ඉගිලෙන සිහින - සාගර පළන්සූරිය
සිහින යනු ජීවිතයේ ආශාවන් සඵල කර ගැනීම උදෙසා ගනු ලබන සැලසුම් ය. මිනිසුන් සිහින දකියි. ඒ අනාගතය උදෙසා ය. මිනිසුන් සේ ම අනෙකුත් සතුන් ද සිහින දකියි. පක්ෂීන්ට ද සිහිනයක් ඇත. ඒ ඉගිලීමේ සිහිනයයි. කුරුලු පෝතක විය ගෙවා තටු සවිමත් වූ පසු නිල් ගගන පුරා සැරිසැරීමේ නොතිත් සිහිනයෙන් ඔවුහු කල් යවති. එහෙත් පෝතක සිතේ එවන් නිදහසේ පියසැරියක සිහින පැවතුන ද මාපිය කුරුල්ලන් ඒ සිහිනයට එරෙහිය. එහෙත් ඒ ක්රෝධයක් වෛරයක් නිසා නො ව සිය පැටවා පිළිබඳ ඇති අසීමිත ආදරය නිසාය. ඔවුනගේ ලෝකය සිය පැටවාය. එබැවින් ඔවුන් ප්රාණසරිව පැටවා රක්ෂා කරයි. කුනාටු සුළි සුළං අකල් මහ වරුසා ගහන ගගනතේ පියඹා යන්නට පැටවාට ඉඩ නොදෙන්නේ ඒ නිසා ය. ඒ මා පිය සෙනෙහසේ ස්වරූපයය. එහෙත් මේ ආරක්ෂාව, මේ ස්නේහය පැටවාට කරදරයක් ය. හිරිහැරයක් ය. පීඩාවක් ය. සිරගෙයක් වැනි කූඩුව ඔහුට රිසි තැනක් නොවෙයි. ඒ පැටවාගේ නිදහස සීමාකරන තැනක් ය. පැටවාගේ සිතුවිලි එපරිදිය. කොළඹ යුගයේ දෙවන පරපුර නියෝජනය කරන "සාගර පළන්සූරිය" කිවියුරු ගේ මනරම් කවිකමක් වන "ඉගිලෙන සිහින" ද ලොවට හඬගා කියන්නේ එවන් කුරුලු පැටවෙක් ඉගිලයන්නට සිහින දකින ජීවිතය ගැනය.
මව් පිය කුරුල්ලන් ගේ ආදර රැකවල් මැද කැදැල්ලේ හැදී වැඩෙන කුරුලු පැටවෙක් සිය නිදහස ගැන සිතුවිල්ලෙන් පසු වීමත්, ඒ නිදහස සොයා යෑමේ සිහිනය ඉටු කර ගැනීමත් කවියට වස්තු විෂයව ඇත. එක් පසෙකින් කුරුලු පවුලක සංසිද්ධියක් පිළිබඳ කවෙන් නිරූපිත වුව ද එය මනුෂ්ය කුටුම්භයක සිදුවීමක් ලෙසින් ද විඳගත හැකි පරිදි සංකේතාර්ථයක් සපයයි. කුරුලු වේවා මනුෂ්ය වේවා දෙමාපියන් යනු අත්දැකීම් බහුල වූවන් වෙයි. ඔවුන් ලෝකයේ ඇති කටුක කර්කෂක බව මනාකොට දන්නා හෙයින් ඒවායෙන් සිය දරුවන් ආරක්ෂා කරනු උදෙසා නිවහනේ ම රඳවා ගන්නට වෑයම් කරයි. එහෙත් කුරුලු වේවා මනුෂ්ය වේවා දරුවන් තුළ ඇත්තේ අවට ලෝකයට යෑමේ ද ඒ ලෝකයේ සැරිසැරීමේ ද අත්දැකිම විඳීමේ ආශාවය. නිදහස් දිවිය සොයා නිවහනෙන් නික්ම යෑමේ සිහිනය ය. ඒ වෙනුවෙන් ඔවුහු දෙමාපියන් පවා අතැර යන්නට උත්සහ ගනිති. කේයස් කවියා දක්වන්නේ ද මෙම පරම්පරා දෙකෙහි ඇති චින්තනමය පරස්පරතාවයයි.
