව, නිර්මාණ ශිල්පය ආදී දේවල්ද වෙළදාම් සිදු කරන වෙළඳුන් මාර්ගයෙන් සේද මාවත හරහා රටකින් තවත් රටකට හුවමාරු වීම සිදු වී ඇත. විශේෂයෙන් වෙළදාමේ දී මෙම මාර්ගය සුවිශාල දායකත්වයක් ලබා දී තිබේ.
පර්සියානු රාජකීය මාවත (Persian Royal Road)
සේද මාවතේ වැදගත් කොටසක් ලෙස උතුරු පර්සියාවේ (වර්තමානයේ ඉරානයේ) සුසා (Susa) නමැති නගරයේ සිට මධ්යධරණී මුහුද ආසන්නයේ සුලු ආසියාව (වර්තමානයේ තුර්කිය) දක්වා කිලෝමීටර් 2875 ක් දුරට විහිදී තිබූ පර්සියානු රජ මාවත සළකනු ලබයි. එය නඩත්තු කිරීම හා ආරක්ෂා කිරීම සිදු වූයේ ආකේමෙනිඩ් අධිරාජ්යයා (ක්රි.පූ:500-330) අතිනි. මාවත දිගට හල් හා නිත්යය අම්බලම් විය. සෑම නැවතුම් පළකම නව අශ්වයන් හා අශ්වාරෝහකයන් සිටීම නිසා පණිවිඩ ගෙන යාමට ගතවුයේ දින නවයක් පමණි. සාමාන්යය ගමන් කරුවන්ට නම් එම කාලය මාස තුනකි. “ ලෝකයේ පර්සියානු පණිවිඩ හුවමාරු ක්රමය තරම් ශීඝ්ර වූ තවත් සේවයක් නොමැති තරම්ය. හිම කුණාටු, වර්ෂාව, කළුවර, උණුසුම මේ ආදී සියලු දෙයින්ම ආරක්ෂා වෙමින් නියමිත ස්ථානය කරා හැකි ඉක්මනින් පණිවිඩය රැගෙන යයි” යනුවෙන් හෙරඩෝටස් (Herodotus) විසින් මේ පිළිබඳ ප්රකාශ කර තිබේ. මෙම රාජකීය මාවත තවත් බොහෝ මංමාවත්වලට බෙදී පැවතුණි. ඉන්දියාවට හා මධ්යම ආසියාවට යාමට තිබූ මංමාවත්ද ආරක්ෂා කෙරුණේ ආකේමෙනිඩ් අතිනි. පසුකාලීනව මෙම මාර්ගය තව තවත් පුළුල් කිරීම් සිදු කළ අතරම එහි ප්රතිඵලයක් ලෙස ඊජිප්තුවෙන් එපිටට මෙසපොටේමියාව හරහාත් අනතුරුව ඉන්දියන් උප මහද්වීප දක්වාත් විහිදීම සිදු වුණි. (කොස්මස්ගේ රාජ්ය කාලය අතරතුර (ක්රි.පූ:485-465) සූසාහි සිට ඉන්දියාවට හා කුෂ්වලට යැවූ සන්දේශ පිළිබඳව වාර්තා ගැන ඊස්තර්හි සඳහන් වේ. )
ගොඩබිම් සේද මාවත
