උසස්පෙළ දේශපාලන විද්‍යාව

දේශපාලන විද්‍යාව විද්‍යාවක් නොවේ

දේශපාලන විද්‍යාව විද්‍යාවක් නොවේ.

 

ලලිත කලා අධ්‍යනයකට වැඩි යමක් දේශපාලන විද්‍යාව තුල දක්නට නොමැත.

  • එංගලන්ත ජාතික එඩ්මන් බර්ක්

 

            සමාජ විද්‍යා හා ස්වාභාවික විද්‍යා වශයෙන් ප්‍රධාන විශය ධාරා දෙකක් අධ්‍යන ක්ෂේත්‍රය තුල හදුනාගත හැකි අතර දේශපාලන විද්‍යාව සංවිධිත සමාජ විද්‍යාවක් ලෙස ආරම්භ වූ පසු එය නීතිය, දර්ශනය, මානව විද්‍යාව, ඉතිහාසය ආදී සමාජ විද්‍යා විෂය  ක්ෂේත්‍රයට අයත්ද, ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව වැනි ස්වාභාවික විද්‍යා විෂය ක්ෂේත්‍රයට අයත්ද යන්න පිළිබඳව ඉතා දීර්ඝ කාලයක් පුරා සාකච්ඡාවට බඳුන්ව පැවති කරුණකි. නමුත් දේශපාලන විද්‍යාවේ විද්‍යාත්මක භාවය උපහාසාත්මකව බැහැර කරන තෝමස් මෙට්ලන්ඩ් පවසන්නේ,

 

දේශපාලන විද්‍යාව යන මාතෘකාව යටතේ හොඳ ප්‍රශ්න පත්‍රයක් දුටු විට මට සිනහ පහල වනුයේ අසා ඇති ප්‍රශ්න පිළිබඳව නොව සපයා ඇති මාතෘකාව පිළිබඳවයි..

  • තොමස් මෙට්ලන්ඩ්

              දේශපාලන විද්‍යාව ස්භාවික විද්‍යාවක් නොවන බවට තර්ක කරන ප්‍රංශ ජාතික ඔගස්ට් කොම්ටේ පෙන්වාදෙන ආකාරයට ප්‍රධාන කරුණු 03 ක් හේතු කොට ගෙන තම මතය තහවුරු කරයි.

  1. විෂයේ වර්ධනය පිළිබඳව ඒකීයතාවයක් නොමැති වීම.
  2. අධ්‍යන ක්‍රම ශිල්ප, භාවිත කරන මූලධර්ම, හා අවසාන නිගමන පිළිබඳව දේශපාලන විද්‍යාෙව් පොදු එකගතාවයක් නොවීම.
  3. නිවැරදි බව සියයට සියයක්ම සහතික කෙරෙන නියතීන් දේශපාලන විද්‍යාව තුල දක්නට නොමැති වීම.

විද්‍යාත්මකව කරුණු ගවේෂණයට දේශපාලන විද්‍යාව තුල ඇති බොහෝ ඉඩ ප්‍රස්ථා ප්‍රයෝජනයට ගන්නා විද්වතුන් මෙය ස්වාභාවික විද්‍යාවකින් වෙනස්වන ආකාරය පහත නිර්ණායක ඔස්සේ පැහැදිලි කරයි.

 

  • ස්ථීරසාර වූත් සර්ව භෞමික වූත් න්‍යායන් මූලධර්ම දේශපාලන විද්‍යාව තුල දක්නට නොමැති වීම