"මිනිසා නගන කටහඬ නොම වැකෙන කනේ
ඇත මේ කුරුලු කූඩුව උස ගසක බෙනේ
නැත උවදුරක් මෙහි මෙතුවක් පහළ වුනේ
පැටවගෙ කුඩා දෙනෙතට නිල් අහස පෙනේ"
පක්ෂී දෙමාපියන් පැටවාට අපමණක් ස්නේහවන්තය. ඒ ස්නේහය නිසාවෙන් ම සිය කැදැල්ල තනන්නේ කිසිදු මිනිස් ප්රාණියෙක් හෝ ළං නොවන දුරකය. "මිනිසා නගන කටහඬ නොම වැකෙන කනේ" යන පද්ය පාදය එය මනාව ව්යංගවත් කරයි. ඒ දරුවාගේ ආරක්ෂාව උදෙසා ගත් පියවරක් ය. නමුත් ඒ කෙසේ කවර අයුරින් ආරක්ෂා කළ ද නොමද ආදරයෙන් රැක බලා ගත්ත ද පැටවාගේ දෙනෙතට පෙනෙන්නේ ඒ කිසිවක් නොවෙයි. ඒ දෑස් දකින්නේ "නිල් අහස" ය. "නිල් අහස" යන සංකේථාර්තවත් පදය මගින් පැටවාගේ සිතෙහි ඇති නිදහස සොයා යෑමේ සිතුවිල්ල සංකේතවත් වෙයි.
ඔහුට සිය කැදැල්ලේ කිසිදු දෙයකින් අඩුවක් නැත. උණුසුම හා රැකවරණය ඔහුට ඇත. එහෙත් ඒ උණුසුමත් රැකවරණයත් පරයා පක්ෂි පෝතකයාගේ සිතේ ඇත්තේ කැදැල්ලේ ගෙවන සිරවූ දිවියේ ඇති ඛේදනීය භාවය පිළිබඳ දුර්මුඛ හැඟුම් ය. එසේ සිරව සිටින්නට නො ව සිරකුටියෙන් මිදී ගහන සරන්නට ඔහු අපමණක් වූ සෙවිල්ලෙන් පසුවෙයි.
"දෙනෙතට නිල් අහස යොමුවන ඇසිල්ලෙහි
ඔහු යෙදෙනවා නිදහස ගැන සෙවිල්ලෙහි"
පැටවා නිදහස පිළිබඳ සිහින දකියි. ඔහුට අවශ්ය කැදැල්ලෙන් නික්ම යෑමට ය. ඒ ඔහුගේ පරපුරේ ආශාවය. එහෙත් ඔහුගේ මාපියන් නියෝජනය කරන වැඩිහිටි පරපුරේ ආශාව ඊට ප්රතිවිරුද්ධය. ඔවුනට තටු සවිමත් ව ක්රමයෙන් වැඩුනද සිය දරුවා පෙනෙන්නේ කුඩා පැටවා සේ ය. එබැවින් ඔවුන්ට ඇති විසල්ම සම්පත වන පෝතකයා ප්රාණසරිය. "උන්ගේ ආලයේ වෙසෙතත් ගජමුතුව" යන්න මගින් ධ්වනිත වන්නේ පැටවා පිළිබඳ මාපියන්ගේ සිතෙහි ඇති ආදරයේ උපරිමත්වයයි. එහෙත්, "පැටවගෙ දෙනෙත් පවතී කවදත් රතුව" යන පද්ය පාදය තුළින් දෙමාපියන් කොතෙක් ආදරය කළද, ඔහුගේ පළායාමේ විප්ලවකාරී සිතුවිල්ල විද්යමාන වෙයි. දෙමාපියන්ගේ පැතුම එකකි. දරුවන්ගේ පැතුම වෙනකකි. මේ පරම්පරා දෙකෙන් නිවැරදි චින්තනය ඇත්තේ කාහට ද? කවියා එය විනිශ්චය නොකරයි. ඔහු එය පිළිබඳ විනිශ්චය කිරීම සහෘදයාට පවරයි. මේ පරම්පරා ද්විත්වයේ චින්තන පරස්පරතාවය මනාව නිරූපණය කරමින් කවිකම නිමවීම පමණක් කවියා සිය මෙහෙවර කොට සලකයි.
