කුරුඳු වගාව - උසස්පෙළ කෘෂිකර්මය

කුරුඳු වගාව

 

කුරුදු වගාව

 

හැදින්වීම

 ලොව ඇති හොදම කුරුඳු නිශ්පාදනය කරන්නේ ශ්‍රී ලංකාවේය. එයින් ආර්ථිකමය ලෙස ඉතා ඉහල ස්ථානයක් ලංකාව හිමිකර ගෙන ඇත. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යුගයේ සිට පැවත ආ කුරුදු වගාවේ ශ්‍රී ලංකාව ලොව අනර්ඝතම කුරුඳු සපයන්නා ලෙස තවමත් එම වෙළද ඒකාධිකාරය පවත්වාගෙන යයි.

මෙම ශාකය සදාහරිත බහු වාර්ෂික බෝගයක් වන අතර ලොරේසියේ කුළයට හා සිනමෝමම් ඝණයට අයත් ශ්‍රී ලංකාවට ආවේණික ශාකයකි. වාණිජ කුරුඳු ලෙස ජනප්‍රියව ඇති ප්‍රධාන කුරුදු වර්‍ග දෙක වනුයේ සත්‍ය කුරුදු හා කැසියා කුරුදුය. කැසියා කුරුඳු වගා කරන්නේ ප්‍රධාන වශයෙන් ඉන්දුනීසියාව, චීනය, වියට්නාමය වැනි නැගෙනහිර ආසියාතික රටවල්ය. එම කැසියා කුරුඳු වර්‍ග වනුයේ ඉන්දුනීසියා කැසියා, චීන කැසියා හා වියට්නාම කැසියා යන වර්‍ගයි. මේවායේ ගුණාත්මය සත්‍ය කුරුඳු වලට වඩා අඩුය.

කුරුදු සම්බවය වූයේ ශ්‍රී ලංකාවේ මධ්‍යම කදුකරයේ බවට සාක්ෂි ඇත. එය දැනට ගාල්ල, මාතර, රත්නපුර, කළුතර, මාතලේ, හපුතලේ, බදුල්ල, මහනුවර යන දිස්ත්‍රික්ක වල ව්‍යාප්තව ඇත. කුරුඳු ආහාර පිසීමේදී කුළු බඩුවක් ලෙසද, කේක් හා පැණිරස කෑම වර්‍ගවල රස කාරකයක් ලෙසද, තුන පහ ලෙසද භාවිතා කරයි.

 

දේශගුණය සහ පස

 කුරුඳු නිවර්තන ශාකයකි. ශුෂ්ක දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන විවිධ පාංශු තත්ත්වයන් යටතේ වගාකල හැකිය.ශ්‍රී ලංකාවේ තෙත් හා අතරමැදි කලාපවල වගා කරයි. ලෝම පස, බොරලු සහිත ලැටරිටික් පස කුරුඳු වගාකිරීම සදහා සුදුසුය. පසේ PH අගය 4.5 සිට 5.5 දක්වා පරාසය කුරුදු වගාවට යෝග්‍ය වේ. එසේම යෝග්‍ය උෂ්ණත්ව පරාසය 25C0 ත් 30C0 අතර වේ. තවද මුහුදු මට්ටමේ සිට මීටර් 300-350 දක්වා උච්චත්ව වනාන්තර ආශ්‍රිතව වැවේ. ඒ අනුව පහත රට කෘෂි දේශගුණික කලාපය මේ සදහා සුදුසුය. ජලය බැසයන පසක් විය යුතුය වර්ෂාපතනය 1875 mm ත් 3750 mm ත් අතර පරාසය කුරුදු වගාව සදහා යෝග්‍ය වේ. වියලි කලාපයේ කුරුඳු හොදින් වගා කල නොහැක. ඉතා ගැඹුරට වර්ධනය වන මූල මණ්ඩලය නිසා ඉතා ගැඹුරු ස්ථර වල පෝෂක උරා ගනිමින් නියගයට ඔරොත්තු දෙයි.

                                                     

 කුරුඳු ප්‍රභේද

ශ්‍රී ලංකාවේ කුරුඳු විශේෂ 8 ක් දක්නට ලැබුනත් වාණිජ්‍ය වශයෙන් වගාකරන්නේ එක් වර්ගයක් පමණි. ඒ සිනමෝමම් වෙරම් යන වර්ගයයි. අනෙක් ඒවා වල් කුරුඳු ලෙස ගනන් ගැනේ. එම වල් කුරුදු නකල්ස් කදු හපුතලේ , සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව දැකගත හැකිය.