ගොඩබිම් සේද මාවත දකුණු චීනයේ කැන්ටන් නමැති නගරයෙන් ආරම්භ වී ලැබ්යෝයි හරහා චීනයේ උතරු දිශාවට වන්නට පිහිටා තිබුන ගෝබී නමැති කාන්තාරයේ මායිමේ පිහිටා ඇති ඩුන්ගුවාන් නගරයෙන් අවසන් වේ. චීන ජාතිකයන් මාලිමා යන්ත්රය නිර්මාණය කිරීමත්, ෆිනිෂියන්වරුන් විසින් ඉතාමත් ශක්තිමත් රුවල් නැව් යාත්රා නිෂ්පාදනය කරන තුරුත් ප්රසිද්ධ හා වැඩි වශයෙන් භාවිතා කරනු ලැබුවේ මෙම ගොඩබිම් මාර්ගයයි.එමෙන්ම මෙම මාර්ගය කොටස් දෙකකට බෙදුණ අතරම ඉන් එක් මාර්ගයක් සැතපුම් 400ක් පමණ වූ උතුරු දිශාවෙන් ගමන් කොට ටියන්ෂාන් ඔස්සේ කිෂි නමැති මංසන්ධිය හමු වනවා. දෙවන මාර්ගය වන්නේ මක්ලිමන් නමැති කාන්තාරය ඔස්සේ ගමන් කරමින් කිෂි මංසන්ධියට පැමිණේ. මීට අමතරව ඉන්දියාවේ නැගෙනහිර ගංගානම් නිම්නයේ මෝය කට කිට්ටුවෙන් ආරම්භ වී බරණැස, පාඨලී පුත්ර ආදී නගර ඔස්සේ එමින් කාන්තාරය ඔස්සේ යමින් කිෂි නමැති මංසන්ධියට පැමිණීමටද මාර්ගයක් ඇත. ගොඩබිම් සේද මාවත නඩත්තු කිරීම ද පර්සියන් අධිරාජයා විසින් සිදු කළ අතර ඒ සඳහා මාර්ගයේ ගමන් කරන ලද වෙළෙඳුන්ගෙන් බදු අය කර ගෙන ඇත. (ලොව පළමුවන තීරු බදු ලේඛනය වන පැල්මයිරා තීරු බදු නාමාවලියේ දැක්වේ.)
සාගර සේද මාවත
සාගර සේද මාවත දකුණු දිග චීනයේ සිට වර්තමානයේ බ්රූනයි, තායිලන්තය, මලක්කා, සිලෝන් (ශ්රී ලංකාව) ඉන්දියාව, පකිස්ථානය, පිලිපීනය සහ ඉරානය නම් රටවලට විහිදෙයි. යුරෝපය තුළ එය මධ්යධරණී මුහුදේ ඊශ්රායලය, ලෙබනනය, ඊජිප්තුව සහ ඉතාලිය යන රටවල සිට පෘතුගාලයට හා ස්වීඩනයට විහිදෙයි. චීනයේ දකුණු වෙරළෙන් ඇරඹි මෙම සාගර සේද මාවත මලක්කා සමුද්ර සන්ධිය පසුකොට පැමිණ ඉන්දියන් සාගරය හරහා ලක්දිව මාන්තොට වරායට සේන්දු වේ. අතීතයේ මේ හරහා රුවල් නැව් විශාල වශයෙන් ගමනාගමනයන් සිදුකොට ඇත. නෞකා මගින් වෙළෙඳ භාණ්ඩ ප්රවාහනය කළ පුරාණ සේද මාවතේ පිහිටි රටවල්වලින් එකක් වීමේ භාග්යය ලංකාවට ද හිමිවිය. මෙකී පුරාණ සේද මාවතේ ගමන් කළ නෞකා නැංගුරම් ලද වරාය දෙකක්ම ලංකාව සතු විය. එ් ගොඩවාය සහ ත්රිකුණාමලයයි. සාගර සේද මාවත ආරම්භ වීම ඉතිහාසයේ සිදු වූ ඉතාමත් වැදගත් සිදුවීමක් වූ අතර මෙය ඓතිහාසික වශයෙන් ශ්රී ලංකාවට වැදගත් විය. ඊට හේතුව චීන, සින්දු, පර්සියන්, බැබිලෝනියන්, මිසර, ග්රීක් ආදී ශිෂ්ටාචාරයන් සමඟ සම්බන්ධතා ඇති කරගැනීමට හැකි වීමයි.