දේශපාලන විද්‍යාව තුල භාවිතයට ගැනෙන න්‍යාය හා මූලධර්ම වල විශ්ව ව්‍යාප්ත වූ එකඟතාවයක් නොමැති වන අතර ඒවා කිසිඳු සමානකමක් හෝ දක්නට නොලාබේ. ගුරැත්වාකර්ෂණ න්‍යාය, සාපේක්ෂතා වාදය වැනි ස්ථීර සාර න්‍යායන් ස්වාභාවික විද්‍යාවන් තුල එකම මූලධර්ම මත විග්‍රහ වේ. ගුරුත්වාකර්ෂණ න්‍යායට අනුව යම් ඝණ වස්තුවක් ඉහලට විසිකල විට එය අනිවාර්යයෙන්ම පොලවට පතිත වන බව නියතියකි. එය පොදු දෙයකි. නමුත් යම් එක දේශපාලන සංකල්පයක් සම්බන්ධයෙන් දේශපාලන දාර්ශනිකයින් ඉදිරිපත් කරන අදහස් එකිනෙකට පරස්පර විරෝධී වේ.

නිදර්ශන - දේශපාලන විද්‍යාව තුල අධ්‍යනය වන රාජ්‍යය නැමති සංකල්පය,

  • මාක්ස්වාදීන් - රාජ්‍යය යනු පන්ති පීඩක උපකරණයකි.
  • ලිබරල් වාදීන් - රාජ්‍ය යනු සමාජ සංවිධානයකි.
  • විඥාණ වාදීන් - රාජ්‍ය යනු ගුප්ත පැවැත්මක් සහිත අධිමානුෂික ආයතනයකි.
  • පැසිස්ට් වාදීන් - රාජ්‍ය උත්තරීතර වේ, ජාතියේ දේශපාලනික,ආර්ථික,සාමාජීය යන සෑම       අංශයක්ම පිළිබිඹු කරන ආත්මයයි.
  • දේවවරම් වාදීන් - රාජ්‍ය යනු උත්තරීතර දෙයකි. එය දෙවියන් වහන්සේ විසින් බිහිකරන ලදී.

ඉහත උදාහරණය විශ්ලේෂණය කිරීමේදී අපට පෙනී යන්නේ දේශපාලන විද්‍යාවේදී අධ්‍යනය කෙරෙන රාජ්‍ය සම්බන්ධයෙන් ඒකායන නිර්වචනයක් නොමැති බවයි. තවද දේශපාලන විද්‍යාව තුල භාවිතයට ගැනෙන මුලධර්ම වලද එකගතාවයක් දක්නට නොලැබේ.

නිදර්ශන-

  • රබර් බෝලයක් ජලය මත පාවීමේ සිද්ධාන්තයක් පවතී. එහිදී යම් වස්තුවක් ජලයේ උඩුකුරු බලයට වඩා වස්තුවේ යටිකුරු තෙරපුම් බලය වැඩිනම් එම වස්තුව ජලය තුල ගිලෙයි. එසේ නොවේනම් එම වස්තුව ජලය මත පාවේ. එය විශ්ව ව්‍යාප්ත මූලධර්මයකි.

 

  • අප වායුගෝලයට ඉහලින් ඇති ඹ්සෝන් ස්ථරය නිර්මාණය වී තිබෙන්නේ ඔක්සිජන් අනු 03 ක් එකට බන්ධනය වීමෙන් නිර්මාණය වන O3 ඕසෝන් නම් වායුන් එකට එක්ව එක පටලයක් සේ ක්‍රියාත්මක වීමෙනි. එය විශ්ව ව්‍යාප්ත මූලධර්මයකි.

නමුත්  එසේ ස්වාභාවික විද්‍යාවන් තුල පවත්නා මූලධර්මීය එකගතාවයන් දේශපාලන විද්‍යාව තුල දක්නට නොලැබේ. රාජ්‍යයක ඒකාධිපති හා පැසිස්ට් පාලන ක්‍රම වලට වඩා නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ඉතා හොද ආණ්ඩුක්‍රමයක් ලෙස ලිබරල් වාදය තුල පිළිගැනුනද එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා වඩාත් සුඳුසු වන්නේ කැබිනට් ක්‍රමයද, විධායක ජනාධිපති ක්‍රමයද යන්න එකඟතාවයක් නොමැත.  ඒ අනුව දේශපාලන කරුණු පැහැදිලි කිරීම සඳහා යොදාගන්නා මූලධර්ම වල පොදු එකඟතාවයක් නොමැති බැවින් දේශපාලන විද්‍යාව ශුද්ධ විද්‍යාවක් ලෙස සැලකිය නොහැකි බව විචාරකයෝ තර්ක කරති.  

