සිගාලෝවාද සූත්‍රය

සිගාලෝවාද සූත්‍රය

බුදු රජාණන්වහන්සේ මගධ රාජ්‍යයේ රජගහනුවර වේළුවනාරාමයෙහි වැඩ වාසය කරන සමයේ සිගාල නැමැති ගෘහ පුත්‍රයා අලුයම නැගිට ජලාශයකට බැස තෙත් වු ඇඳුම් පිටින් හිසකෙස් වලින් යුතුව ගොඩට විත් උතුරු දිශාව,දකුණු දිශාව,නැගෙනහිර දිශාව,බටහිර දිශාව,උඩ දිශාව හා යටි දිශාව යනුවෙන් දිශා 06කට නමස්කාර කරන ලදි.මෙම සිදුවීම දුටු බුදුන් වහන්සේ රජගහනුවරට පිඬුසිගා වැඩමවා මෙම සිගාල පුත්‍රයාගේ සදිසා නමස්කාරය දැක ඔහුගෙන් මෙසේ අසයි.

බුදුන් වහන්සේ "ගෘහ පුත්‍රය, තෙත් වු ඇඳුම් සහිත පැති 06කට කුමන කරුණක් නිසා වඳින්නේද?"

සිගාල ගෘහ පුත්‍රයා "ස්වාමීනි,මාගේ පියාණන් මිය යන මොහොතේ කරන ලදැයිකීහ.

එවිට බුදුන් වහන්සේ බුදු දහමට කරන ක්‍රියාව වැරදි බව පෙන්වා දෙමින් ඔහුගේ ඉල්ලීම මත සදිසා නමස්කාරය මෙසේ යැයි මෙසේ දේශනා කරන ලදි.

 

මාතා පිතා දිසා පුබ්බා

ආචරියා දක්ඛිණා දිසා

පුත්තදාරා දිසා පච්ඡා

මිත්තා මච්ඡාච උත්තරා

 

දාසකම්මකරා හෙට්ඨා

උද්ධං සමණ බ්‍රහ්මණා

ඒතා දිසා නමස්ස්‍යෙය

අලමත්තෝ කුලේ ගිහී

 

 

ඒ අනුව පෙරදිග මාපිය දූදරු,දකුණ ගුරු ශිෂ්‍ය,බටහිර අඹු සැමි,උතුර හිත මිත්‍ර,යට සේව්‍ය සේවක හා උඩ ගිහි පැවිදි වශයෙන් ය.

සමාජය ගොඩ නැගෙන්නේ සමාජයේ ජීවත් වන පුද්ගල කණ්ඩායම් අන්නෝන්‍ය ක්‍රියාවන්ගෙන් හැසිරිය යුතුය.එම පුද්ගල කොටස් වලට ඉටු කල යුතු යුතුකම් හා වගකීම් තිබේ.එවිට වගකීම් හා යුතුකම් සහිත යහපත් සමජයක් ගොඩ නැගේ.සදිසා නමස්කාරය තුළින් එකිනෙකාගේ වගකීම් හා යුතුකම් මැනවින් දැක්වේ.

 

සදිසා නමස්කාරය

 

අප සෑම දෙනාටම සමාජයේ තනිව ජීවත් විය නොහැක.අපට මෙම සමජයේ ජීවත් වීමට එක් අයෙකුගෙන් හා කණ්ඩායම් කිහිපයකින් උදව් අවශ්‍ය වේ.අප ඉපදෙන මොහොතේ පටන් මරණය දක්වාම එක් අයෙකුගෙන් හා කණ්ඩායම් කිහිපයකගෙන්ම සහය අවශ්‍යය.අප සමාජයේ ජීවත් වන විටදී මේ කණ්ඩායම්ගෙන් සහය ලබා ගත යුතු ය.එනම් දෙමාපියන් ,ගුරුවරුන්,මිතුරන්,අඹුව හා සැමියා,පැවිද්දන් හා සේවකයන් වැනි පිරිසගෙන් සහය අවශ්‍යය.අප මොවුන් සමඟ සම්බන්ධකම් පැවැත්විය යුතුය.ඒ සමාන්‍ය සබඳකම් නොව අන්නෝන්‍ය සබඳකම් පැවැත්විය යුතුය.සදිසා නමස්කාරයේදී බෞද්ධ විග්‍රහයට අනුව තමන් තමන්ගේ යුතුකම් හා වගකීම් කල යුතු පිරිස් නැත්නම් කණ්ඩායම් 06කට බෙදා දැක්වේ.එම කණ්ඩායම් දිශා 06කින්ද නිරූපණය වේ.