සේද මාවතේ පිහිටීම හා ඒ හරහා සිදු වූ වෙළඳාම
සේද මාවතේ පිහිටීම හා ස්වභාවය දෙස අවධානය යොමු කිරීමේදී එය ටිබෙට් සානුව මඟ හරිමින් උතුරු හා දකුණු වශයෙන් මාර්ගවලට බෙදේ. උතුරු මාර්ගය ගන්සු නම් චීන පළාත හරහා වයඹ දෙසට වැටී ඇති අතර ඉන්පසු එය තවත් මාර්ග තුනකට බෙදේ. එයින් මාර්ග දෙකක් තක්ලමකන් කාන්තාරයෙන් (කර්ගස්ථානය සහ සින්ජියෑං අතර) උතුරු සහ දකුණු ප්රදේශ පසු කර නැවත කෂ්ගාර්වෙත පැමිණේ. අනෙක් මාර්ගය ටර්සාන්, ටල්ගර් සහ අල්මාටි (දැනට ගිණිකොණ දිග කසකස්ථානය) හරහා ටියන් ෂාන් කඳුවල උතුරු පෙදෙස පසු කරයි. මෙම සියළු මාර්ග ෆර්ගනා මිටියාවතේ කෝකන්ඩ්හි දී නැවත හමු වී මර්ව් දෙසට කරකුම් කාන්තාරය හරහා දිව යයි. මෙයින් එක් මාර්ගයක් සේද මාවතේ මධ්යස්ථාන වූ බුකාරා සහ සමාර්කන්ඩ් හරහා අමුදර්යා ගඟ දිගේ ඇරල් මුහුදට ද (ඇට්රස්කන් හි පුරාණ ශිෂ්ටාචාරය හරහා) ක්රිමියන් අර්ධද්වීපයට ද දිව යයි. එහි සිට මෙය කළු මුහුද, මාමරා මුහුද සහ බොල්කන්ස් හරහා වෙනීසියට විවෘත වේ. තවත් මාර්ගයක් කැස්පියන් මුහුද හරහා ජෝර්ජියාවේ කළු මුහුදට විවෘත වේ. එතැන් සිට කොන්ස්තන්තිනෝපලය දක්වා දිවේ.
දකුණු මාර්ගය තනි මාර්ගයක් ලෙස උතුරු ඉන්දියාවට හා එතැන් සිට තුර්කිස්තාන කොරසන් පළාත තුළින් මෙසපොටේමියාවට හා ඇනටෝලියාවට දිවෙයි. ගොඩබිම කඳු ගහන ප්රදේශ අධික නිසා මුහුදු මාර්ග ද මෙයට අයත් වේ. චීනයේ සිෂූවෑං නිම්නය හරහා දකුණට වැටෙන මෙම මාර්ගය ඊශාන දිග ඉන්දියාවට උස් කඳු ශිඛර ඔස්සේ වැටී ඇත. ඉන්පසු එය බ්රහ්මපුත්ර හා ගංඟා නම් ගඟ අවට තැනිතලා දිගේ වරනාසිහි බටහිර පිහිටි මහා ප්රධාන පාරට සම්බන්ධ වේ. එය උතුරු පාකිස්ථානය හා හින්දු කුෂ් කඳුවලට උඩින් නැවත උතුරු මාර්ගය සමඟ මර්ව් අසල දී සම්බන්ධ වී කඳුකර උතුරු ඉරානය සහ සිරියානු කාන්තාරයේ කෙළවර හරහා ලෙවන්ට් වෙත වැටී තිබේ. ලෙවන්ට් සිට ගොඩබිම් මාර්ග හරහා ඇනටෝලියාව ඔස්සේ උතුරු අප්රිකාවට සේන්දු වීමට හැකි විය.
නෞකා තාක්ෂණයේ දියුණුවත් සමග ප්රාග් ඓතිහාසික මිනිසා භාණ්ඩ හුවමාරු කර ගනිමින් රටවල් සමඟ වෙළඳ ගනුදෙණුවල යෙදුනහ. ගොඩ බිම හා මුහුදු මාර්ගයන් උපයෝගී කර ගනිමින් සිදු කළ මෙම වෙළාඳාම ශීඝ්රයෙන් සංවර්ධනය වීම ද සිදු විය. ඒ සඳහා ප්රබල සාධකයක් වූයේ සේද මාවතයි. සේද මාවත උපයෝගි කර ගනිමින් සිදු කළ වෙළඳාමට දිගු ඉතිහාසයක් හිමි වේ. පුරාණ ගමනාගමනය හා වෙළෙඳ ගමන් මාර්ග සඳහා සාක්ෂි බොහෝය.