  • හේතු සාධක මත පිහිටා අනාවැකි පලකිරීමට නොහැකි වීම.

මෙම තර්කයට අදාලව කරුණු ගොනු කිරීමේදී විචාරකයින් පෙන්වා දෙන්නේ ස්වාභාවික හෙවත් ශුද්ධ විද්‍යාවන් වල එකම හේතුවෙන් හටගන්නා ඵලයන් සමාන වන අතර ඒ සඳහා ඝෘජු අනාවැකි කීමට හැකි නමුත් දේශපාලන විද්‍යාව තුල එසේ සාර්ථක පරිදි හේතු නිශ්චිතව පැවතියද 100% ක්ම නිවැරදි ලෙස අනාවැකි පලකල නොහැකි බවයි. මන්ද දේශපාලන විද්‍යාව යනු ගතීක මානව චර්යා මත ක්‍රියාත්මක වන විෂයක් විනා පොදු මූලධර්ම සහිත විෂයක් නොවන බැවිනි.

නිදර්ශන-

  • අධික ලෙස දුම් පානය කරන තැනැත්තෙකු හෝ අධික ලෙස මත්පැන් පානය කරන තැනැත්තෙකු හට වෛද්‍ය විද්‍යානුකූලව සාධක මඟින් ඇතිවිය හැකි අනිසි ප්‍රථිඵල සාර්ථකව පර්යේෂණ කොට අනාවැකි පල කල හැක.
  • අන්තර් මෝසම සක්‍රීය වීම වර්ෂාපතනයට හේතු විය හැකි බව කාලගුණ විද්‍යාවේ දී සාර්ථකව අනාවැකි පල කල හැක.
  • සමකය ආසන්නයේ පිහිටීම නිසා ඒ ආශ්‍රිත රටවලට උණුසුම් දේශගුණයක් ලැබිය හැකි බවට අනාවැකි පලකල හැක.
  • අනාගතයේ සාගර පත්ලේ ඇති විය හැකි භූමි කම්පන තත්වයක් නිසා ද, ඉතා විශාල ආකාශ වස්තුවක් සමුද්‍රයට පතිත වීම නිසාද, භූතැටි එකට වැදීම නිසාද ටී-සුනාමි තත්වයක් ඇතිවිය හැකි බවට සාර්ථක අනාවැකි පල කල හැක.

 

මේ ආදී වශයෙන් ස්වාභාවික විද්‍යාවන් තුල ඉදිරිපත් කල හේතුසාධක මත පිහිටා සාර්ථක අනාවැකි පල කල හැකි වුවද දේශපාලන විද්‍යාව තුල එසේ සාර්ථක අනාවැකි පල කල නොහැකිබව විචාරකයින් තර්ක කරයි.

