13-වසර නර්තනය (සිංහල)

තාක්‍ෂණය, විද්‍යාව සහ ජන සන්නිවේදන ජාලයෙහි පරිවර්තනය

 

දේශීය නර්තනයෙහි නව ප්‍රවනතාවයන් කෙරෙහි බලපෑ තවත් ප්‍රධාන සාධකයක් වන්නේ තාක්ෂණික හා විද්‍යාත්මක පරිවර්තනයයි. සාම්ප්‍රදායික රඟමඩලෙහි පන්දම් එළියෙන් නැතහොත් විලක්කු ආලෝකයෙන් එළිමහන් රඟමඩලක රඟ දැක්වූ දේශීය නර්තනය තාක්ෂණික දියුණුවත් සමගම ගෘහස්ත වේදිකාව වෙත සම්ප්‍රේෂණය  විය. නව ආලෝක ශිල්ප ක්‍රම, නව වේදිකා භාවිත ක්‍රම ශිල්ප වඩාත් විධිමත් අංග රචන ක්‍රම ශිල්ප, රංග රටා සහ අවකාශ භාවිත මූලධර්ම යනාදී බොහෝ අංගෝපාංග එයට එක් විය.

ඇතැම් නර්තන රචනා සාම්ප්‍රදායික රංග භූමියෙහි රඟ දක්වන ලද ආකෘතියකට වඩා බොහෝ වෙනස්කම් සහිත ව ප්‍රදර්ශනය වීමට මෙය හේතු සාධකයක් විය. නර්තනය පමණක් නොව කවර කලා මාධ්‍යයක් වුව ද සමාජයේ අවශ්‍යතාවය මත තීරණය වන්නක් බව නොකිවමනා ය. එසේ හෙයින් මෙම තාක්ෂනයේ බලපෑමත් සමග ම ඒ කෙරෙහි රුචි අරුචි බව එහි නව ප්‍රවනතාවයන් කෙරෙහි ඍජු ලෙස ම බලපා ඇති බව පැහැදිලි ය. ඇතැම් විට ආකල්ප වෙනස් කිරීමට හෝ නව ආකල්පයන් නිර්මාණය කිරීමට හෝ විවිධ බලපෑම් ඇති කිරීමට කලාවට හැකි බවට සමාජයෙහි පිළිගැනීමක් ඇත. සමාජයෙහි වෙනස් වීමත් ඒ සමගම ඇති වූ තාක්ෂණයේ පරිවර්තනයත් චින්තන රටාවෙහි වෙනස්කමත් නර්තනය තුළ නව ප්‍රවනතාවක් ඇති වීම කෙරෙහි බලපෑම් ඇති කළ බව පැහැදිලි ය. රුපවාහිනිය සහ සිනමාව වැනි විනෝදාස්වාද මාර්ගයන්ගේ ප්‍රවේශය ද නර්තන කලාවෙහි නව ප්‍රවණතා ගොඩනැගීමෙහි දී බලපෑ ප්‍රධාන සාධකයක් බවට පත් වී ඇත. රුපවාහිනී මාධ්‍ය තුල යොදා ගත් විවිධ තාක්ෂණික ක්‍රම එනම් සමීප රූප, දුරස්ථ රූප, අධිවේගී සහ මන්දවේගී දර්ශන, විවිධ කෝණ, වෙනත් අවස්ථා සමග කාලීන වශයෙන් කරන දෘශ්‍ය සංකලන, ප්‍රතිබිම්බ නිර්මාණ ආදී කොට ඇති විවිධ ක්‍රමවේදයන් මගින් නර්තනයට පෙර නොවූ නැතහොත් සජීවී ලෙස පවත්වා ගත නොහැකි විචිත්‍රත්වයක්  එක් කරන ලදී. එසේ හෙයින් ම රුපවාහිනී නර්තන එයට ම ආවේණික වූ ආකෘතියකින් ඉදිරිපත් කිරීමේ ප්‍රවණතාවයක් මතු විය.
                                    

ගීත අනුව නර්තනය කිරීමේ ප්‍රවණතාවයත්, නිදහස් නර්තන ආරත්, බටහිර චලනයන්ගේ ඍජු බලපෑමත් දේශීය නර්තන කලාව ආක්‍රමණය කිරීමේ මූලාරම්භය වූයේ රුපවාහිනී සහ සිනමා මාධ්‍යයෙහි ප්‍රවේශය බව කිව යුතු ය. එය ආකාර දෙකකින් නැතහොත් ප්‍රවේශයන් දෙකකින් ඉදිරිපත් වූ බව දැකිය හැකි ය. රුපවාහිනී මාධ්‍ය හරහා සාම්ප්‍රදායික නර්තනාංග සදහා ලබා දුන් ඉඩකඩ සාම්ප්‍රදායික නර්තනය සමාජයේ සියලු කොටස් වෙත සම්ප්‍රේශණය විය. මේ සදහා තාක්‍ෂණය බොහෝ සේ බලපෑම් ඇති කිරීම සහ නර්තන ජාලයෙහි පරිවර්තනය ඇතිවීම ද,  එසේ ම සාම්ප්‍රදායික නර්තනයෙන් බැහැර වූ ඇතැම් නර්තනාංග ප්‍රචාරය සදහා ලබා දුන් ඉඩකඩ ප්‍රමාණය සාම්ප්‍රදායික නර්තනාංගයන්ට ලබා දෙන කාලයට සාපේක්ෂ ව වැඩි වීමක් පෙන්නුම් කරන හෙයින් එය, පොදු ජන රුචිය සහ ආකල්ප ඒ අනුව හැඩ ගැසීමට හේතුවක් විය. එසේ හෙයින් දෘශ්‍ය මාධ්‍ය සදහා ගෝචර වන ආකාරයට අනුව නර්තන නිර්මාණය වීමේ ප්‍රවණතාවයක් ඇති විය. එකී ප්‍රවණතාවය රංග වස්ත්‍රභරණ කෙරෙහි ද, නර්තන රචනය සහ අංගහාර වල වෙනස්කම් ඇති කිරීම කෙරෙහි ද මෙතෙක් බෙරය ප්‍රධාන නැතහොත් එකම භාණ්ඩය ලෙස යොදා ගැනීම වෙනුවට විවිධ සංගීත භාණ්ඩයන් එයට එක් වීම කෙරෙහි ද යනාදී වශයෙන් විවිධ ක්ෂේත්‍ර පාදක කොට ගෙන නව ප්‍රවණතා ගොඩ නැගීමට හේතු සාධක විය. මේ ආකාරයෙන් ගැඹුරින් කරුණු අධ්‍යයන කිරීමේ දී අපට වටහා ගත හැකි කරුණක් වන්නේ තාක්ෂණය හා විද්‍යාව නර්තනයට මෙන් ම ජන සන්නිවේදන ජාලයෙහි නව පරිවර්තනයක් සිදු කර ඇති බවයි.                                                                                   


ලිපිය නිර්මාණය කලේ,
K
kelum priyadarshana


TOP MEMBER

අදාල තවත් ලිපි,



kelum priyadarshana

13-වසර නර්තනය (සිංහල)

අනෙකුත් ලිපි