මුනි සිරිපා සිඹිමින්නේ

මුනි සිරිපා සිඹිමින්නේ

නූතන පද්‍ය යුගයේ මුල් වකවානුවට අයත් කවීන් අතර ජාත්‍යාලය හා ජාතිකාභිමානය ඇති කිරීම සදහා මහත් වෙහෙසක් ඉටුකළා වූ කවියෙකු ලෙස එස්.මහින්ද හිමියෝ ජාතින ආගමික පුනර්ජීව ව්‍යාපාරයේ පුරෝගාමියෙක් වූහ.ළමා පරපුර කේන්ද්‍රකොට නිදහස් නිවහල් චින්තනයක් ළමා මනසෙහි ඇති කොට ජාත්‍යාලය ඇති කිරීම සදහා එස්.මහින්ද හිමියෝ ජාතික තොටිල්ල හෙවත් දරු නැළවිල්ල, නිදහසේ මන්ත්‍රය, නිදහසේ දැහැන, ලංකා මාතා වැනි කාව්‍ය සංග්‍රහ රචනා කර ඇත.ළමයින් සදහා උන්වහන්සේ කව්මිණ, ළමා කව් කළඹ ආදි නිර්මාණ රචනා කොට ඇත.

දරු නැළවිල්ල හෙවත් ජාතික තොටිල්ල ජාතික වීර කාව්‍යයෙහිලා සැලකිය හැකි දීර්ඝ කාව්‍ය නිර්මාණයකි.මෙය දරුවන් සදහා ලියන ලද්දකි.මෙහි දී දරු නැළවිල්ලක ආකාරයෙන් පද්‍ය පන්තිය රචනා කර තිබේ. පද්‍ය පන්තිය රචනයේ දී මාත්‍රා 12 කින් යුත් වසන්ත විරිත හෙවත් යොත් මත් වැල විරිත වූ ඉතා මිහිරි සුගානීය විරිතක් උපයෝගී කරගෙන ඇත.

පද්‍ය පන්තිය ආරම්භයේ දී ම මහින්ද හිමියෝ දරුවන්ට බුදු දහමේ ආශිර්වාදය ලබා දෙති. බුදු දහමින් පෝෂිත ශ්‍රී ලංකාව දරුවන්ට, සිංහලයාට ඇති උතුම් ම රට වශයෙන් උන්වහවහන්සේ සිහිපත් කරති. බුදුන්ගේ පාද ස්පර්ශ කර හමා එන මද සුළග වැදීමෙන් ආගමික ගුණ සුවද දරුවා තුළ වඩවයි.

 

‘‘මුනි සිරිපා             සිඹිමින්නේ

සමනොළ ගිරි      පෙදෙසින්නේ

මද සුළගයි මේ           එන්නේ

මගේ පුතා            නිදියන්නේ "

 

අවස්ථා චිත්‍රනය වන ලෙසින් ළමා මුවගට ඉතා සමීප වූ භාෂාවක් යොදාගෙන තිබේ. රට මෙන් ම ජාතිය ද දේශයේ උපන් දරුවාට වටිනා සම්පතකි.බුදුන් වහන්සේගේ පා සලකුණු පිහිටි සමනළ කදු මුදුනින් හමා එන  සුළග වැදීමෙන් පවා ගත සිත සුවපත් වන බව “මගේ පුතා නිදියන්නේ " යන පද්‍යයෙන් පැහැදිලි වේ.මෙයින් ගම්‍ය වන්නේ එස්.මහින්ද හිමියන් දැයේ දරුවන්ට බුදු ගුණ පිළිබද අවබෝධයක් දීමට ගත් උත්සහයයි.

 

“ජාතිය රන් විමනක්         වේ

ආගම මිණි පහනක්         වේ 

එය රැක ගන්නට මෙ   ලොවේ

සමත් වෙතොත් පුත නුඹ   වේ "

 

මෙහි දී මහින්ද හිමියෝ යෝග්‍ය පරිදි කාව්‍යාලංකාරයක් ලෙසින් රූපක යොදා ගෙන තිබේ.‘ජාතිය රන් විමනකි' ‘ආගම මිණි පහනකි' ජාතිය නම් වූ රන්විමානයෙහි බුදු දහම නම් වූ මිණි පහනින් ආලෝකමත් වන්නේය. තමන්ගේ ආගම තමන්ගේ දිවි මග එළිය කරන පහනක් කර ගැනීම ඔබ සතු කාර්යයකි. උත්සහයෙන් දිවි පරදුවට තබා වුව ද එය රැක ගැනීමට කටයුතු කළ යුතු ය.

 

නිදහස මහ මුහුදක්          වේ

එහි උල්පත පුත නුඹ        වේ

ඒ බව සිහි කොට මෙ   ලොවේ

යුතුකම ඉටු කළ යුතු        වේ"

 

දරුවා තුළ ජාතිය පිළිබද අභිමානයක්, ජාතිය පිළිබද ඇල්මක් සහ දේශය පිළිබද ආදරයක් ඇති කිරීම තුළින් ශ්‍රී ලංකා මාතාව සතුරු උවදුරුවලින් ගලවා ගත හැකි බව උන්වහන්සේ සිහිකරති. නිදහස මහ මුහුදකටත් එහි දිය උල්පත පුතා බවටත් මහින්ද හිමියන් පවසන්නේ මේ අසීමිත වූ නිදහස රැක ගැනීමට අවශ්‍ය බව ය. එසේ නම් එහි නියමුවා වන්නේ අනාගත දරුවන් බව ය.