කුරුඳු කොල තෙල් වල ඇති රසායනික සංගටක අනුව කුරුඳු වර්‍ග 3 ක් ඇත.

01   සැප්රෝල්ආකාර කුරුඳු

02     බෙන්සිල් බොන්සොඒට් ආකාර කුරුඳු

03     ඉයුජිනෝල්ආකාර කුරුඳු

 

කුරුඳු ප්‍රචාරණය

බහුලවම භාවිතා කරන කුරුදු පැළ නිපදවීමේ ක්‍රමය වන්නේ බීජ මගින් පැල ලබාගැනීමයි.

මීට අමතරව අතු මගින්ද පැළ ලබාගනී. පැලකිරීමේ හා බීජ භාවිතයේදී බීජ ලබාගන්නා මව් ගස්වල පහත සදහන් ලක්ෂණ තිබිය යුතුය.

  • සිනිදු මතුපිටක් සහිත පොත්ත හා සෘජු කදක් සහිත වීම.
  • සීග්‍ර වර්ධනය
  • පොත්ත ඉවත්කර ගැනීමේ පහසු බව
  • රෝග පලිබෝධ වලින් තොර බව.
  • මිහිරි බව, සැර ගතිය හා හොද රසය යනාදියයි.

ඉහත සදහන් ගුණාංග වලින් සමන්විත ඉදුණු කුරුඳු බීජ දින 1-2 ක් පමණ මතුපිට ආවරණය මෘදුවන තෙත් සෙවනේ ගොඩගසා තබයි. පසුව මෘදු බීජාවරණ ඉවත් කර ජලයෙන් සෝදා පවනේ වියලා ගනු ලැබේ. අනතුරුව නොපිරුනු හා කුඩා බීජ ඉවත්කර ලබාගත් පිරිසිදු බීජ පොලිතීන් මලු වල හෝ ගිල්වූ වැලි පාත්ති වල සිටුවීම සිදුකරයි.

පොලිතීන් මලු වල බීජ පැල කිරීමේදී එක් මල්ලක බීජ 7-10 ක් පමණ හොදින් විසුරුවා කොහුබත් හෝ තුනී පස් ස්ථරයකින් වසනු ලැබේ. එක් පොලිතීන් බදුනක පැල 5 ක් අවම වශයෙන් තිබිය යුතු අතර බීජ සිටුවා මාස 4-6 කාලය තුල ක්ෂේත්‍රයේ ස්ථාපනය කල හැකිවේ.

වර්ධක ප්‍රචාරක මගින් උසස් ගුණාත්මක පැල ලබා ගැනීමද ඉතා වැදගත්ය. මේ සදහා එක් ගැටයක් සහිත තනි පත්‍රයකින් යුතු වූ සෘජු අතු කැබලි භාවිතා කරයි. මේවා කොලපාට වර්ණයෙන් යුක්ත බාගෙට මේරූ දඩු විය යුතුය. මේ සදහා තවාන් මිශ්‍රණය පුරවාගත් පොලිතීන් මළු භාවිතා කරයි. එම මළු වල මෙම දඩු සිටුවා හොදින් ජලය එකතු කොට දිලීර ආසාදන වැලැක්වීම සදහා තඹ අඩංගු දිලීර නාශකයක්ද යොදා ආර්ධතාවය ආරක්ෂා කර ගනු පිණිස පොලිතීන් වලින් හොදින් වසනු ලැබේ. පසුව සති 4කින් මෙම ආවරණය ඉවත් කොට වල් පැල ගලවා නැවතත් වතුර එක්කොට මුලින් වැසු ලෙසම ආවරණය කරයි. අනතුරුව පැල දැඩි කිරීම සති 8 කින් ආරම්භ කරන අතර මාස 6 කින් පමණ පසු ක්ෂේත්‍රයේ සිටුවනු ලැබේ.