ඒ දිශාවන් හා දිශාවන්ගෙන් නිරූපණය වන පාර්ශව පහත දැක්වේ.

 

නැගෙනහිර දිශාව මව් පිය දූ දරු සබඳතා

දකුණු දිශාව - ගුරු ශිෂ්‍ය සබඳතා

බටහිර දිශාව - අඹු සැමි සබඳතා

උතුරු දිශාව මිතුරු සබඳතා

යට දිශාව සේව්‍ය සේවක සබඳතා

උඩ දිශාව ගිහි පැවිදි සබඳතා

 

මව්පිය දූ දරු සබඳතාවය

 

තමාට කිසිම යහළුවෙක් හා යෙහෙළියක් නැත්නම් තමගේ තමාගේ හොඳම යාළුවා විය යුත්තේ දෙමාපියන්‍ ය.වෙන කවුරු නොසිටියත් තමාගේ දුකේදීත් සැපේදීත් සිටින්නේ තමාගේ දෙමාපියන් ය.දෙමපියන්ව පූර්ව දිශාව හෙවත් නැගෙනහිර දිශාවට සම කොට ඇත්තේ ලෝකය ආලෝක වන්නේ ඉර මඟිනි.ඒ වගේම දරුවෙකු ආලෝකමත් වෙන්නේ දෙමාපියන් මඟිනි.දෙමාපියන්ට සතර බ්‍රහ්ම විහරණ  මෙත්තා,කරුණා,මුදිතා හා උපෙක්ඛා  යන ගුණයන්ගෙන් සමන්විත නිසාමයි.ඒ හෙයින් දෙමාපියන්ට පුබ්බාචරිය,පුබ්බදේව හා බ්‍රහ්ම යන පද වලින් අරුත් ගැන්වේ.

 

දරුවන්ගෙන් දෙමාපියන්ට ඉටු විය යුතු යුතුකම්

 

  • මව්පියන් පෝෂණය කිරීම.
  • ඔවුන්ගේ කටයුතු සොයා බලා ඉටු කරදීම.
  • දෙමාපියන් රැගෙන ආ කුල පරම්පරාම්ව හා සිරිත් විරිත් ආරක්ෂා කිරීම.
  • දෙමාපියන්ගෙන් ලබන දායාද ආරක්ෂා කිරීම.
  • දෙමාපියන් මළගිය පසු පිංකම් කොට පිං අනුමෝදන් කිරීම.

 

දෙමාපියන්ගෙන් දරුවාට ඉටු විය යුතු යුතුකම්

 

  • දරුවන් වරදින් මුදවා ගැනීම.
  • යහපතෙහි යෙදවීම.
  • ඉගෙනීමේ කටයුතු වල යෙදවීම.
  • සුදුසු කල්හි ආවාහ විවාහ කර දීම.
  • සුදුසු කල්හි තම දායාද පැවරීම.

 

ගුරු ශිෂ්‍ය සබඳතාවය

 

ඒ වගේම සමාජයේ දක්නට ලැබෙන තවත් කණ්ඩයමක් නම් ගුරු ශිෂ්‍ය සබඳතාවය.තම දෙමාපියන්ගේ ගුණ ධර්මයන් ඉගෙන පාසල් අවධියට ගොස් සමාජය පිළිබඳ දැනුවත් වනුයේ ගුරුවරුන් මඟිනි.දෙමාපියන් වගේම සැලකිය යුතු පිරිසක් වනුයේද ගුරුවරුන් ය.සදිස නමස්කාරයේදී දක්ෂිණාව හෙවත් දකුණු දිශාව නිරූපණය වන්නේ මෙම සබඳතාවය යි.

 

ශිෂ්‍යාගෙන් ගුරුවරයාට ඉටු විය යුතු යුතුකම්

 

  • දුටු විට හුනස්නෙන් නැගිටීම.
  • අවශ්‍ය උපස්ථාන කිරීම.
  • මැනවින් අවවාද අනුශාසනා වලට සවන් දීම.
  • අවශ්‍ය කටයුතු කරදීම.
  • මැනවින් ඉගෙන ගැනීම.

