සරල ගී ස්වර ප්‍රස්තාර - 1 කොටස (28-06-2017)
ස්වර ප්‍රස්තාරයක් යනු, කිසියම් සංගීතමය නිර්මාණයක් එලි දැක්වීමට භාවිතා කරන ලේඛනයයි. එය හුදෙක් සාම්ප්‍රදායික ලියවිල්ලකට සම කල නොහැකි අතර, සංගීත වෘන්දයක් සඳහා සැපයෙන වැඩ සටහනක් ලේඛන ගත කිරීමක්(work sheet) ලෙස අර්ථ දැක්විය හැක.
අප කතාකරන දෙය ලේඛනගත කල හැක. එසේම ලේඛනගත කල දෙය කියවීමටද හැකිය. සංගීත නිර්මාණයට සහ වාදනයටද මෙය පොදු සංසිද්ධියකි.
වාදනය කරන දෙය ප්‍රස්තාරගත කිරීමට නොහැකිනම් සහ ප්‍රස්තාරගත දෑ වාදනය කිරීමට නොහැකි නම් එය, කතා කිරීමට හැකි ලිවීම සහ කියවීම කල නොහැකි අයෙක් මෙනි.
සංගීත ප්‍රස්තාරයක් කියවා එය වාදනය කිරීමට හැකිනම් සහ හිතට එන සංගීතමය සිතිවිලි ස්වර ප්‍රස්තාරයක් ඔස්සේ ඉදිරිපත් කල හැකි නම්, ඔහුට හෝ ඇයට සරල සංගීතය තුල යම් තාක් දුර ගමනක යාගත හැක.
සිංහල හෝ වෙනත් භාෂාවක් ලේඛන ගත කිරීමේදී (ලිවීමේදී) ඒ ඒ භාෂාවන්ට ආවේනික වූ යම් නිශ්චිත නීති රීති සමුදායක් සකසා ඇත. ඒ අයුරින්ම ස්වර ප්‍රස්තාරයක් සැකසීමේදී ද ඊට අදාළ නීති රීති සමුදායක් ඇත. නිර්මාණකරුවන් සහ වාදකයන් එම නීති රීති සම්මතයක් ලෙස පිළිගෙන ඇත.
සරල සංගීතයේදී අපට මුණ ගැසෙන ස්වර ප්‍රස්තාරවල අඩු වැඩි වශයෙන් මේ නීති රීති ඇතුලත් වේ. ස්වර ප්‍රස්තාරගත කරන්නාගේ දැනුම සහ හැකියාව මත ප්‍රස්ථාරයේ නිරවද්‍යතාව තීරණය වේ. එමෙන්ම දකින්නාට ප්‍රියජනක ආකාරයෙන් ප්‍රස්තාර සැකසීමටද උපරිම උත්සාහ ගත යුතුය.
අප භාවිතා කරන සරල ගී ස්වර ප්‍රස්තාර යනු, බටහිර සංගීතයේ ස්වර ප්‍රස්තාරගත කිරීමේ තාක්ෂණික ආභාෂය ලබා බිහි වූවකි. මේ තුල බටහිර සංගීත ප්‍රස්තාර වල ඇති සංකේත සහ වචන බහුලව භාවිතා වේ.
සරල ගීයේ ව්‍යූහය සහ අපගේ ඇසට හුරු පුරුදු සරල සංගීත ස්වර ප්‍රස්තාර ගැන කරුණු හැකි පමණින් සාකච්ඡා කිරීම මෙම ලිපියේ මුඛ්‍ය අරමුණ වේ.
1. හඳුන්වාදීමේ සංගීතය (Introduction Music)
බොහෝ සරල ගීතවල ආරම්භය සනිටුහන් වන්නේ මෙම සංගීත කොටසින් බව පෙනේ.
ගීතයක් ආරම්භයේදීම, ගීතය මෙය යැයි හඳුනාගැනීමට උපකාරී වන්නේ මෙම සංගීත කොටස බැවින්, එය “හඳුන්වාදීමේ සංගීතය” නැත්නම් “Introduction Music” ලෙසින් නම් කර ඇත.
මෙම Introduction Music ශ්‍රවනය කිරීමෙන් ඊට අදාළ ගීයේ “ව්‍යූහය” ගැන මුලික අවබෝධයක් ලබාගත හැක.
බොහෝ ස්වර ප්‍රස්තාර වල මෙම නාමය කෙටිකොට “Intro” ලෙස සටහන් කර ඇති අයුරු දකින්නට ලැබේ.
මෙම කොටස නොමැතිව වෙනත් ආකාර වලින් ආරම්භ වන සරල ගීතද ඇත. ගීතයක ආරම්භය කුමන ආකාරයෙන් සිදු වූවත්, මුලින්ම යෙදෙන මේ “කුමන හෝ ආකාරය” එම ගීතයේ “හඳුන්වාදීම”ලෙස කිව හැක.
තම සිතැඟි පරිදි ස්වර සංයෝජනය කර, මෙම කොටස නිමැවීමට නිර්මාණ ශිල්පියා හට නිදහස තිබේ. ඊට සීමා මායිම් පනවා නැති අතර, සංගීතඥයාගේ ප්‍රතිභාව මත හඳුන්වාදීමේ සංගීතය වර්ණවත් වේ.
ගීතයේ හැඳින්වීම මෙය බැවින්, ඒ සඳහා සිතට දැනෙන ආකාරයෙන් නිර්මාණයක් කිරීමට සංගීතඥයෝ සැලකිලිමත් වෙති.
2. ස්ථායී ගායනය (Chorus)
බොහෝ විට ගීතය තුල ගායකයා හෝ ගායිකාවගේ ගායනයේ ආරම්භය මෙය වේ.
මෙම ස්ථායී ගායනය ගීතය පුරා නැවත නැවත ගායනය වන අතරම, බොහෝ විට වචන වල සහ තනුවේ වෙනසක් දක්නට නොලැබේ.
වචනයෙන් සහ තනුවෙන් වෙනස් නොවී ගායනය වන බැවින් “ස්ථායී” යන නාමය යොදා ඇත. නැවත නැවත ගායනය වන බැවින් Chorus යයිද කියයි.
ස්ථායී ගායනය දෙවරක් ගායනය වන බව නිතර දක්නට ලැබෙන අතරම, වචනාර්ථයෙන් ගීතයේ සාරාංශය මෙයින් කියවේ.
සරල ගී ස්වර ප්‍රස්තාර - 2 කොටසින් හමුවෙමු