 

වගාව ස්ථාපනය කිරීම

 කුරුඳු ක්ෂේත්‍රයේ සිටුවීමේදී බහුලව භාවිතා කරන වගා පරතරය අඩි 4×4 හා 4×3 වේ. නමුත් පර්යේෂණ දත්ත අනුව 4×2 සදහා ස්ථානයක පැල 3ක් සහ 3×2 සදහා එක් ස්ථානයක පැල 2ක් සිටුවීම මගින් වැඩි අස්වැන්නක් ලබා ගත හැකි බව පෙනේ. මෙම මෙම අඩු පරතරය යටතේ පාංශු ඛාදනය අවම වීම, වල් පැලෑටි වර්ධනය අඩු වීම, පොත්ත රළු වීමේ රෝගය හා කද විදින සලබයාගේ හානියද අඩුවේ. අඩි 4×3 යටතේ එක් ස්ථානයක පැල 5 ක් සිටුවීම වඩාත් උචිතය. පැල සිටුවීම සදහා අඩි 1*1*1 වලවල් කපා ගත යුතුය.

 

වල් පැලෑටි මර්ධනය

කුරුඳු පැල වගාව කුඩා අවධියේදී වල් පැල වලින් තොරව තබාගැනීම ඉතා වැදගත් වේ. නමුත් අධික ලෙස පස් නිරාවරණය වන ලෙස වල් පැල මර්ධනය එතරම් සුදුසු නොවේ. විශේෂයෙන් වැල් වර්ග වර්ධනය වීම වැලැක්විය යුතුය . විසි කැති ගැසීම, වසුන් යෙදීම වල් පැලෑටි මර්ධනය සදහා භාවිතා කල හැකි අතර පඳුරු පාමුල වල් පැලෑටිවලින් තොරව තබා ගැනීම මගින් පාංශු ඛාදනය අඩුවීම මෙන්ම පසේ තෙතමනයද රැදේ. පාලු සිටුවා නියම පැල ගහණය පවත්වාගෙන යන කුරුඳු ඉඩමක වල් මර්ධනය සදහා එතරම් අධික මුදලක් වැය නොවේ.

  

පැල පුහුණු කිරීම හා කප්පාදු කිරීම 

පැල පුහුණු කිරීමෙන් කුරුඳු කදන් කෙලින් වැඩීම සිදුකරයි. මෙය ක්ෂේත්‍රයේ ස්ථාපනයෙන් මාස 3 කින් පසු සිදුකරයි. වගා පරතරය අනුව දුර්වල පැල ඉවත් ‍කොට දමයි. පැල වලට අවුරුදු 1 ½ ක් 2 ක් වන විට පහල කොටස්හී හරස් අතු අඩියක් 1 ½ ක් පමණ උසට යන තෙක් ඉවත් කෙරේ. මෙම ක්‍රියාවලිය පඳුරු පාමුලට සුර්යාලෝකය වැටීමටත් සෘජු කදන් ඇතිවීමටත් වැදගත් වේ. අනතුරුව තුනී පස් ස්ථරයකින් පදුරු පාමුල වැසීමෙන් අළුත් මොටෙයියන් බිහි වේ. කෙලින් අතු ලබා ගැනීමට පහල හරස් හා අනවශ්‍ය අතු කප්පාදු කිරීම වඩාත් වැදගත් වේ. මෙම ක්‍රියාවලිය අස්වනු නෙලීමට මාස 3 කට පෙර සිදු කල යුතුවේ.

 

පොහොර යෙදීම

අසුවැන්න නෙලීමේදී මෝරන ලද කුරුඳු දඩු සමග විශාල කොල ප්‍රමාණයක් හා නොමේරූ අතු ක්ෂේත්‍රයෙන් ඉවත් වේ.මේ නිසා විශාල පෝෂක ප්‍රමාණයක් ක්‍ෂේත්‍රයෙන් ඉවත්වේ. එබැවින් අතිරේඛ පොහොර පසට එකතු කල යුතුය. පර්යේෂණ දත්ත අනුව නයිට්‍රජන් පෙහොර වලට කුරුඳු ශාකය වැඩි නැඹුරුවක් දක්වයි. එනිසා යූරියා කුරුඳු වගාවට ඉතා වැදගත් ය. කුරුදු කොල හා කුඩා අතු ක්ෂේත්‍රයේ ඉතිරි කිරීමෙන් කාබණික පොහොර පසට ලැබේ. රසායනික පෙහොර ලෙස යුරියා, රොක් පොස්පේට් හා MOP කුරුඳු සදහා භාවිතා කරයි. ඉහත රසායනික පෙහොර ද්‍රව්‍යවල මිශ්‍රණයෙන් පැල පරතරය අනුව පහත සදහන් ප්‍රමාණයන්ගෙන් පෙහොර යෙදීම සුදුසු බව නිර්දේශ කෙරේ.

