13-වසර නර්තනය (සිංහල)

කතකලි වේශ නිරූපණය

අනෙක් සියලු ම නර්තනාංග වලට වඩා කතකලි නර්තනයෙහි කැපී පෙනෙන වෙනස්කම වන්නේ එකී නර්තනයට ආවේණික වූ වෙස් ගැන්වීමේ ශිල්ප ක්‍රමයයි.අතිශයින් ම සංකිර්ණ වූත්, කලාත්මක වූත්, දුෂ්කර වූත් මෙකී වෙස් ගැන්වීම සදහා ගතවන කාලවේලාව ද බොහෝ ය. ඇතැම් වෙස් ගැන්වීම් සදහා පැය දෙක තුනක කාලයක් ගත වන හෙයින් මෙය අතිශය වෙහෙස කර කටයුත්තක් ලෙස සැලකිය හැකි ය. එසේ වුවත් එමගින් මැවෙන සුන්දරත්වය, වර්ණනා විෂයාක්‍රාන්ත ය. කතකලි වෙස් ගැන්වීම ප්‍රධාන වශයෙන් චරිතාංග පහකට බෙදා දැක්විය හැකි ය.

1. පච්චා

2. කත්ති

3. තාඩි

4. කාරි

5. මිනික්කු

1.පච්චා

මෙකී වෙස් ගැන්වීමේ දී කොළ වර්ණය මූලික කොට ගන්නා හෙයින් “පච්චා” යන නම එය හැදින්වීමට ව්‍යවහාර කෙරෙයි. රජ, දේව සහ යුද්ධ වීරයන්ගේ චරිත පච්චා ක්‍රමය අනුව වෙස් ගන්වන චරිත විශේෂයන් ය. විෂ්ණු, විෂ්ණු අවතාර, ක්‍රිෂ්ණා, රාමා ලෂ්මන්, කුස වැනි චරිත වෙස් ගැන්වීමට මෙම ක්‍රමය යොදා ගනී. මුහුණ කොළ පැහැයෙන් වර්ණවත් කර ඇස් හා ඇහිබැම වටා කළු පැහැය අලේප කිරීමත්, දෙතොල් රත් පැහැ ගන්වා චුට්ට් නම් සුදු පැහැති හාල් පිටි බදාමායෙන් කම්මුල් දෙපස සිට නිකට දක්වා දෙපසට විහිදී ගිය පැතලි තට්ටුවක් මගින් වෙස් මුහුණක ආකෘතියක් ලෙස පෙනෙන සේ මුහුණ සකස් කිරීම මෙහි විශේෂ ලක්ෂණය යි. නළල මත නාසය මුදුනතින් දෙපසට විහිදෙන සේ සුදු ආලේපනය කර ඒ මැදින් තිලකයක් තබනු ලැබේ. මෙසේ මුහුණ වෙස් ගන්වා “කේෂාභරම් කිරීට” ශිර්ෂාභරණය පැළද වීමෙන් වෙස් ගැන්වීම සමාප්ත කෙරෙයි.                                 

2.කත්ති

බලය, අහංකාරය, මානය  හා උද්දච්ච බව ආදී ලක්ෂණයන් මෙන් ම නපුරු බව සංකේතවත් කරන චරිත වෙස් ගැන්වීමට කත්ති ක්‍රමය භාවිතා කරයි. මෙකී චරිතයන් ප්‍රතිපාර්ෂවීය වීර චරිතයන් ලෙස ද හැදින්විය හැකි ය. කත්ති යන්නෙහි වචනාර්ථය වන්නේ “පිහිය” යන අරුතයි. මුහුණෙහි යොදන රේඛා සටහන් වලින් සීමා වූ වර්ණවත් කොටසෙහි හැඩය වක් වූ පිහියක හැඩය ගන්නා හෙයින් උක්ත නාමය මෙම වෙස් ගැන්වීමේ ක්‍රමය හැදින්වීම සදහා යොදාගන්නා බවට මතයක් පවතී. නාසයේ දෙකෙළවරින් රතු පැහැය යොදාගෙන කළ දැති සහිත පිහියක ආකෘතිය ගත් පුළුල් සලකුණු දෙකක් උඩු රැවුලක් මෙන් නළල දෙසට විහිදෙයි. ඇහිබැම වටා ද සුදු පැහැයෙන් බාහිර රේඛා සලකුණු කර ඇත. “චුටි පුවා” නමින් හැදින්වෙන පිටි බෝලයක් නාසයේ යටි කෙළවරෙහි ද, එවැනි තවත් බෝලයක් නළල මැද තිලකයක් ලෙසින් යොදා ඇත.

3.තාඩි

වචනාර්ථය ගත් කළ තාඩි යන්නෙහි අර්ථය “රැවුල” යන්නයි. මෙකි ආකාරයෙන් වෙස් ගන්වනු සදහා රැවුල් යෙදීම සම්ප්‍රදායික ලක්ෂණයක් වන හෙයින් එකී නාමය මෙයට ව්‍යවහාර කරන ලද බව පෙනේ. තාඩි වෙස් ගැන්වීම ප්‍රභේද 3 කි.

1. වෙල්ලප්පු තාඩි හෙවත් සුදු රැවුල්

2. චුවන්නා තාඩි හෙවත් රතු රැවුල්

3. කරුප්පු තාඩි හෙවත් කළු රැවුල්

4.කාරි

මෙම වෙස් ගැන්වීම යොදාගනු ලබන්නේ රාක්ෂ සහ යක්ෂ කාන්තා චරිත හැදින්වීම සදහා ය. රාවණාගේ නැගෙණිය ලෙස සලකනු ලබන සුපර්නිකා වැනි චරිත මෙම ක්‍රමය අනුව වෙස් ගන්වයි. මුහුණ සදහා තද කළු වර්ණය යොදන අතර ඒ මත රතු සහ සුදු පැහැති ලප යොදනු ලැබේ. හිස මතින් කුඩා වී ක්‍රමයෙන් වට ප්‍රමාණය විශාල වන බාල්දියක් හැඩති ‘මුටි’ නම් වූ ශීර්ෂ පලදනාවක් මෙහි යොදා ගැනෙයි.

5.මිනික්කු

මුනිවරුන්, බ්‍රාහ්මනයින්, දූතයන් මෙකී ක්‍රමයට අනුව වෙස් ගන්වන අතර ස්ත්‍රී පුරුෂ දෙපිරිස සදහා ම යොදාගන්නා අතර මුහුණට යොදන වර්ණය රතු මිශ්‍ර කහ පැහැයක් ගනී. නායිකාවන්, දාසීන්, සුන්දර කාන්තාවන් ආදී කොට ඇති කාන්තා චරිත මෙකී ක්‍රමය උපයෝගී කොට ගනී.මිනික්කු වේශ නිරූපණයේ දී ඇහිබැම කාල වර්ණයෙන් අලේප කරනු ලබන අතර තොල් රතු පැහැයක් ගනී. පිරිමි චරිත වල දී රිදී පැහැති “නියපොතු” කට්ටලයක් ද යොදා ගනී.



ලිපිය නිර්මාණය කලේ,
K
kelum priyadarshana


TOP MEMBER

අදාල තවත් ලිපි,



kelum priyadarshana

13-වසර නර්තනය (සිංහල)

අනෙකුත් ලිපි