මෙම ඓතිහාසික සාක්ෂි අනූව ඈත අතීතයේ පටන්ම ශිෂ්ටාචාරයන් අතර වෙළඳාම බහුල ලෙස සිදු වූ බව සිතීමට සිදු වේ.
මධ්යකාලීන යුගයේ සේද මාවත
සේද මාවතේ උච්චතම අවස්ථාවන් ලෙස කාල සීමා තුනක් පෙන්වා දිය හැකිය. එහි උතුරු සීමාව බයිසන්ටින් (Byzantine) අධිරාජ්යයා විසිනුත්, (Nile -Oxus) නයිල් - ඕසස් මාර්ග ප්රදේශය සසනිඩ් (Sassanid) අධිරාජ්යයා විසිනුත්, සේද මාවතේ නැගෙනහිර අන්තය යුදාන් (Yuan) රාජවාංශිකයන් විසින් පාලනය කරන ලද වකවානු එම අවස්ථාවනිය. ක්රි.පු. 3 වන සියවසේදි කුෂාන් අධිරාජ්යා මධ්යම හා උතුරු ආසියාව එක්සත් කළ පසු බැක්ට්රියා (Bactria) සහ ටැක්සිලා (Taxila) ප්රදේශවල වෙළදුන්ගේ බලය තවදුරටත් වැඩිවිය. මෙම කාලයේම ඊජිප්තුවේ ඇලෙක්ස්නැඩ්රියාවේ සිට චීනයේ ගැංවංසු (Guangzlae) නගරය දක්වා වෙලදාම කටයුතු සිදු විය. මෙසේ සේද මාර්ගය නිසා එම මාර්ගය දෙපස එවකට හුදකලාව සිටි විවිධ ගෝත්රයන්හට ශිෂ්ඨ සම්න්න වීමට ඉඩ ප්රස්ථාව ලැබුණා පමණක් නොව ආර්ථිකව ශක්තිමත් වීමට ද අවකාශ හිමි වුණි.
සේද මාර්ගය ඔස්සේ බෞද්ධාගම සහ හින්දු ආගම වැනි ආගම් මධ්යම ආසියාවට ගෙන එන ලදි. ක්රි.ව. 4 වන සියවසේ සිට ක්රි.ව. 8 වන සියවස දක්වා සුසාන් ( Suyal ) සහ ටලාස් ( Talas ) නම් ඉතා ප්රසිද්ධ ගැල්කරුවන් කණ්ඩායම් දෙකක් සේද මාවතෙහි වෙළදාම් කටයුතු කර ඇත. ඔවුන් වෙළදාම් කටයුතුවලට අමතරව ආගම සහ සාංස්කෘතිය ප්රචාරණය කිරිමේ කටයුතු වලටද දායකත්වය සපයා තිබේ. මධ්යම ආසියාවේ පමණක් නොව මෙංගෝලියාවේ වැනි බටහිර රටවල් සමග ද වෙලදාම කටයුතු පැවැත් වු මොවුන් සමනිඩ්ස් (Samanids) නම් තුර්කි මුස්ලිම්වරුන්ගේ ආගමනයත් සමඟ පරාජයට පත්ව ඇත.
මෙම යුගයේ සේද මාවත නිසා උතුරු චීනයේ බීජිං නුවර, මධ්ය මොංගෝලියාවේ කරකෝරම් නුවර (Karakorum), උතුර ඉරානයේ අස්රාහ්කාන් (astraklean), සහ මධ්යම රුසියාවේ කාෂන් (Kazan) යන නගර වෙළඳ නගර වශයෙන් ප්රසිද්ධියට පත් විය. මෙම රාජ්යයන් වෙළඳාම් අංශයෙන් එකිනෙකට සම්බන්ධව කටයුතු කළහ. ක්රි.ව 751 දී පැවති ටලාසි (Talas) සමග පැවති යුද්ධයෙන් පසුව තුර්කි මුස්ලිම්වරුන් සේද මාවතේ වෙළඳ ඒකාධිකාරය ලබා ගත්හ. ඉන් පසු ඔවුන් බටහිර ආසියාතික රටවල් සමඟ වෙළඳාමේ නිරත වූහ. මේ නිසා ක්රි.ව 10 වන සියවස වන විට බුද්ධාගම ද මධ්යම ආසියාවෙන් සම්පුර්ණයෙන් තුරන් වූහ.