     

     පැල පරතරය               

එක් පදුරකට යෙදිය යුතු පොහොර                ප්‍රමාණය (ග්රෑම්)  

හෙක්ටයාරයකට පදුරු ගණන

අඩි 4×2

අඩි   4×3                         අඩි 4×4

33 g

50g

65g

13890

9260

6950

 

ඉහත මිශ්‍රණය අදාල ප්‍රමාණයන්‍ගෙන් වසරකට දෙවරක් වර්‍ෂාව ආරම්භයත් සමග යෙදිය යුතුය. පොහොර යොදන අවස්ථාවේදී පසේ තෙතමනය තිබිය යුතුවේ. පුදුරු වටා හෝ පේලි අතර අඩියක් ඈතින් පෙහොර යෙදිය යුතුවේ. අනතුරුව හොදින් පසට මිශ්‍ර කල යුතුය.මීට අමතරව හෙක්ටයාර් 1 කට ඩොමයිට් ග්රූම් 500 ක් යෙදීම මගින් Mg ඌණතාවය නැති කොට පසේ PH අගය නියමිත තත්ත්වයට ගෙන ආ හැකිය.

 

කෘමි හානි

 කුරුදු වගාව සදහා ප්‍රධාන පලිබෝධ හානි එතරම් නැති උවත් සමහර ප්‍රදේශවල කෘමිහානි නිසා අස්වැන්නට බලපෑම් ඇති වූ අවස්ථා ඇත. එම පලිබෝධ හානි අතර ,

  • කුරුදු කද විදින සළඔයා/රෝස කද පණුවා/

( සයිනෑන්තිඩෝන් විශේෂය)

 මෙම කද විදින සළඔයාගේ කීටයා විසින් කද පාමුල පොත්ත හා කද අතර ඇති කොටස් ආහාරයට ගනී. මේ නිසා ගසට හානි වේ. සමහර විට ගස කඩා වැටේ. මෙම හානියට පත්වන කොටස් වලින් අලුත් රිකිලි ඇති නොවේ. ක්‍රමයෙන් පදුර මැරී යයි. හොදින් නඩත්තු නොකරන වගාවල හා වයස්ගත වගාවල බහුලව දක්නට ඇත. පාලනය සදහා පදුරු වටා ඇති පස් තට්ටුවක් දැමීම වඩාත් යෝග්‍ය ක්‍රමයවේ. තවද නිසි ලෙස වල් මර්ධනය හා පොහොර භාවිතය මෙම හානිය අවම කර ගැනීමට ඉවහල් වේ. හානිය උග්‍ර වු විට කාබෝපියුරාන් හෝ ක්ලෝරෝ පයිරිස් වැනි කෘමිනාශක යෙදීමෙන් මර්ධනය කල හැත.

 

  • කුරුදු රිකිලි විදින ගුල්ලා ( ඇල්සිපන්ක්ලෝසස්)

මෙම ගුල්ලා නොමේරූ කුරුදු රිකිලි වලින් යුෂ උරා බොයි. මීට අමතරව සුහුඹුලා මෙම නොමරූ රිකිලිවල බිත්තර දැමීමෙන් පසු ඇතිවන කීටයා ශාකයේ නොමේරූ රිකිලි ආහාරයට ගනී. මෙහි ප්‍රතිඵලයක් ලෙස නොමේරූ පටක මැරී යන අතර අළුතින් රිකිලි විශාල ලෙස ඇතිවීමෙන් දිගුකදන් ලබාගැනීමට නොහැකි වේ.පාලනය සදහා  හානි සිදුකරන ලද රිකිලි කපා ඉවත් කිරීම මගින් මෙම හානිය මර්ධනය කල හැකි අතර හානි වඩාත් දරුණු වූ විට ඩයිමිතොඒට් වැනි සංස්ථානික කෘමිනාෂකයක් යෙදා පාලනය කල හැකි වේ.