 

ගුරුවරයාගෙන් ශිෂ්‍යයාට ඉටු විය යුතු යුතුකම්

 

  • මැනවින් හික්මවීම.
  • මැනවින් ඉගැන්වීම.
  • තමන් දන්නා සියලු ශිල්ප ඉගැන්වීම.
  • තම මිත්‍රයින්ට ශිෂ්‍යා හඳුන්වා දීම.
  • ශිෂ්‍යා ආරක්ෂා කිරීම.

 

අඹු සැමි සබඳතාවය

 

සමාජයේ වැදගත්ම කුඩාම ඒකකය වන්නේ පවුල යි.එම ඒකකයේ සාමාජිකයන් සැමියා හා බිරිඳ වේ.පවුල නැමති සංස්ථාව රදා පවතින්නේ සැමියාගේත් බිරිඳගේත් අන්නෝන්‍ය සබඳතාවය නිසාය.මෙම ඒකකයේ යහ පැවැත්ම පවතින්නේ සාමය සතුට දියුණුව හා දූ දරුවන් මඟිනි.

 

සැමියාගෙන් බිරිඳට ඉටු විය යුතු යුතුකම්

 

  • ගරු කිරීම.
  • අවමන් නොකිරීම.
  • පරදාර සේවනය නොකිරීම.
  • ගෙදර වගකීම් පැවරීම.
  • ඇඳුම් පැළඳුම් සපයා දීම.

 

බිරිඳගෙන් සැමියාට ඉටු විය යුතු යුතුකම්

 

  • ගෙදර කටයුතු මැනවින් සංවිධානය කිරීම.
  • ඇසුරු කරන පිරිසට මැනවින් සංග්‍රහ කිරීම.
  • පර පුරුෂ සේවනය නොකිරීම.
  • උපයන ලද ධනය ආරක්ෂා කිරීම.
  • සෑම කටයුත්තකදීම දක්ෂ වී අනලස් ව කටයුතු කිරීම.

 

යහළු මිත්‍ර සබඳතාවය

 

අපට පොදු කටයුතු වලදී මෙන්ම පෞද්ගලික කටයුතු වලදී මිතුරන්ගේ සහය අවශ්‍ය වේ.එම මිතුරන් දෙයාකාර වේ. එනම් කළ්‍යාණ මිත්‍රයා හා පාප මිත්‍රයා වශයෙනි.කළ්‍යාණ මිත්‍රයා බුදු දහම පිළිගන්නා අතර පාප මිත්‍රයා බුදු දහම ප්‍රතික්ෂේප කරන ලදි. මෙම සබඳතාවය දැක්වෙන දිශාව වනුයේ උතුරු දිශාවයි.

 

මිත්‍රයාගෙන් තමාට විය යුතු යුතුකම්

 

  • මිතුරාට අවශ්‍ය දේ දීම.
  • ප්‍රිය වචනයෙන් කතා කරයි.
  • දියුණුව සඳහා කටයුතු කරයි.
  • සමානාත්මතාවය දක්වයි.
  • නොරවටයි.

 

තමාගෙන් මිතුරාට විය යුතු යුතුකම්

 

  • දුසිරිතෙහි වැටි ප්‍රමාද වු මිතුරා ආරාක්ෂා කර ගැනීම.
  • ඒ මිතුරාගේ ධනය ආරක්ෂා කර දීම.
  • බියට පත් මිතුර ඉන් මුදවා ගනියි.
  • විපතට පත් මිතුරා අත් නොහැරීම.
  • මිතුරාගේ අඹු දරුවන්ට සැලකීම.

 

සේව්‍ය සේවක සබඳතාවය

 

මෙම සම්බන්ධයේදී ප්‍රධාන වගකීම ඇත්තේ සේව්‍ය පක්ෂයටයි.එයින් අදහස් වන්නේ නිවසකදී හා කර්මාන්ත ශාලාවකදී දියුණුව රදා පවතින්නේ ඇප කැප වී ක්‍රියා කරන සේව්‍ය පක්ෂය මතය.මෙම සබඳතාවය සදිසා නමස්කාරයෙහි නිරූපණය වන දිශාව වනුයේ යටි දිශව යි.පහත දක්වා ඇති කරුණු මඟින් නිවසේ හා ව්‍යාපාරයේ දියුණුවෙන් දියුණුවට පත් විය හැක.

