අශ්වඝෝෂ කෘති. (02 කොටස) - උසස්පෙළ සංස්කෘත

අශ්වඝෝෂ කෘති. (02 කොටස)

සෞන්දරනන්ද මහා කාව්‍ය.

බෞද්ධ සංස්කෘත සාහිත්‍යයෙහි අග්‍රගණ්‍ය මහාකාව්‍ය නම් සෞන්දරනන්ද මහා කාව්‍යය යි. ධම්ම පදට්ඨ කථාවේ 13, 14 ගාථාවන් සඳහා නිදාන වූ නන්ද කුමරු හා ජනපද කල්‍යාණී හෙවත් සුන්දරීගේ කථාව වස්තු භීජය කොටගෙන මෙම අත්‍යුදාර නිර්මාණය ජනිත කර තිබේ. සුන්දර වූ නන්ද පිළිබඳ කාව්‍ය යන අරුතින් සෞන්දරානන්ද යන නාමය ව්‍යවහාර කෙරේ. කීත් ආදී විද්වතුන්ට අනුව සමස්ත කාව්‍ය සර්‍ග දහ අටකින් (18) හා පද්‍ය 1063 කින් උපයුක්තය.

  1. සර්‍ගය - කපිලවස්තු වර්ණනා - ශාක්‍ය වංශයෙහි ආරම්භය හා කපිල වස්තු නගරාරම්භය.
  2. රාජවර්ණ - ශුද්ධෝදන රජු පිළිබඳ වර්ණනයක්ද බෝධි සත්වයන් වූ සර්වාර්ථ සිද්ධ හා සොයුරු නන්ද කුමරු උප්පත්තිය.
  3. තථාගතවර්ණන - බුද්ධත්වයට පැමිණීම දම්සක් පැවතුම් සූත්‍ර දේශනය බුදුන් කිඹුල්වත් නුවරට වැඩම කොට ඥාතීන්ට අනුග්‍රහ කිරීම.
  4. භාර්යායාචිත - සුන්දරී කුමාරිකාවන්ගේ වර්ණනාව.
  5. නන්දප්‍රව්‍රාජන - නන්ද කුමාරයාගේ ප්‍රවෘජ්ජාව.
  6. භාර්යා විලාප - සුන්දරීගේ විලාප වර්ණනාව.
  7. නන්ද විලාප - නන්ද හික්‍ෂුවගේ වැලපීම.
  8. ස්ත්‍රී විඝාත - නන්ද භික්‍ෂුවට ඔහුගේ අභිප්‍රාය අසා භික්‍ෂූන් නමක් ස්ත්‍රීන්ගේ දෝෂ නිරූපණය කිරීම.
  9. මදාපවාද - මදාපවාදයත් ඒ භික්‍ෂුව විසින් තථාගතයන් වහන්සේට කරුණු දැන්වීම.
  10. ස්වර්ගනීදර්ශන - බුදුන් වහන්සේ නන්‍ද කුමරු දෙව් ලොව කරා ගෙන යාම.
  11. ස්වර්‍ගාපවාද - ස්වර්‍ග සැපත පවා නිස්සාර බව ආනන්ද තෙරුණ් නන්ද තෙරුන්ට පැහැදිලි කර දීම.
  12. ප්‍රත්‍යවමර්ශ - නන්ද තෙරුන්ගේ සිත මෝක්‍ෂයට හැරුණු හැටි.
  13. ශීලෙන්ද්‍රිය ජය - ශීලය හා ඉන්ද්‍රිය විජය නිරූපිතය.
  14. ආදි ප්‍රස්ථාන - ආහාරයෙහි පමණ දැනීම, කායගතාසතියෙහි ආනිසංස.
  15. විතර්ක ප්‍රහාණය.
  16. චතුරාර්‍ය්‍ය සත්‍ය වර්ණිතය.
  17. නන්ද භික්‍ෂුවගේ අර්හත්ලාභය.
  18. නන්දතෙරුන්ගේ කෘතඥතා පූර්ව නිවේදනය.

සමස්ත ග්‍රන්ථය රචනා කිරීමේ කතුවරයාගේ අරමුණ වී ඇත්තේ හුදෙක් පාඨකයාට රසය හා කාව්‍ය චමත්කාරය විදහා පෑම නොව අසාධූන් සාධූ මාර්ගයට ප්‍රවිශ්ට කිරීම සඳහා සත්මාර්ගය පෙන්වාදීම බව කතුවරයාම සඳහන් කරයි.