 

  • පැල මැක්කාගේ හානිය

කුරුදු ශාකයේ ලපටි පත්‍ර හා රිකිලි වල යුෂ උරාබොයි. ඉන් එම රිකිලි මැරී යයි. පසුව යටින් නව රිකිලි රාශියක් හට ගන්නා අතර ඒවාටද හානි කරයි. මෙම හානිය පැල වගාවේදී හා වෙනත් තවාන් වලදී දරුණු ලෙස හානියට පත්වේ. පරිනත වගාවලදී ද දැකිය හැකිය.මෙම පලිබෝධකයා පාලනය කිරීම සදහා ඩයිමිතොඒටි හෝ ක්ලෝරෝපයිපොස් වැනි කෘමි නාශකයක් යෙදීටමන් මර්ධනය කල හැකිය.

 

  • පත්‍ර මත උමං තනන්නාගගේ හානිය(ඇක්රෝසර්කොප්ස් ඕඩිවටෙලා මෙරික්)

මෙම සලඹයාගේ කීටයා කුරුදු ශාකයේ ලපටි පත්‍රවල දඩු හා යටි අපිචර්මය අතර මාංශල කොටස් කාදමමින් උමං තනයි. පැල වගාවේදී හා තවාන් වලදී හානිය දරුණු විය හැකිය. මර්ධනය සදහා ඉමිඩක්ලෝප්‍රිඩ් වැනි කෘමි නාශක යෙදීම මගින් හානිය අවමකර ගත හැකිවේ. ඩයිමිතොඒට් කෘමි නාශකයට මෙම කෘමියා ප්‍රතිරෝධයක් දක්වයි.

 

  • පත්‍ර ගොටු තනන පණුවා ( සොරලෝපා ආකිමිඩියස්)

මෙම පණුවා කුරුදු පත්‍ර රාශියක් එකතුකොට ගොටුවක් තනා එම පත්‍ර ආහාරයට ගනී. පරිනත වගාවේදී හානිය ආර්ථික පාඩුවක් නොවන නමුත් පැල වගාවේදී හා තවාන් වලදී පත්‍ර හැලී වියලී මැරී යයි. වගාවේ ගොටු විනාශකර විසුරුවා හැරීමෙන් මෙම පලිබෝධකයා සාර්ථකව පාලනය කල හැකිය.

 

රෝග

  • පොත්ත රළුවීමේ රෝගය

ෆෝමොප්සිස් විශේෂයට අයත් දිලීරයක් මගින් හානිවේ. දකුණු දිග ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම වාගේ හානිය වාර්ථා වී ඇත. කුරුදු වල නොමේරූ කදෙහි කොල පැහැති පොත්තට හානි කරයි. ඇතැම් පැල මිය යෑම සිදුවේ. මින් පොත්ත රළුවීමේ තත්වයක් ඇතිකරයි.

ශෂ්‍ය විද්‍යාත්මක කුමයක් ලෙස රෝගයට පාත්‍ර වූ කොටස් කපා පුළුස්සා දැමීම මගින්ද , රසායනික මර්ධන ක්‍රමයක් ලෙස 1% බෝඩෝ මිශ්‍රණය හෝ තඹ අඩංගු දිලීර නාශකයක් ඉසීමෙන්ද මර්ධනය කල හැකිවේ.

 

  • කොල අංගමාරය

දුඹුරු පැහැති කුඩා ලප පත්‍ර මත ඇතිවේ. මෙම ලප පත්‍ර අග්‍රයේ සිට හෝ පත්‍ර දාරයේ සිට මතුවී පත්‍ර තලය මත පැතිරීම සිදුවේ. වර්ෂා කාලයේදී පැහැදිලි ලෙස නිරීක්ෂණය කල හැකිය.

පරිණත කුරුදු ශාක සදහා එතරම් හානියක් මේ මගින් සිදු නොවේ. නමුත් පැල වගාව හා තවාන් වලදී මේ මගින් දරුණුලෙස හානිවීමට පුළුවන. තවාන් වල සෙවන ඉවත් කිරීම, රෝගයට පාත්‍ර වූ පැල ඉවත් කිරීම හා බෝඩෝ මිශ්‍රණය හෝ 1% තඹ අඩංගු දිලීර නාශකයක් ඉසිමෙන් පාලනය කල හැකිවේ.

                                                                

  • කළුපිටි පුස් රෝගය ( ස්ටෙනෙල්ලා විශේෂ )

 වගාවට සෙවන වැඩි වූ විට මෙම රෝගය ඇතිවිය හැක. මෙහි විශේෂ ලක්ෂණය පත්‍ර මතුපිට පමණක් රෝගය පැතිරීමත් පත්‍රය තුලට රෝගය ඇතුළු නොවීමත්ය. ආර්ථික මට්ටමේ හානියක් සිදු නොවේ. සෙවන ඉවත් කිරීමෙන් රෝගය පාලනය වේ.