 

සේවකයාගෙන් ස්වාමියාට සිදුවිය යුතු යුතුකම්

 

  • ස්වාමියාට පළමුව අවදි වීම.
  • ස්වාමියාට පසුව නින්දට යෑම.
  • ස්වාමියා දුන් දේ පමණක් ලබා ගැනීම.
  • වැඩ කටයුතු හොඳින් කරගෙන යෑම.
  • ස්වාමියාගේ ගුණ වර්ණනා කිරීම.

 

ස්වාමියාගෙන් සේවකයාට ඉටුවිය යුතු යුතුකම්

 

  • සේවකයාගේ ශක්ති ප්‍රමාණය අනුව වැඩ පැවරීම
  • නිසි වැටුපක් ලබා දීම.
  • සෞඛ්‍ය පහසුකම් ලබා දීම.
  • මිහිරි ආහාර පාන ආදිය නිසි ලෙස ලබා දීම.
  • සුදුසු අවස්ථාවන්හි විවේක ලබා දීම.

 

ගිහි පැවිදි සබඳතාවය

 

ධාර්මික සමාජයක් පවත්වාගෙන යාම සඳහා මෙම සබඳතාවය බොහෝ සෙයින් වැදගත් වේ.බුදු දහමේ පිරිස් 02කින් යුක්ත වේ.ගිහි පක්ෂයෙන් උපාසක,උපාසිකා වශයෙනුත් පැවිදි පක්ෂයෙන් භික්ෂු,භික්ෂුණි වශයෙන්ද පිරිස් 02ක් වේ. මෙම සබඳතාවය දක්වා ඇති දිශාව වනුයේ උඩ දිශාව යනුවෙනි.

 

පැවිද්දාගෙන් ගිහියාට ඉටුවිය යුතු යුතුකම්

 

  • පවින් වැළැක්වීම.
  • යහපතෙහි යෙදවීම.
  • හොඳ සිතින් අනුකම්පා කිරීම.
  • අසා ඇති ධර්ම කරුණු වල වැරදි ඇතොත් නිවැරදි කර දීම
  • නොඇසු ධර්ම කරුණු කියා දීම.
  • සුගතියට යන මඟ කියා දීම.

 

ගිහියාගෙන් පැවිද්දාට ඉටුවිය යුතු යුතුකම්

 

  • මෛත්‍රී සහගත ව ක්‍රියා කිරීම.
  • මෛත්‍රී සහගත ව කතා කිරීම.
  • මෛත්‍රී සහගත ව සිතීම.
  • නිවසට පැමිණෙන විට සතුටින් පිළිගැනීම.
  • ආමිසයෙන් සංග්‍රහ කිරීම

 

සිගාලෝවාද සූත්‍රයට අනූව මිනිසෙකු මෙලොවදී පිරිහීමට ලක්වන තුදුස්දාහක ධර්ම හඳුන්වා දී තිබේ.එම තුදුස්දාහක ධර්ම නම්,

  • චතුර්විධ කර්ම ක්ලේෂ - 04
  • සතර අගතිය - 04
  • විනාශ වන භෝග මුඛ - 06

 

චතුර්විධ කර්ම ක්ලේෂ - 04

  • ප්‍රාණගාතය
  • අදත්තාදානය
  • කාමමිත්‍යාචාරය
  • මුසාවාදය

 

ගිහියාගේ නිත්‍ය සීලය වන පංච සීලයේ එන මෙම කරුණු සතරට පටහැනිව ක්‍රියා කරන්නේ නම් එයින් පුද්ගලයාත් එම පවුලත් මෙලොවදීම පිරිහේ.