චීන හා මධ්යම ආසියානු සම්බන්ධතාවලදී සේද මාවතේ භාවිතය.
ටාරිම් මමී හා මොන්ගෝලියානු නොවන චීන මමිවරු, කෝකසොයිඩ්වරු විසින් සේද මාවතේ සිට 200km ක් දුරින් හා යින්පාන්වලට නැගෙනහිරින් පිහිටි ලූලෑන් ප්රදේශයේ වු තාරිම් ද්රොණියෙන් සොයාගනු ලැබ ඇත. ඒවා ක්රි.පූ: 1600 ට අයත් අතර 8 වැනි ශතවර්ෂය තෙක් චීනයේ තාරිම් ද්රොණියේහි (වර්තමානයේ ෂින්ජියෑං) ඉන්දු යුරෝපීය භාෂාව පරිහරණය කළ ටූ තාරියන්වරුන්ගේ මමි යැයි සැක කරනු ලබයි. මේ නිසා පෙරදිග හා අපරදිග අතර පුරාණ සබඳතා තිබූ බවට ඉතිහාසඥයෝ උපකල්පනය කරති.
මෙම යුගයේදී "නෙප්රයිට් ගල්" යාකන්ඩ් හා කෝටන්හි පතල්වල සිට චීනයට අලෙවි කර තිබේ. මෙම පතල් බඩක්ෂාන්හි ලාපිස් ලසුලි හා ස්පිනල් පතල්වලට සමීපයේම පිහිටා තිබුණි. නමුත් පතල්වල සම්පත් හුවමාරු කරගැනීමේදී පාමීර් කඳු හා ඒ අවට වූ මංමාවත් භාවිතා කළ බව පැහැදිලි ලෙසම පෙනේ.
ක්රි. පූ 1000 ට පමණ අයත් චීනයේ නිලද වූ සේද රෙදි ඊජිප්තුවෙන් හමු වී තිබේ. නමුත් ඒවා චීනයේ සේද ද නැතහොත් මධ්යධරණී හෝ මැදපෙරදිග ප්රදේශවලින් පැවති “කෘත්රීම සේද” වර්ගයක්ද යන්න සැක සහිතය. කෙසේ වුවද ඊජිප්තුවේ සේද නිර්මාණය කිරීම මෙම කාලය වන පහත වැටී තිබූ නිසා මේවා චීනයෙන් ආනයනය කළ ඒවා බව සිතිය හැකිය. තත් කාලීනව සමෘද්ධිමත් බවින් හා සභ්යත්වයෙන් පිරිපුන් නගර ලෙස සැලකුණු ෆර්ගානා බැක්ට්රියා, පාත්රියා වැනි නගර සමඟ වෙළඳ සබදතා වර්ධනය කර ගැනීමට චීන අධිරාජ්යයා වූ ඩී උත්සුක වූ බව තානාපති සෑන් ක්වායන්ගේ වාර්තාවල සඳහන් වේ. ඔහු ක්රි.පු. 138 සිට ක්රි.පු. 126 දක්වා ආසියානු චාරිකාවක නියැළී ඇත.