 

අස්වනු නෙලීම

පොත්තෙහි වර්ණය දුඹුරු පැහැගැන්වී ඇති අවස්ථාව අස්වනු නෙලීමට සදුසුය. අළුත සිටවූ අවස්ථාවකනම් අවුරුදු 2 ½ - 3 කදී මුලිමනින්ම අස්වනු නෙලීමට සුදුසු තත්ත්වයට පත්වේ. මේරූ කදන් පොලව මට්ටමේ සිට 6 cm ක් පමණ ඉහලින් එක් පදුරක මේරූ කදන් 2 ක් පමණ ඉතිරි වන සේ කපා වෙන්ක ල යුතුය. කැපීමේදී සෑම විටම කැපුම් පෘෂ්ඨය පිරිසිදුව හා තියුණුව 450 ක් පදුර ඇතුලට ආනතවන සේ කපාගත යුතුය. මින් පදුරේ පැතිරීම පිටතට සිදුවීම වැඩිදියුණු කරයි. මින් කුරුදු ශාකයේ හැඩය පදුරක් සේ පවත්වාගත හැකිය. කප්පාදු කිරීමෙන් පසු රිකිලි විශාල සංඛ්‍යාවක් අළුතින් හටගනී. ඉන් සෘජු ශක්තිමත් නීරෝගී රිකිලි 3 ක් පමණක් ඉතිරිකර ඉතිරි ඒවා ඉවත් කල යුතුය. මින් අවුරඅදු 8-10 ක් පමණ වයසැති වගාවකින් එක් අස්වනු වාරයකදී එක් පදුරකින් කදන් 5-8 ක් පමණ කපාගත හැකිවේ. හොද පාලන තත්වයක් යටතේ වසරකට දෙවරක් අස්වනු නෙලිය හැක.

මේරූ කදන් කපා ගැනීම කල යුත්තේ වර්ෂා කාල 2 ක අවසානයේ ඇතිවන අලුත් කොල මේරීමෙන් පසුවය. මේ අවස්ථාවේදී පොතු ගැලවීම පහසු වේ. පාලන තත්ත්වය යටතේ වසරේ අනෙක් කාල වලදී අස්වනු නෙලනු ලැබේ. මල් හා අලුතින් දලු දමන කාල මග හැරීම මගින් කුරුදු නෙලීම පහසු වේ. පොත්ත ගැලවීමේ ක්‍රමවේදයක් හා ඒ සදහාම වෙන්වූ ආයුධද තිබේ. පොත්ත ගැලවීම සදහා කෙලවර තුඩක් ඇති රවුම් පිහියක් භාවිතා කරයි. පොත්ත බුරුල් කිරීම සදහා තැලීමට පිත්තල දණ්ඩක් භාවිතා කරයි. මෙම උපකරණ මගින් ගලවා ගත් පොත්ත එකක්මත එකක් වන සේ සන්ධිකර කූරු පුරවා 42 cm ක් දිගු කූරු සාදා ගනු ලැබ්. දෙපස කතුරකින් කපා මට්ටම්කරයි. ඉන්පසු මෙම කුරුදු ප්‍රයෝජනයට ගැනිමට සුදුසු තත්ත්වයට පත් වන තෙක් නිවසේ ලණ දැල්මත පවනේ වේලීම සිදුකරයි. එනම් දින් 04 ක් 07 ත් අතර වන ලෙසය.

                

කුරුදු වල ගුණාත්මය

 කරුදු වගාවේ මූලික ඉලක්කය අන්තර් ජාතික වෙලෙද පොලයි. ඒ සදහා අදාල ප්‍රමිතීන් තිබිය යුතුය. මේ සදහා ගොවියගේ සිට අපනයනය දක්වා වූ සෑම දෙනාම අදාල සෑම පියවරක්ම ගත යුතුය. කුරුදු ආනයනික රටවල ප්‍රමිතීන්ට හා අවශ්‍යතාවයට අනුකූල වන පරිදි නිෂ්පාදනය කිරීම සදහා සනීපාරක්ෂක නිර්ණායකයන් වලට නැඹුරුවීම ඉතා වැදගත් වේ. මේ සදහා යහපත් කෘෂිකර්මික පුරුදු, හොද නිෂ්පාදන ක්‍රියාමාර්‍ග, නිෂ්පාදනයේ සිට අලෙවිය දක්වාම අනුගමනය කළ යුතුය. මෙලෙස නිෂ්පාදනය කරන කුරුදු වල ගුණාත්මය තීරණය කරන සාධක කිහිපයක් ඇත. ඒවානම්,

 සුවද    :- ආවේණික නැවුම් සුවදක් තිබිය යුතුය.

