උසස්පෙළ සිංහල

පද්‍ය රසවින්දනය - 1 කොටස

පද්‍ය රසවිඳීමට සාධක කිහිපයක් අවශ්‍ය වේ.

1.වස්තු විෂය /අනුභූතිය /මාතෘකාව /තේමාව /අත්දැකීම

පද්‍ය රචකයෙකු සිය පද්‍ය නිර්මාණය කිරීමේ දී ඒ සදහා ඔහුට තේමාවක් තිබිය යුතු ය. එම තේමාව යටතේ තමන්ගේ නිර්මාණය  කිරීමට නිර්මාණකරුවෝ උත්සුක වෙති.
පද්‍ය රචකයා  පද්‍ය නිර්මාණය සදහා ගනු ලබන තේමාව විවිධ නාමකරණයන්ගෙන් හදුනා ගැනෙන අතර වස්තු විෂය, තේමාව,අත්දැකීම, අනුභූතිය,මාතෘකාව යනු එයට යොදන අපර නාම වේ.
පද්‍ය රසවින්දනයේ දී ශිෂ්‍යා විසින් මූලිකව සිදු කළ යුතු වැදගත් ම සහ ප්‍රථම කාර්‍ය වන්නේ නිර්මාණයේ අනුභූතිය හෙවත් වස්තු විෂය හදුනා ගැනීම සහ එය විස්තර කිරීමයි.

 

2.පරිකල්පනය

සාර්ථක නිර්මාණකරුවෙකු තුළ ඇති කුසලතාව පරිකල්පනය නම් වේ.. තමන් ලබන අත්දැකීම සාහිත්‍ය නිර්මාණයක් බවට පත් කිරීමට ඇති හැකියාව පරිකල්පනය වන අතර මෙම ගුණය සෑම දෙනෙකුටම නො පිහිටන්නකි.
මෙම ගුණය ඇත්තෝ සාර්ථක නිර්මාණකරුවන්ට පමණක් යැයි සැලකීම නිරවද්‍ය වේ.

 

3.ප්‍රතිභාව

" කවීත්ව බීජං ප්‍රතිභානම්"

කිසියම් නිර්මාණයක් අපූර්ව නිර්මාණයක් බවට පත් වන්නේ උක්ත මුඛ්‍යාංගය හේතුවෙනි.මෙය කවිය සතු ලක්ෂණයක් නොවන අතර මෙය සාර්ථක නිර්මාණකරුවෙකු තුළ ඇති ලක්ෂණයකි.

ප්‍රතිභාව වශයෙන් හදුනා ගැනෙන්නේ පෙර නොවූ විරූ,පෙර නො දුටූ විරූ, පෙර නො ඇසූ විරූ නිර්මාණයක් කිරීමට කවියා තුළ ඇති දක්ෂතාව යි. නිදසුනක් ලෙස " අම්මා" යන තේමාව යටතේ ගීත රාශියක් නිර්මාණය වී ඇති බව අපි දනිමු.

උදා: ගමට කලින් හිරු..

        දවසක් පැළ නැති හේනේ

        වැටකෙයියා මලක් වගේ

නමුත් මෙම නිර්මාණ විවිධ කාව්‍යය  සංකල්පනා ධ්වනිත කෙරේ. ඒ කවියා තුළ තිබූ ප්‍රතිභා ශක්තිය හේතුවෙනි. පද්‍ය නිර්මාණයක් රසාස්වාදනය කිරීමේ දී මෙම කරුණු අවධාරණය කිරීම ප්‍රසාද ලකුණක් ලබා ගැනීමට හේතු වේ.

 

4.ව්‍යුත්පත්තිය

මෙය ද කවියා සතු විය යුතු ගුණයක් වේ. නිර්මාණකරුවා විසින් පොත් පත් පරිශීලනයෙන් ලබන දැනුම සහ සමාජයීය ගවේෂණයෙන් ලබන දැනුම අනුසාරයෙන් තමන්ගේ පද්‍ය නිර්මාණය පෝෂණය කිරීම ව්‍යුත්පත්තිය නම් වේ.