නිදර්ශන-

  • 1962 කියුබන් මිසයිල අර්බුදය තුල කියුබාව ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට ඉලක්ක කොට අන්තර් මාධ්‍ය බැලිස්ටික් මිසයිල (IBM) ඉලක්ක කොට තිබුණු අතර එය සැල වූ වහාම ඇමරිකා එක්සත් ජනපදය කියුබාවට එරෙහිව ආර්ථික සම්බාධක පනවන ලදී. නමුත් එහි දී කිසිඳු යුධමය තත්වයක් ඇති නොවිනි. මෙම පදනමේ සිට උතුරු කොරියාව දකුණු කොරියාව දෙසට මිසයිල උපක්‍රමශීලීව එල්ල කිරීමට සැලසුම් කොට ඇති බව දකුණු කොරියාවට සැල වුවහොත් දකුණු කොරියාව උතුරු කොරියාවට පහර නොදී ආර්ථික සම්බාධක පමණක් පනවන බවට නිශ්චිත වශයෙන්ම ප්‍රකාශ කල නොහැක. එය ඉතා විශාල යුද්ධයකට පවා මං විවර විය හැක. නමුත් ස්ථීර වශයෙන්ම අනාවැකි පල කල නොහැක.
  • මෙවර මැතිවරණයේදී ජයගත් අපේක්ෂකයා මීලග මැතිවරණයේදීත් නියත වශයෙන්ම ජය ගන්නා බව සාර්ථකව අනාවැකි පල කල නොහැක.
  • යම් රටක ජනාධිපතිවරණයකින් ජයග්‍රහණය කරන්නේ කවර අපේක්ෂකයාද යන්න සමීක්ෂණ කොට අනාගත මත පල කලද එම මත 100% ක්ම නිවැරදි අනාවැකි විය නොහැක. මන්ද සමාජ විද්‍යාත්මක කරුණු ප්‍රවනතා සමඟ සම්බන්ධවී පවතින බැවින් බොහෝ විට අවසන් මොහොත තෙක් නිශ්චිත අනාවැකි පලකල නොහැකි වීමයි.

 

ඒ අනුව මෙම මතයට පක්ෂව තර්ක කරන දේශපාලන විද්‍යාඥයෝ දේශපාලන විද්‍යාව නියම විද්‍යාවක් ලෙසට සැලකිය නොහැකි බවට පෙන්වා දෙයි.

 

  • විද්‍යාගාර ප්‍රවේශය (පරීක්ෂණ උපකරණ හෝ විද්‍යාගාර) යොදා ගනිමින් මෙම විශය අධ්‍යනය කල නොහැකි වීම.

ස්වාභාවික විද්‍යාවන් වන භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, උද්භිත විද්‍යාව, සත්ව විද්‍යාව, න්‍යශ්ටික විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, තාරකා විද්‍යාව, කාලගුණ විද්‍යාව ආදී විශයන් සියල්ල අධ්‍යනය කිරීම සඳහා විද්‍යාගාර ප්‍රවේශය යොදාගත හැකි වුවද දේශපාලන විද්‍යාව අධ්‍යනය කිරීම සඳහා එය යොදා ගත නොහැකි බව දේශපාලන විද්‍යාඥයින් පෙන්වා දෙයි. මන්ද දේශපාලන විද්‍යාව නමින් විද්‍යාවක් ලෙස හැදින් වූවද එහි අන්තර්ගත සියළුම විශය කරුණු වල මූලික පදනම වන්නේ මානව හැසිරීම් හා චර්යා රටා මත පදනම් වීමයි. සමාජීය මානව චර්යා රටා විද්‍යාගාරයක් තුල අධ්‍යනය කිරීම හාස්‍යජනක කරුණක් බව ඔවුන් පෙන්වා දෙයි.

නිදර්ශන- ස්වාභාවික විද්‍යාවන් තුල,

  • වී වගාවේ සාර්ථකත්වයට අවශ්‍ය බීජ ප්‍රරෝහණ ක්‍රියාවලිය විද්‍යාගාරයක් තුල අත්හදා බලමින් උපකරණ භාවිතයෙන් සාර්ථක ප්‍රතිඵල ලගා කර ගත හැක.
  • මනුශ්‍ය දේහ තුල හටගන්නා යම් කිසි රෝගයකට අවශ්‍ය ඖෂධ විද්‍යාගාරයක් තුල පර්යේෂණ කරමින් සාර්ථක ප්‍රථිඵල කරා එළඹිය හැක.
  • න්‍යශ්ඨික අවි නිපද වීම රසායනාගාර ආශ්‍රිතව සිඳු කෙරේ.
  • සුළවේගය, වර්ෂාපනය ආදිය විද්‍යාත්මක උපකරණ භාවිතය තුලින් අධ්‍යනය කළ හැක.