"දවසට සිය විටක් මවුපිය දෙදෙන විසින්
කටට ම හෙලන මුත් ආහර කුරුලු රසින්
පිටවන තුරා ඔහු සිරවී සිටින ගසින්
ඉගිලෙන සිහින පිටමං කළ නොහැක හිසින්"
"සිය විටක්" යන යෙදුම මගින් සිය දරුවා පිළිබඳ දෙමාපියන් දක්වන සැලකිල්ලේ ප්රාමාණිකත්වය නිරූපණය වෙයි. එතරම්ම ඔවුන් සිය දරුවා වෙනුවෙන් කැපවෙයි. අහර සොයා ගෙන එයි. කවයි. පොවයි. සතුටු කරන්නට වෙහෙසෙයි. කැදැල්ල උණුහුම් කරයි. තුඩින් ගෙනෙන නෙක සොඳුරු දෑ යොදා කැදැල්ල සරසයි. පැටවා සනහයි. එහෙත් ඒ කිසිවක් පැටවාට සංතෘෂ්ටියක් ගෙන නො එයි. ඔහුට කැදැල්ල සිර ගෙයකි. ඔහුගේ හිතේ ඇත්තේ මේ සුඛෝපභෝගී සුව දිවිය නොව ඉගිලයෑමේ සිහිනය ය. කැදැල්ලේ කුඩා සිදුරකින් පැමිණෙන අරුණාලෝකයත් ඈත ගගනේ සැරිසරණ පක්ෂීන් ගේ නිදහස් ගීතිකාත් ඇසෙද්දී හිස කැදැල්ලෙන් එළියට යොමු කර ඒ සොඳුරු පරිසරයේ සිරි අසිරි විඳිත්දී ඔහුගේ සිහිනය තව තවත් සවිමත් වෙයි. "හොඳ බව පෙනෙයි මෙහි ඇතුළට වැඩිය පිට" යනුවෙන් පැටවාගේ සිතෙහි ස්වරූපය අපූර්ව ලෙස සංකේතිත ය.
එහෙත් පැටවා දක්නා තරමට ම ඒ පිටත ලෝකය සොඳුරු ද?
"උවදුරු එමට ඇති මුත් එළිමහන තුරේ
පැටවට පෙනෙයි එහි පවතින කුරුලු පොරේ"
"කුරුලු පොරේ" යන යෙදුම අවට ලෝකය පිළිබඳ ව්යංගවත් කරයි. එලිමහනේ සුන්දරත්වය පරයා නැගෙන පීඩාකාරී කටුක දිවිය පිළිබඳ එමගින් ප්රකටවෙයි. මිනිස් කැට කැබිලිති පහර කොතැනින් වදී දැයි සැක ය. වෙනත් විසල් සතෙකුගේ ගොදුරක් වීමට ඉඩ ඇත. තම වර්ගයා සමග වුව ගැටී කෑම සොයා ගැනීමේ වෙහෙසකර කටයුත්තේ යෙදෙන්නට ද සිදුවෙනු ඇත. ඒ සියල්ල එක ම පොරයකි. පැටවා එය ද දනියි. එහෙත් ඔහු තුළ ඇත්තේ ඒ පොරයට මැදිවීමේ ආශාවය. ඒ පොරයේම කොටස් කරුවෙක් වීමේ කැමැත්ත ය. තරුණ වියේ සිතුවිලි එපරිදිය. කැරලිකාරය. පෙරළිකාරය. ඒ කැරළිකාර සිතුවිලි පැටවාට ද පොදු ය.
"සටනක් නැතිව සැපතක් ඇති විය නොහැක
මේ රැකවරණ තුළ ඇති සුවසිරි දුකෙක
උවදුරු දිගේ යන දිග මාවත මිසෙක
නිදහස කරා යන වෙන පාරක් කිමෙක"
පළායාමට ඔහු පිඹුරුපත් අඳියි. ඒ සිය සිතින් ය. ඔහුට දෙමාපිය ආදරය රැකවරණය කරදරයක් ය. දැන් ඔහු තුරුණුය. පියාපත් සවිමත් ය. ඒවා ඇත්තේ ගුලි වී කැදැල්ලේ හිඳින්නට නොව නිදහසේ පියඹා යන්නට ය. අවසන ඔහු ඒ තීරණය ගෙන සිහිනය සඵල කරගනියි.
"දුටුවා හිස්ව ඇති බව ගෙය එහෙම පිටින්
පැටවා ගිහින් එළිවෙන කොට හතර වටින්"
ඔහු නිදහස සොයා ගොස් ඇත. ඉගිලෙන සිහින සඵල කරගෙන ඇත. දෙමාපිය ආදර රැකවරණයෙන් පළාගොස් ඇත. ඔහු නිවැරදි ද? වැරදි ද? කවියා කිසිවක් නොකියයි. ඒ තීරණය සහෘදයා සතුය. දෙමාපියන් දරුවා ආදරයෙන් රැකගන්නේ ඔවුන් අත්දැකීමෙන් ම කටුක ලෝකය අත්විඳ අත්දැක ඇති බැවින් ය. ඒ කටුක ලෝකයට සිය පැටවා යවන්නට ඔවුන් අකමැතිය. ඒ ඔවුන්ගේ පරම්පරාවේ චින්තනයයි. සිංහල ගීත සාහිත්යයේ එන අමරා රණතුංග හා සෙව්වන්දි රණතුංග ගයන "සිනාමල් ගොඩක්" ගීතය ද මෙයට සමාන අදහසක් නිරූපණය කරයි.