උදා: " කිසා ගෝතමියක නො වේ" පද්‍ය නිර්මාණය දයාසේන ගුණසිංහගේ අපූරු නිර්මාණයකි.මෙය වර්ථමාන පද්‍ය රචනාවක් වුව ද පාඨකයාට සිහිපත් කරනු ලබන්නේ බුද්ධ කාලයේ කිසා ගෝතමියගේ කතා පුවත යි. මෙය හදුන්වන්නේ ව්‍යුත්පත්තිය වශයෙනි. සිය වස්තු විෂය තීව්‍ර කිරීම සදහා නිර්මාණකරුවෝ උක්ත ප්‍රයෝග භාවිත කරති.පද්‍ය නිර්මාණයක් රස වින්දනයේ දී මෙම කරුණු කෙරෙහි අවධානය යොමු කළ යතු ය.

 

5.ආකෘතිය

පද්‍ය නිර්මාණයක ආකෘතිය වශයෙන් සැලකෙන්නේ බාහිර හැඩය යි. එවැනි බාහිර ආකෘති කිහිපයක් සම්භාව්‍ය සහ නූතන පද්‍ය රචනා ආශ්‍රයෙන් පහත ආකාරයට හදුනා ගත හැකි වේ.

* සිව්පද ආකෘතිය

එනම් එක් පද්‍යයක පද පේළි හතරක් යෙදීම යි. කොළඹ යුගයේ පළමු සහ දෙවන තරංගයේ රචනාවන්ගේ ජනප්‍රිය ම ආකෘතිය සිව්පද ය වේ.

 

උදා:        නිදහස මහ මුහුදක්             වේ

              එහි උල්පත පුත නුඹ            වේ

              එය රැක ගන්නට මෙලො      වේ

              සමත් වෙතොත් පුත නුඹ     වේ

 

*දෙපද ආකෘතිය

කිසියම් පද්‍ය නිර්මාණයක එක් පද්‍යක පේළි 2ක් පමණක් යෙදීමයි.නූතන යුගයේ ඇතැම් කවීන් මෙම ආකෘතිය කෙරෙහි අවධානය යොමු කර ඇති බව පෙනේ.

බේබිගෙ පංතිය අයිනේ ගල් බැම්මෙන් වාඩි     වෙන්නෙ

බේබිලාට කියන කතා එතන ඉදන් අහන්          ඉන්නෙ

 

හවසට අත්වැල් බැදගෙන කවි කියන්නෙ අපි     දෙන්නා

ගැමුණු කුමරුගේ කතාව ඉගෙන ගන්නෙ අපි    දෙන්නා

                          - මොණිකා රුවන්පතිරණ -

 

 

* නිදහස් ආකෘතිය

විරිත ,රිද්මය, එළිසමය සහ ආකෘතියක් රහිතව කෙරෙන පද්‍ය රචනා මේ වර්ගයට අයත් ය.නූතන යුගයේ නිර්මාණකරුවෝ රුචිකත්වයක් දක්වන පද්‍ය ආකෘතියක් ලෙස මෙය හදුනා ගත හැකි ය.ජී.බී සේනානායක, සිරි ගුණසිංග, ගුණදාස අමරසේකර යන නිර්මාණකරුවන්ගෙන් ප්‍රබවය වී සංවර්ධනය වූ පද්‍ය ආකෘතියකි.

     උදා: අදුර

           සෙමින්, සෙමින්

          පැතිරෙත් ම

          මම හිස ඔසවා

          නිල් මිණි වඈ නෙත්

           දෙස බැලීමි

                                    - සැදෑ අදුර - ජී.බී.සේනානායක -

පද්‍ය රසාස්වාදයක් කිරීමේ දී අදාළ පද්‍ය  රචනාව සදහා නිර්මාණකරුවා යොදා ගෙන ඇති ආකෘතිය සහ එය කතුවරයාගේ වස්තු විෂය තිව්‍ර කිරීම සදහා කෙතරම් දුරට උපයෝගී වී ඇත් ද යන්න සදහන් කළ යුතු ය.

 


ලිපිය නිර්මාණය කලේ,
G
Gihan Mayadunna


MEMBER

අදාල තවත් ලිපි,



Gihan Mayadunna

උසස්පෙළ සිංහල

අනෙකුත් ලිපි