 

“ජාතික රණ දෙරණ          මතේ

ගැටී වැටී මළ         මොහොතේ

සුන්දර සුරඹුන්ගේ           අතේ

නැළවෙන බව සිතනු        පුතේ"

 

රට, ජාතිය, ආගම බේරා ගැනීමට නොබියව ධෛර්යවන්තව සටන් කිරීම, යුධ වැදීම දෙව්ලොව උපදින්නටත්, දෙව් සැප ලබන්නටත් හේතුවන බව කුඩා දරුවන්ට පසක් කරලීමට උත්සහ දරයි.එයින් කුඩා දරුවන් තුළ කුඩා කළ සිට ම ජාතිකාභිමානය වර්ධනය කිරීම උන්වහන්සේගේ උත්සහයයි.

 

“කරදර දහසක් හමු         වී

ඉන්ටැකි නම් සිනා     වෙවී

ඔහු මෙලොවට පහළ   දෙවී

රජෙකැයි සලකනු     මැනවී"

 

ජීවත් වීමේ දී විවිධ අභියෝගවලට, දුක් කරදරවලට, බාධකවලට මුහුණ පෑමට සිදු වේ. එහෙත් ඒ සියලු කරදර බාධක හමුවේ නොසැලී සිටීමට, සතුටින් ඊට මුහුණ දීමට හැකි නම් එවැනි  දරුවෝ මෙලොව පහළ වන දෙවිවරු වෙති.පද්‍ය වඩාත් හොදින් පාඨකයාට වැටහීමට ‘ඉන්ටැකි' වැනි කටවහරාත්මක වචන මෙහි දී භාවිතා කර ඇත.

 

“ඉටු කොට කළ යුතු      යුතුකම්

ලැබුණත් ලෝකෙන්     ගැරහුම්

ඉවසන්නට            පුළුවන්නම්                                                 

උඹයි මගේ පුතා            උතුම් "

 

මහින්ද හිමියෝ රට, ජාතිය, ආගම බේරා ගැනීමට, රැක ගැනීමට දරුවන්ට අයිතියක් යුතුකමක් ඇති බව අවධාරණය කරති. ඒ වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමේ දී කොතරම් නින්දා-අපහාස ලැබුණත් ජාතියේ නාමයෙන් උපන් රටෙහි නාමයෙන් ඉවසන්නට හැකියාව ලැබේ නම් එය උතුම් පුත්‍රයෙකු වීමට හේතුවන බව සිහිපත් කරයි.

 

“කාටත් හිමි පොදු දේ       නම්

නැති බැරි හිග අවහිර       කම්    

මේ දේ මැඩ ගෙන       දස්කම්

පෑම තමයි සුරු          විරුකම්"

 

සියලු මිනිසුන් කරා පැමිණෙන පොදු වූ ධර්මතාවයක් ලෙස නැති-බැරි, අග-හිගකම්, අවහිර-බාධාවන් හදුනාගත හැකි ය. මේවාට මුහුණ දීමට ඇති ශක්තිය අප තුළ වර්ධනය කරගත යුතු ය. එම බාධාවන් මැඩගෙන යහපත සොයා යන්නට හැකිනම් එය පුද්ගල පෞරුෂයේ ඇති සමත්කමයි.

 

“මිතුරුකමින් පෙරට        එතොත්

දූවිල්ලක් එක්ක              වුණත්

මිතුරු වෙයන් පුතේ         උඹත්

එයයි ලොවේ ගුණය         මහත්"

 

සතුරා වුව ද මිත්‍රත්වයෙන් දෑත් දිගු කොට මිත්‍රත්වය අපේක්ෂා කරන්නේ නම් ඔහු ‘පලවා හරින්න එපා‘ යන පණිවුඩය ලබා දෙයි. “මිතුරු වෙයන් පුතේ“ යන පද්‍ය බැගෑපත් ආයාචනයක් ලෙස කවියා ඉදිරිපත් කර ඇත. එය දේශයේ අවශ්‍යතාවට අනුව සිදුවිය යුත්තකි. එමෙන් ම එය දරුවාගේ පෞරුෂත්වයට අවශ්‍ය දෙයකි.

 

“සිනිදු මොළොක් බව       මලෙහී

පිරිසිදුකම පිනි              බිදෙහී

එක් වී මා පුතුගෙ            ළෙහී

අරක් ගනී හැම             දිනෙහී"

 

සුපිපි මලක ඇති සිනිදු මෙළෙක් බව හැඩය හා සුගන්ධයත් පිනිබිදුවක ඇති පාරිශුද්ධත්වයත් එහි පිරිසිදු බව හා දීප්තියක් මේ නොකිළිටි පුතුන්ගේ හදවතෙහි හැමදාමත් තැම්පත් විය යුතු බව උන්වහන්සේ පවසති.

මේ ආකාරයට කුඩා දරුවන් තුළ ජාතිකාභිමානි, දේශභිමානි හැගීම් හදවත් තුළ තහවුරු කරන්නට මහින්ද හිමියන් ගත් උත්සහය සාර්ථක වී තීබේ.





Methmi Theekshana
2024 01 24 09:11:18

chamith leelarathne
2022 01 10 23:03:52