"බලන්න ආසයි සැන්දෑ බටහිර අහසේ
ඉගිල්ලෙන්නද මං කිරිල්ලියක් වාගේ අම්මේ
ඒ අහසේ සුළං කපොලු විදුලි අකුණු මන්දාරම්
මේ විශ්වයෙ රටාව තව නෑ දුව දන්නේ"
නමුත් තරුණ පරපුරේ චින්තනය ඊට ප්රතිවිරුද්ධය. ඔවුන්ට සිරවී සිටිය නොහැකිය. ඔවුන් අත්දැකීම් විඳිනු උදෙසා නිවහනින් නික්ම යන්නට ආශා කරයි. දෙමාපියන් ගේ බාධා නොසලකා නික්ම යයි. පක්ෂී පවුලක් මගින් නිරූපිත මේ පරම්පරා දෙකෙහි චින්තන පරස්පර භාවය මනුෂ්ය කුටුම්භයකට ද පොදු ය. ඒ සනාතන කරුණ කේයස් වඩාත් විචිත්රවත් කරන්නේ ප්රථම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් සමුදුරුගොස් විරිතට අනුව පබැදීමෙන් ය. ඇවැසි නම් හඬ නගා ගයත හැකිය. ඉන් ජනනය වන රසය කන්කලුය. ඒ විරිත හේතුවෙන් ය. සමස්ථ පද්ය පන්තියම සංකේතාර්ථවත් ව ද විමසිය හැකිය. කුරුලු දෙමාපියන් - මනුෂ්ය දෙමාපියන් ලෙස ද කුරුලු පැටවා - මනුෂ්ය දරුවා ලෙස ද කැදැල්ල - කුටුම්භය ලෙස ද නිල් අහස - සමාජය ලෙස ද ගෙන විමසිය හැකිය.
සරල බස්වහර තුලින් දුරවබෝධ නොමැතිව ම කවිය සහෘද මනසේ සටහන් කරගන්නට ඉඩ සලසා දී ඇත. වරින් වර යොදන,
"ඇත මේ කුරුලු කූඩුව උස ගසක බෙනේ"
"උන්ගේ ආලයේ වෙසෙතත් ගජ මුතුව"
"කටට ම හෙළන මුත් ආහර කුරුලු වෙසින්"
ආදී යෙදුම් මගින් මාපියන්ගේ සන්තානයේ ස්වරූපය මනාව නිරූපණය වනවා පමණක් නො ව,
"පැටවගෙ කුඩා දෙනෙතට නිල් අහස පෙනේ"
"ඉගිලෙන සිහින පිටමං කළ නොහැක හිසින්"
"කොපමණ කලක් ගතවේවි ද මෙහෙම හිරේ"
යන යෙදුම් මගින් පැටවාගේ සන්තානයේ ස්වරූපය ද නිරූපිත වෙයි.
එසේම,
"අරුණලු නැගෙයි පොඩි සිදුරෙන් කුරුලු ගෙට"
"දුටුවා හිස්ව ඇති බව ගෙය එහෙම පිටින්"
ආදී දෘෂ්ය ගෝචර සංකල්ප රූප නිර්මිතයන් ද
"ගී හඬ පිටත් වෙයි රුක් ලිය මුදුන සිට"
ආදී ශ්රව්ය ගෝචර සංකල්ප රූප නිර්මිතයන් ද සූචිත වෙයි.
මේ අයුරින් වඩාත් අපූර්ව ලෙස ගලායන කේයස්ගේ "ඉගිලෙන සිහින" පද්ය පන්තිය මතුපිටින් නිරූපිත කුරුලු පැටවකුගේ කැදැල්ලෙන් නික්ම යැම සංකේතවත් කළ ද ඉන් ගැඹුරේ ඇති වැඩිහිටි පරපුරේ චින්තනයේ හා තරුණ පරපුරේ ඇති චින්තනයේ ප්රතිවිරුද්ධ ස්වභාවය ද නිරූපිතය. එනයින් විමසන කළ සාගර පළන්සූරියගේ "ඉගිලෙන සිහින" බුද්ධිමය කතිකාවකට මග හෙළි කරන කවියක් බව පැවසීමෙහි සදොසක් නැත.
© ගයාන් අබේසිංහ
පහත ලින්කුව මගින් මෙම රසවින්දනය ශ්රවණය කළ හැකිය
https://m.facebook.com/