 

සතර අගතිය - 04 

  • ඡන්දය
  • ද්වේෂය
  • භය
  • මෝහය

 

සමාජයේ ජීවත් වන යම් කිසි පුද්ගලයෙක් ඡන්දයෙන්,ද්වේෂයෙන්,භයෙන් හා මෝහයෙන් තම සීමාව ඉක්මවා ක්‍රියා කරන්නේ නම් එම තැනැත්තා තමන්ගේ සියලු සම්පත් වලින් පිරිහීමට පත් වේ.ඕනෑම දෙයක අන්‍තයකටම යෑම පිරිහීමට ලක් වේ.රාජ්‍ය පාලනයේදී පාලකයා සතර අගතියෙන් කටයුතු කරයි නම් ජනතාව ඔහුව ප්‍රතික්ෂේප කරයි.සමාජයට ජනතාව සාධාරණන් ඔහුගෙන් ඉටු නොවේ.පුද්ගල ජිවිතයේදී පවා අගතියට නොයා කටයුතු කර ගැනීමෙන් මෙම ජිවිතය සාර්ථක කර ගත හැකිය.

 

භෝග විනාශ වන මුඛ - 06

  • මතට ගිජු වීම
  • අවේලාවේ වීදී සංචාරය
  • සමජ්ඣාභිචරණය
  • දු කෙළියේ යෙදීම
  • පාප මිත්‍ර සේවනය 
  • අලසකම

 

ඉන් ආදීනව

 

මත් වතුර භාවිතයේ ආදීනව ලෙස,

  • මෙලොවදීම තම ධනය පිරිහේ.
  • නිතරම අඩ දබර ඇති වේ.
  • නිතරම රෝගාබාධ ඇති වේ.
  • සමාජයේ අපකීර්තියට ලක් වේ.
  • පව් කිරීමට ලැජ්ජා භය නැතිවීම.
  • තම නුවණ දුර්වල වීම.

 

අවේලාවේ වීදී සංචාරයේ ආදීනව ලෙස,

  • තමාට ආරක්ෂාව නැති වීම.
  • තම අඹු දරුවන්ටද ආරක්ෂාව නැති වීම.
  • විවිධ අභූත චෝදනා වලට ලක් වීම.
  • කටකතා පැතිරීම.
  • බොහෝ දුක් කරදර වලට මුහුණ දීමට සිදු වීම.

 

සමජ්ඣාභිචරණයේ ආදීනව ලෙස,

  • තම වටිනා කාලය අපතේ යාම.
  • අපකීර්තියට ලක් වීම.
  • උපයාගත් ධනය විනාශ වීම.
  • පාප මිත්‍ර සේවනයට යොමු වීම.
  • තම ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වීම.
  • මරණය පවා ගොඳුරු වීමට හැකියාව ඇත.

 

  • සමජ්ඣාභිචරණය යනු "නිතර නිතර නැටුම් ගැයුම් වල නිරත වී කාලය ගත කිරීම වේ."

 

දූ කෙළියේ ආදීනව ලෙස,

  • තමන් දිනීම තුළින් සතුරන් ඇති වේ.
  • පැරදීම තුළින් පසුතැවීමට ලක් වේ.
  • ධනය විනාශ වීම ඇති වේ.
  • සමාජයේදී ඔහුගේ වචන කිසිවෙකුත් පිළිනොගයි.
  • අසල්වාසීන්ගෙන් නින්දාවට ලක්වෙයි.
  • තමන් සමඟ ආවහ විවහ වීමට කිසිවෙකුත් අකැමති වේ.

 

පාප මිත්‍ර සේවනයේ ආදීනව ලෙස,

  • සූදූ කරුවන් මිත්‍රයින් වීම.
  • සල්ලාලයන් මිත්‍රයින් වීම
  • බේබද්දන් මිත්‍රයින් වීම.
  • කපටියන් මිත්‍රයින් වීම.
  • වංචාකාරයන් මිත්‍රයින් වීම.
  • සොරුන් මිත්‍රයින් වීම.

 

අලසකමේ ආදීනව ලෙස,

  • දැන් ඉතා සීතල යැයි වැඩ නොකිරීම.
  • දැන් ඉතා උෂ්ණ යැයි වැඩ නොකිරීම.
  • දැන් ඉතා සවස් යැයි වැඩ නොකිරීම.
  • දැන් ඉතා උදේ යැයි වැඩ නොකිරීම.
  • දැන් ඉතා බඩගිනි යැයි වැඩ නොකිරීම.
  • දැන් බඩපිරී යැයි වැඩ නොකිරීම.