සේද මාවත හා ශ්රී ලංකාව
පුරාණයේ පටන්ම ශ්රී ලංකාව ආසියානු කලාපයේ වෙළඳ මධ්යස්ථානයක් විය. ස්වභාවික වරායන් හා භූගෝලිය පිහිටීම නිසා වෙළඳාමේදී ලංකාවට වැදගත් තැනක් හිමි වී තිබේ. මෙසේ ඉන්දියන් සාගරය හරහා පෙර අපර දෙදිග නාවික වෙළෙදුන් ගමන් ගත් වෙළෙද මාර්ගයක පිහිටා තිබීම නිසා බොහෝ නැවියන්ට නැවතුම් පළක් වසයෙනුත් ශ්රී ලකාව ප්රයෝජනවත් විය. මේ නිසා වෙළෙන්දන්ගේ වෙහෙස මහන්සිය නිවා ගැනීම සඳහා තිබෙන නිවාඩු නිකේතනයක් ලෙස මෙන්ම විනෝදය සපයන ස්ථානයක් ලෙසත් ලොව පුරා ලංකාව ප්රසිද්ධ ඇත. නැව් තැනීම, අලුත්වැඩියා කිරීම වැනි කටයුතු පහසුවෙන් සිදු කරගැනීමට හැකි වූයේ ලංකාවේදීය. මේ රටින් මුතු, මැණික්, ඇත්දත් හක් ගෙඩි හා කැස්බා ලෙලි ආදී දුර්ලභ වස්තු ලබා ගත හැකි වීම නිසාද ලංකාව කෙරෙහි වෙළෙන්දන්ගේ අවධානය යොමුව තිබේ.
ශ්රී ලංකාව හා සම්බන්ධ වාණිජ ඉතිහාසය හැදෑරීමේදී ක්රි. ව 6 වන සියවසේ මෙරටට පැමිණි සෝපේටර් නම් ග්රීක සචාරකයා දැන ගත් කරුණු ද ඇසුරු කරමින් කොස්මස් නම් ග්රීක ජාතිකයකු විසින් ලියන ලද දේශ විස්තරය සුවිශේෂි වේ. එහි සඳහන් පරිදි සයවැනි සිය වස වන විට ශ්රීලංකාව බටහිර හා පෙරදිග රටවල් අතර වූ ප්රධාන අන්තර්ජාතික වෙළෙද මධ්යස්ථානයකි. ඒ සඳහා හේතු වී ඇත්තේ සමුද්ර මාර්ගය මැද ලංකාව පිහිටා තිබීම බව ඔහු පෙන්වා දෙනු ලබයි. මේ නිසා ඉන්දියාවේ නොයෙක් පළාත්වලින් ද, පර්සියාව, ඉතියෝපියාව, චීනය ආදී රටවලින් ද වෙළද බඩු පිරුනු නැව් පැමිණෙන බවත්, මෙහිදි ඒ ඒ ජාතිකයන් බඩු හුවමාරු කර ගන්නා බවත්, මේ රටින් නොයෙකුත් වෙළද බඩු විදේශිකයන් මිල දී ගන්නා බවත් එහි විස්තර වේ.
මන්නාරම් කච්චේරි නමැති ටැම් ලිපියේ මුහුදු සේද මාර්ගය හරහා පැමිණියාවූ වෙළෙඳුන් විසින් ගෙන එන ලද්දා වූ පට පිළි සඳහා මඟපුටුලද්දන් නම් නිලධාරීන් බදු අය කිරීමක් සිදු කළ බව සඳහන් වේ. ක්රි.ව 410 දී පමණ සුප්රසිද්ධ චීන දේශාටකයෙකු වන ෆාහියන් බෞද්ධ භික්ෂුන් වහන්සේ ශ්රී ලංකාවේ සංචාරය කළ අතර එතුමා විසින් ද මේ පිළබඳව වාර්තා කර තිබේ. ඒ අනූව ශ්රී ලංකාව තුළදී චීන සේද ව්යාපාරිකයන් විශාල ගණනක් හමු වූ බවත්, එම වකවානුවේදී චීන ජාතිකයන් “සිහළද්වීප්” යන නාමයෙන් ලක්දිව හඳුන්වා ඇති බවත්, ඔවුන් වෙත මැණික්, ඇත් දළ හා කුළු බඩු ආදිය අපනයනය කළ බවත් එහි දැක්වේ. මෙම සෑම කරුණකින්ම පැහැදිලි වන්නේ සේද මාවත හරහා සිදු වූ වෙළඳාමේදී ශ්රී ලංකාවේ පිහිටීම ඒ සඳහා සෘජුව බලපා ඇති බවයි.