වර්ධනය    :- ලා දුඹුරු පැහැයේ සිට මද රතු පැහැය දක්වා

රස            :- ආවේණික වු සියුම් පැණි රස. පුස් වැනි වෙනත් ආගන්තුක රසවලින් තොරවීම.

තෙතමනය :-කුරුදු කූරු 14% ට නොවැඩි සහ අනිකුත් නිෂ්පාදන 12 % නොවැඩි විය යුතුය.

වාෂ්පශීලී තෙල්   :- කුරුදු සදහා අවම වශයෙන් වියලි බරින් 1 % ක සහ අනෙකුත් නිෂ්පාසන වල 0.7% ක් අඩංගු විය යුතුය.

ඇසුරුම් කාලය :- අවම වශයෙන් අවුරුදු 1 යි

කුරුදුවල පවතින වාර්ෂික සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාර් 1 කට 470kg ක් වේ .නමුත් මෙය හොද පාලන තාවයක් යටතේ වර්ෂයකට හෙක්ටයාර් එකකට 750kg – 1000 kg දක්වා වැඩිකර ගත හැකිය. කුරුදු කොල අස්වැන්න වාර්ෂිකව හෙක්ටයාර් එකකින් 10000kg ක් පමණ ලබාගත හැකිය.

 

කුරුදු ශ්‍රේණි

වෙලෙද පොල සදහා ශ්‍රී ලංකාවේ නිපදවන කුරුදු ශ්‍රෙණි කීපයක් ඇත.

  • කූරූ
  • කූරූ කැබලි
  • ‍‍පෙදරින්ස්
  • චිප්ස්
  • කුඩු කරන ලද කුරුදු කුඩු ලෙසය.

කුරුදු වාණිජ්‍ය මට්ටමේදී සාමාන්‍යෙයන් අලෙවි කරනු ලබන්නේ කුරුදු කූරූ වශයෙනි. මෙම කූරූ විශ්කම්භය දිග හා අඩංගු ගොරහැඩි ප්‍රමාණය පදනම් කරගෙන තවත් ශ්රේණි කිහිපයකට වෙන්කර ඇත. ඒවා පහත පරිදි වේ.

ල්බා ශ්‍රේණිය

C- 5ස්පෙෂල් ශ්‍රේණිය

C- 5ශ්‍රේණිය

C–4 ශ්‍රේණිය

M–5 ශ්‍රේණිය

M –4 ශ්‍රේණිය

H – 1 ශ්‍රේණිය

H – 2 ශ්‍රේණිය

H – 3 ශ්‍රේණිය              

  

කුරුදු තෙල් නිෂ්පාදනය

 කුරුදු ශාකයේ විවිධ කොටස් වලින් වාශ්පශීලී තෙල් වර්ග 4 ක් ලබාගනී. පොත්තෙහි අඩංගු තෙල්වල අන්තර්ගත වන සංඝටකය ‘‘ සිනමික් ඇල්ඩ්හයිඩ් ‘‘ වේ. මෙය සුවද විලවුන් සහ රසකාරක නිෂ්පාදනයේදී යොදා ගනී.

කුරුදු කොල තෙල් වල අඩංගු ප්‍රධාන සංඝටකය වනුයේ ‘‘ ඉයුජිනෝල්ය ‘‘ මෙයද සුවද විලවුන් සහ රසකාරක නිෂ්පාදනයේදී භාවිතා කෙරේ. කුරුදු කොලවල තෙල් ප්‍රතිශතය සුලු ප්‍රමාණයක සිට 4.8% දක්වා අඩංගු වේ.

කුරුදු මුල්වලින් ලබාගන්නා වාෂ්පශිලී තෙල් වල අඩංගු ප්‍රධාන සංඝටකය වනුයේ කැම්පර් (කපුරු) ය. කුරුදු ගෙඩිවලින් ලබාගන්නා තෙල්වල අඩංගු ප්‍රධාන සංඝටක වනුයේ කැඩිනීන්ය.