ප්‍රස්තාව පිරුළු 05 - උසස්පෙළ සිංහල

ප්‍රස්තාව පිරුළු 05

ප්‍රස්තාව පිරුළු

 

ඉබ්බාගෙන් පිහාටු ඉල්ලනවා වාගේ - නැති දෙයක් ඉල්ලීම

 

ඇගෙන් ඇටයක් ගියා වාගේ - අකමැත්තෙන් යමක් පරිත්‍යාග කිරීමට සිදුවීම. එසේ නොමැති නම් විශාල පාඩුවක් සිදුවීම.

 

කණ කොකාගේ සුද පෙනෙන්නෙ ඉගිලෙන විටලු - කිසියම් තැනැත්තෙකුගේ සැබෑ ස්වරූපය පෙනෙන්නේ එම තැනැත්තාගේ ක්‍රියා කලාපයෙනි

 

ඉසේ ඇම්මට කොට්ටෙ මාරු කළා වාගේ - කිසියම් ගැටළුවකට යෝග්‍ය ප්‍රතිකර්මය නොයොදා වැරදි පිළියම් යෙදීම

 

ඉත්තෑවාගේ ගෙට කබල්ලෑවා රිංගුවා වාගේ - අනුන් සතු දෙයක් බලහත්කාරයෙන් අයිති කර ගැනීම

එක්තරා වනාන්තරයක ලෙනක් තුළ ජීවත් වෙන ඉත්තෑවෙක් වාසය කළේය. එක් දිනක් ගමනක් ගොස් අතරමං වූ කබල්ලෑවෙක් මේ ලෙනෙහි නවාතැන් ගැනීම සදහා ඉත්තෑවගෙන් කැමැත්ත විමසා සිටියේය. ඉත්තෑවා කබල්ලෑවාට තම ලෙන තුළ නවාතැන් ගැනීමට අවසර ලබා දුන්නේය. නමුත් පසුදින උදෑසන කබල්ලෑවා ආපසු යන බවක් පෙණෙන්ට තිබුනේ නැත. දෙදෙනෙකුට වාසය කිරීමට ඉඩකඩ නොමැති බැවින් කබල්ලෑවාට එතැනින් ඉවත්වෙන ලෙස ඉත්තෑවා කබල්ලෑවාගෙන් ඉල්ලා සිටියේය.  “ නුඹට ඉඩ දිනම් නුඹ මෙතනින් වෙන තැනකට පලයන්. මට මෙතැන හොදයැයි” කබල්ලෑවා ඉත්තෑවාට පැවසුවේය. ඉත්තෑවා ඒ අවස්ථාවේ තම තියුණු උල් සහිත කූරු විහදා කබල්ලෑවාට පහර දෙන්නට විය. එහෙත් කබල්ලෑවාගේ සිරුර ආවරණය වී තිබෙන්නේ ඝණ පොතු විශේෂයකින් නිසා ඌට ඉත්තෑවාගේ පහර දීමෙන් ගණනක් නොවීය. කබල්ලෑවා ලෙන තුළම රැදුණු අතර ඉත්තෑවාට වෙනත් ලෙනක් සොයා යාමට සිදුවිය.   

 

ඉහිරැණු කිරට අඩන්නෙ මොට ද? - කිසියම් අලාභයක් සිදුවූ පසු ඒ ගැන සිතමින් පසුතැවිලි වීමෙන් පලක් නැත

 

ඇතා වැහැරුනත් කොරැහෙ නැහැවිය නොහැකිය - ආත්ම ගෞරවය ඇති උසස් පුද්ගලයො‍් ධනය හීන උවත් සමාජය ඉදිරියේ බැගෑපත් නොවෙති

 

ඇතුන් කුඹුර විනාශ කළාම ගෙදර තිබූ වංගෙඩිය කොටං බැද තැබුවා සේ - කෙනෙකු කළ වරදට වෙනත් කෙනෙකුගෙන් පළිගැනීම නැතිනම් දඩුවම් දීම

 

එක මල්ලෙ ලුණු කෑ අය - ඔවුනොවුන් අතර සමාන අදහස් ඇති බව

 

ඕවා අලින්ගේත් අපේත් වැඩ - තමන්ට කළ නොහැකි වැඩ තමන් විසින් කරන ලද බව ලෝකයාට ඇගවීම

 

ඇලි ඇතා දන් දුන්නා වාගේ - තමා සතු ඉතාම දුර්ලභ වස්තුවක් වුවද දන්දීම

 

ඇවිලෙන ගින්නට පිදුරු දමන්නා සේ - කිසියම් ප්‍රශ්නයකදී එය විසදනවා වෙනුවට ප්‍රශ්නය තවත් අවුල් කිරීම

 

ඇවිද්ද පය දහස් වටී - දේශ සංචාරයෙන් බොහෝ අද්දැකීම් ලැබේ

 

ඉක්මන් වුනහම කොරොස් කටෙත් අත දමන්න බැහැ - කලබලයට පත්වූ විට පහසු කටයුත්තක් වුවද සිදුකර ගත නොහැකි බව

 

උණු හින්ද බොන්නත් බැහැ  කිරි හින්ද අහක දාන්නත් බැහැ - උභතෝකෝටික ප්‍රශ්ණයකට මැදි වීම

 

ඉගුරු දී මිරිස් ගත්තා වාගේ - කරදරකාරී ගැටළුවක් විසදා ගැනීම සදහා යෙදූ උපක්‍රමය නිසා ඊටත් වඩා කරදරයකට පත්වීම

මේ පිරුළ සම්බන්ධව ඓතිහාසික කතාන්දරයක් තිබේ. එම සිදුවීම දෙවන රාජසිංහ රජතුමාට සම්බන්ධ එකකි. එතුමා පෘතුග්‍රීසීන් පළවා හැරීම පිණිස ලන්දේසීන්ගෙන් සහය ලබා ගත්තේය. ලන්දේසීන් විසින් මුහුදුබඩ පළාත් වලින් පෘතුග්‍රීසීන් පළවා හැරීමට කටයුතු කරන ලදී. එසේ වුවත් ඔවුන් මුහුදුබඩ පළාත්වල පාලනය උඩරට රජුට භාර නොදුන්හ. පෘතුග්‍රීසීන් වෙනුවට ඔවුන් එම ප්‍රදේශ පාලනය කළහ. මේ අවස්ථාවේදී පෘතුග්‍රීසීන් එළවා දැමීමට ලන්දේසීන්ගෙන් සහය පැතීම ඉගුරු දී මිරිස් ගත්තා වාගේ යැයි රජතුමා ප්‍රකාශ කළේලු.

 

ඔරුවෙ බර අඩු කිරීමට කද කරට ගත්තා වාගේ - අණුවන ක්‍රියාවක් සිදු කිරීම

 

කකුළුවා පැටවුන්ට කෙලින් යන්න ඉගැන්නුවා වාගේ - තමන් වැරදි කරමින නිවැරදි වන්න යැයි අනුන්ට පැවසීම

 

එක ගලෙන් කුරුල්ලො දෙදෙනෙකු මරා දැමීම - එක් ප්‍රයන්තයකින් වැඩිපුර ප්‍රථිපල නෙළා ගැනීම

 

එපා වාහෙට හොදි බෙදන්නා වාගේ - නිගරු ලෙසත් නොසැලකිලිමත් ලෙසත් කටයුතු කිරීම

 

 ඉබ්බා දියට දමන කළ අන්නෑවේ කීවාලු - දඩුවමක විලාසයෙන් යහපතක් සිදුවීම