 

නමුත් දේශපාලන විද්‍යාව තුල,

  • මහ මැතිවරණයකදී හෝ ජනාධිපතිවරණයකදී ඡන්ද දායකයින් ඡන්දය ප්‍රකාශ කිරීම හා ඔවුන්ගේ හැසිරීම විද්‍යාගාරයක් තුල පර්යේෂණ උපකරණ භාවිතා කරමින් අධ්‍යනය කල නොහැක.
  • දේශපාලන පක්ෂයක, වෘත්තීය සමිතියක, බලපෑමේ කණ්ඩායමක සාමාජීය ක්‍රියාකාරීත්වය විද්‍යාගාර හෝ පර්යේෂණ උපකරණ යොදාගනිමින් අධ්‍යනය කළ නොහැක.
  • සමාජයේ සිඳුවන පන්ති සටනක් තුලදී ඇතිවිය හැකි ප්‍රථිඵල විද්‍යාගාර හෝ පර්යේෂණ උපකරණ යොදාගනිමින් අධ්‍යනය කළ නොහැක.
  • ඉන්දියාව, ස්විස්ටර්ලන්තය, ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල ක්‍රියාත්මක වන සංධීය ක්‍රමය ලංකාවට ගැලපෙන්නේද යන්න විචාලමින් ජනමත විචාරණයක් පැවැත් වුව හොත් එහිදී ඡන්ද දායකයන්ගේ ක්‍රියා කලාපය විද්‍යාගාර හෝ පර්යේෂණ උපකරණ යොදාගනිමින් අධ්‍යනය කළ නොහැක.
  • දේශපාලන විද්‍යාව පංති කාමරයක් තුල ඉගැන්වීම් කලද එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවෙන්නේ සමාජය තුලයි. පාර්ලිමේන්තුව තුල නීති සම්පාදනය කළද ඒවා ක්‍රියාවට නැංවෙන්නේ සමාජය තුලයි. එහිදී නීති වඩා ගැලපීම හෝ නොගැලපීම තීරණය වන්නේ නීති ක්‍රියාත්මක වීමේදීය. එවා පර්යේෂණාත්මක ක්‍රමවේද අනුගමනය කරමින් අධ්‍යනය කළ නොහැක.
  • සුඩානය, ඉරානය, ඉරාකය, ඇෆ්ගන්ස්ථානය, ආදී රටවල පවත්නා අර්බුදකාරී තත්වයන්ට ඇතිවන ජාත්‍යන්තර මැදිහත්වීම් සාර්ථක වීම හෝ අසාර්ථක වීම් අධ්‍යනය සඳහා පර්යේෂණාගාර හෝ පර්යේෂණ උපකරණ භාවිතා කළ නොහැක.

සැබෑ ලෙසම දේශපාලන විද්‍යාව පර්යේෂණාගාර ක්‍රමවේදය යොදාගනිමින් අධ්‍යනය කල නොහැකි බවට තර්ක කරනුයේ දේශපාලන විද්‍යාව ගතීක වූත් සංකීර්ණවූත් මානව චර්යා විද්‍යාගාර උපකරණ මඟින් පාලනය කළ නොහැකි වීමයි. තවද සමාජය නැමති ඉතා පුළුල් ඉඩ පරාසයක මිනිස් හැසිරීම් ක්‍රියාත්මක වීමතුල ඒවා එක් ස්ථානයකට විතැන්කොට අධ්‍යනය කල නොහැකි බවට විචාරකයින් තර්ක කරමින් දේශපාලන විද්‍යාව නියම විද්‍යාවක් ලෙස සැලකීම හාස්‍යජනක බව පෙන්වා දෙයි.

  • ස්වාභාවික විද්‍යාවන් තුල ගොඩ නැංවෙන නියතිවාද ගොඩනැංවීමට නොහැකි වීම.