ශ්රී ලකාව ඉන්දියානු සාගරයේ සාමුද්රික වෙළඳ ජාලයෙහි වැදගත් තැනක් ගන්නා බවට රෝමානු, අරාබි හා චීන යන විදේශීය සටහන්වලින් කිය වේ. ලංකාවේ උතුරු පෙදෙසෙහි ස්වභාවික පිහිටීමත්, දකුණු ඉන්දියාවේ සිට ලෙහෙසියෙන් මෙරටට ගොඩ බැසිමේ පහසුකමත් නිසා එසේ වන්නට ඇති බව සිතිය හැකිය. විදේශීය ලේඛකයන්ගේ ලේඛනවලට අනුව, නැව් ගොඩබැස්සේ ටැප්රෝබේන්, සාලිකේ හෝ සීහලදීප යන නම්වලින් එකල හැදින්වුණු ශ්රී ලකාවටය. මෙරටෙහි වෙරළ වටා පැවැතුණු වරාය නගර, පටුනු ගම් කිහිපයක්ම ගැන දේශීය මුලාශ්රයන්වලින් ද සාධක ලැබේ. ඉන්දියානු සාගරයේ සුළං පද්ධතියේ ස්වභාවය නිසා බටහිර සිට යාත්රා කරන නැව් අවශ්යයෙන්ම නැගුරම් ලීය යුතු වූයේ ඉන්දියාවේ බටහිර වෙරළේ හෝ ශ්රී ලකාවේය. ඒ නැවත පෙරදිගට ගමන් කිරීමට නම් වෙනත් දිසාවකට හමන සුළඟක් අවශ්ය වූ නිසාය. එතෙක් විවේකය, නැව් අලුත් වැඩියාව හා වෙළඳාම සඳහා යෝග්ය වූ ස්වභාවික සම්පත්වලින් හා ස්වභාවික ආරක්ෂාවෙන් පරිපූර්ණ වූයේ ලංකාවේ පිහිටි වරායන්ය. ඒ සඳහා බොහෝ දුරට මහාතිත්ථ හා ත්රිකුණාමල වරායන් අනුරාධපුර යුගයේ පටන්ම භාවිතයට ගෙන ඇත.
විජයාගමනයට පෙරද ලංකාවෙන් විසූ ජනයා විදේශීය වෙළෙදුන් සමඟ වෙළෙදාමෙහි යෙදුණු බව ජාතක අටුවාවෙහි එන වලාහස්ස ජාතකයෙන් ද, චීන සචාරක පාහියන් හිමියන්ගේ සටහන්වලින් ද පැහැදිලි වේ. පසුකාලීනව වුවද බටහිර ග්රීකයන් ද පසුව යුරෝපීයන් ද මෙරටට ගොඩ බැස්සේ ඔවුන්ගේ යාත්රා සුළං පහරවල් ඔස්සේ අහම්බෙන් ඇදී ආ නිසා බව පෙනේ. සීසර් අධිරාජ්යාගේ කාලයෙහි රතු මුහුදේ අයබදු අය කිරීමෙහි යෙදී සිටි ඇනියස් ප්ලෝකෝමස් නම් යාත්රිකයාගේ නැව සැඩ සුළගකට අසු වී පසළොස් දිනකට පසු තප්බෝනයෙහි හිප්පුරෝස් නැව්තොටින් ගොඩ බට බවත්, මෙරට රජු ඔහුට සමසක් කාරුණික ලෙස සැලකූ බවත් ග්රීක ලේඛක ප්ලීනි සදහන් කර ඇත. මෙම කරුණුවලින් පැහැදිලි වන්නේ ලංකාව වටා පැවැති මුහුදු කලාපයේ ස්වභාවය ඒ සදහා බලපෑ බවයි. මේ අනූව ආසියානු කලාපයේ වෙළඳාමේ දී ශ්රී ලංකාවේ භූගෝලිය පිහිටීම ඒ සඳහා සෘජුව දායක වූ බව පැහැදිලිය.