“ඉත්‍යෙසා ව්‍යූපශාන්තයෙ න රතයෙ මොක්‍ෂාර්ථ ගර්භා කෘතිඃ ශ්‍රොතෘණාං ග්‍රහණාර්ථ මන්‍යමනසාං කාව්‍යොපචාරාත්කෘතා යන්මොක්ෂාත් කෘත මන්‍යදත්‍රහි මයා තත්කාව්‍ය ධර්මාත්කෘතං පාතුං තිත්තමිවෞෂධං මධුයුතං හෘද්‍යා කථං ස්‍යාදිති”

මෝක්‍ෂාර්ථය ගැබ් කොටගත් මෙම කෘතිය රතිය පිණිස නොව ක්ලේෂයන්ගේ ව්‍යූපශාන්තිය පිණිස රචනා කොට ඇති බව මෙහිදී පෙන්වා දෙයි- එය ශ්‍රාවක ජනයාගේ ග්‍රහණය පිණිස තිත්ත බෙහෙතක් මධු පැණිය යුක්ත කොට දෙන්නා මෙන් කාව්‍යෝපචාර මගින් ලබා දෙන බව මෙයින් පැහැදිලිවේ.

සෞන්දරානන්දයෙහි කතෘත්වය පිළිබඳ මත භේද කිසිවක් නොපවතී. මෙය අශ්වඝෝෂයන්ම කරන ලද කෘතියක් ලෙස විද්වතුන් සියලු දෙනාම එකහෙළා පිළිගනිති. ග්‍රන්ථයෙහි කර්‍තත්වය පිළිබඳ කරුණු විමසීමේදී සෞන්දරනන්දය අවසානයෙහි එන වාක්‍ය ඉතා වටි.

“ආර්‍ය්‍ය සුවර්නාක්‍ෂි පුත්‍රස්‍ය සාකෙතකස්‍ය භිකෙෂාරාචාර්ය– භදන්තාශ්වඝොෂස්‍ය මහා කවෙම–හාවාදිනඃ කෘතිරියම්”

සාකේතයෙහි විසූ ආර්‍ය්‍ය සුවර්ණාක්‍ෂි පුත්‍ර වූ මහා කවියෙකු වූද මහා වාදියෙකුවූද ආචාර්‍ය්‍ය භදන්ත යැයි කියන ලද්දාවූ අශ්වඝෝෂ නම් බෞද්ධ භික්‍ෂුවක් විසින් කරන ලද බව මෙයින් තහවුරු කෙරේ.

 

ශාරිපුත්‍ර ප්‍රකරණය.

අශ්වඝෝෂයන් විසින් රචනා කරන ලද බවට පිළිගන්නා දෘෂ්‍යකාව්‍යයකි ශාරිපුත්‍රකරණය හෙවත් ශාරද්වතී පුත්‍ර ප්‍රකරණය. මෙම ප්‍රකරණය සොයාගෙන ඇත්තේ ඛණ්ඩ වශයෙනි. එම ඛණ්ඩ තුළින් වුවද අශ්වඝෝෂයන්ගේ නාට්‍ය කරණයෙහි සක්‍යතාව පසක් කෙරේ. තත්කාලයෙහි පවා ප්‍රසිද්ධ ව පැවති විනය පිටකයෙහි මහාවග්ගයෙහි එන ඉතා මනරම් කථාවක් වූ සාරිපුත්ත තෙරුන්ගේ හා ඔහු මිත්‍ර මොග්ගල්ලාන තෙරුන් අතර ඇතිවන වාදයක් උපාශ්‍රය කොටගෙන මෙම නාට්‍ය රචිත යැයි සැලකේ.

තූර්පාන්වලින් සොයා ගන්නා ලද නාට්‍ය ග්‍රන්ථ තුනක ඛණ්ඩ අතරින් එකකි ශාරිපුත්ත ප්‍රකරණයෙහි ඛණ්ඩ. මෙම ප්‍රකරණයෙහි අවසාන අංකයෙහි අවසාන වාක්‍යය ශේෂව පවතී. එහි මෙම ප්‍රකරණයෙහි කතුවරයා අශ්වඝෝෂයන් බව සඳහන් වේ. එහෙයින් මෙය අශ්වඝෝෂයන් විසින් කරන ලද දෘෂශකාව්‍යක් බව අවිවාදයෙන් පිළිගත හැකිය.