මෙම තර්කය විග්‍රහකරන දේශපාලන විදවතුන් පෙන්වා දෙන්නේ ස්වාභාවික විද්‍යාවන් තුල දක්නට ලැබෙන නියතීන් දේශපාලන විද්‍යාව තුල දක්නට නොමැති බැවින් දේශපාලන විද්‍යාව විද්‍යාවක් ලෙස සැලකිය නොහැකි බවයි.

  • ජලය අධික උණුමක් යටතේ වාශ්ප වන බවත්, අධික සිසිලසක් යටතේ ඝනීභවනය වන බව විශ්ව ව්‍යාප්ත නියතියකි.
  • යකඩ අධික උණුසුමක් යටතේ ප්‍රසාරණය වේ, අධික සිසිලසක් යටතේ සංකෝචනය වීම.
  • ගුවන් යානයක් අහසේ පියාසර කිරීම හා නෞකාවක් ජලය මත පාවීම තුල විද්‍යාත්මක නියතීන් පවතී.
  • සංඛ්‍යාන විද්‍යාව තුල වෘත්තයක වර්ග ඵලය සෙවීම සඳහා භාවිතා කරන λř 2 සූත්‍රය තුල λ =22/7 එය නියතියකි.
  • කාන්දම් කැබැල්ලකට යකඩ ද්‍රව්‍ය ඇලේ. එය රසායන විද්‍යාවතුල නියතියකි.
  • රසායන විද්‍යාව තුල කොපර් සල්ෆේට් රත් කිරීමට පෙර කහ පැහැයෙන්ද රත් කල පසු නිල් පැහැයෙන්ද යුක්ත වේ මෙය රසායන විද්‍යාව තුල නියතියකි.
  • ප්‍රභාසංස්ලේෂණයට කාබන්ඩයොක්සයිඩ් Co2අවශ්‍ය බව ජීව විද්‍යාවේ නියතියකි.

 

නමුත් දේශපාලන විද්‍යාව තුල එසේ නියතීන් ගොඩනැගිය නොහැකි බව විද්වතුන් තර්ක කරති.

  • මෙවර මැතිවරණයේදී එක් පක්ෂයකට ඡන්දය දුන් පුද්ගලයෙකු මීලග මැතිවරණයේදී එම පක්ෂයටම ඡන්දය දෙනු ඇතැයි නියතියක් ගොඩනැගිය නොහැක.
  • ලිබරල් වදය, සමාජවාදය, ප්‍රජාතන්ත්‍රවාදය, වැනි දේශපාලන සංකල්ප මතවාද එක් එක් රටවල එකිනෙකට වෙනස් අයුරින් ක්‍රියාත්මක වේ. ඒවා ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් දේශපාලන විද්‍යාව තුල නියතීන් නොමැති අතර එම සංකල්ප එක් එක් රටවල පවත්නා සමාජීය රටාවන් අනුව වෙනස්වේ.

                       නිදර්ශන- කියුබාව, සෝවිට් රුසියාව, චීනය, එංගලන්තය, ප්‍රංශය, ශ්‍රී ලංකාව , ඉන්දියාව, ස්විස්ටර්ලන්තය තුල එකිනෙකට වෙනස් අයුරින් ඉහත සංකල්ප ක්‍රියාත්මක වේ.

  • ලොව සුපිරිම විධායක ජනාධිපති ක්‍රමයක් වන ඇමිකා එක්සත් ජනපදය තුල ක්‍රියාත්මකවන ක්‍රමය ලොව සෑම රටක්තුලම ක්‍රියාත්මක විය යුතු යැයි. නියතියක් නොමැත. එය ලංකාව, ප්‍රංශය තුල වෙනස් මුහුණුවරින් ක්‍රියාත්මක වේ.

 


ලිපිය නිර්මාණය කලේ,
S
Shiran Ranjaya


MEMBER

අදාල තවත් ලිපි,



Shiran Ranjaya

උසස්පෙළ දේශපාලන විද්‍යාව

අනෙකුත් ලිපි