ගිරා සන්දේශය ලියැවී ඇත්තේ ක්රි.ව. 1457 - 1465 දක්වා කාලය අතරතුරය. මෙහි කතුවරයා කවුරුන්දැයි පැහැදිලි නැත. එහෙත් ඔහු විසුවේ ජයවර්ධනපුර මහාවිහාරයක බව විශ්වාස කෙරේ. එලෙසම නතුවරයා ගිරවා නික්මවන්නේ තමන් විසූ වෙහෙරින් වන බැවින් ඔහු සඟනමක් බවද පැහැදිලි වන්නකි. පරෙවි, කෝකිල, සැළලිහිණි ආදී මේ වන විට ලියැවී තිබූ සන්දේශ කාව්යයන් හි දූතයන් ගියේ දෙවියන් වෙතය නැතහොත් දෙවියන්ගෙන් ආසිරි රැගෙන කාව්ය නායකයන් වෙතය. එහෙත් මෙම සන්දේශ කාව්යයේ දූතයා වන ගිරවා යනුයේ තොටගමුවේ විජයබා පිරිවෙන්පති වෙතය. ශ්රී සංඝබෝධිවිජයබා නමින් මේ ග්රන්ථයෙහි දැක්වෙන මෙම පිරිවෙන්පති, රහල් හිමියන් බව පිළිගෙන ඇත.ගිරා සන්දේශය කවියාගේ කවිත්වය හා ප්රතිභාව පිළිබඳ අදහසක් ඇතිකර ගත හැක්කේ එය අනෙකුත් සන්දේශ කාව්යයන් හා සසඳා බලන කල්හිය. දූතයා වර්ණනා කිරීමේදී බොහෝ සන්දේශ කාව්යවල සමාන ලක්ෂණ දක්නට ලැබේ. මෙහිදී දූතයාගේ බාහිර රූප ශෝභාව මෙන්ම ඔහුගේ ප්රඥාවන්ත බවද විස්තර කෙරේ.
ඉඳුදුනු පැහැදිනූ තුනු සිරිනූ’ල මමිතුර
ළඳ සොඳ අදරවැනි තගෙ තෙල තුඩ දුටුව
ලොබ බැඳ අදර නොකෙරෙති කව්රු සතුටුව
(ගිරා සන්දේශය)
පුල්මල් කෙසරු මෙන් රන්වනි තෙල සරණ යුග
සපුමල් කැලෙව් තුඬ මද රතිනි මනහර
නිලූපුල් දෙලෙව් සම්වනි පිය පිය පතර
මලින් කළ රූ එව්
එබැවින් නුබින් එන වර
(සැලලිහිණි සන්දේශය)
ඉහත දැක්වෙන්නේ ගිරා ,සැළලිහිණි සන්දේශ කවීන් තම දූතයා වර්ණනා කළ අයුරුයි. ගිරා කවියා සිය දුතයාගේ ශරීර පැහැය දේදුන්නකට උපමා කරයි. එසේම ගිරවාගේ තුඬ ළඳකගේ රත් පැහැති දෙතොලට සමාන කරයි. සැලලිහිණි සන්දේශ කවියා සිය දූතයා දකින්නේ මලින් කළ රූපයක් ලෙසය. තුඩ සපුමල් කැකුලක් වැනිය. පියාපත් මහනෙල් මල් පොකුරක් මෙනි. දෙපා මල් රේණුමෙන් කහ පැහැතිය.ගිරා කවියා තම දූතයාගේ සිරුරු පැහැය දේදුන්නකට සරියැයි කීම කාව්යෝචිතය. ගිරවාගේ ශරීරයේ රඹ පැහැය මෙන්ම තුෙඬ් රත් පැහැයද ඉන් ධ්වනික වන හෙයිනි. දූතයා වර්ණනා කිරීමේදී වඩාත්ම රසවත් උපමා රූපක යොදාගෙන ඇත්තේ සැලලිහිණි කවියා බව සුපැහැදිළිය.පුර වැනුම් වලදී සියලූම සන්දේශ කවීන් අනුගමනය කර ඇත්තේ එකම මාර්ගයකි. එහිදී නගරයේ ප්රාකාරය දිය අගල, පුරඟනන් -මන්දිර මෙන්ම එහි ශ්රී විභූතියද ඔවුනගේ වර්ණනාවට ලක් වී ඇත.
බඹා පළමුවෙන් ලොව පමණ නොදැන මා
අඹා තිබූ සක්වල ගිරි සෙ මෙතැන මා
පබා විහිදී පවුරට නත දරණ යො මා
නොබා කියමි නොසරිද යන්තමක් ත මා
එන සඳ පෙර මෙපුර කිරිසිදු දුව තුටුව
සිඳු රද විසින් ඇය රැුකවරණට කැටුව
පිරිසිඳ එවූ සිඳු කඩ’කෙව් නොව පටුව
ඇමසඳ පිරුණු දිය’ගල ලොබ වෙයි දුටුව
(ගිරා සන්දේශය)
සමනොළ මුහුළ මහ සමුදුර මෙවුල් බර
සුලකළ පූවල ලකඟන සිරි යොවුන් වර
තරකළ විසල් වාසල් යතුරු මෙ නුවර
බැඳහල රුවන් තනපට කියෙලිය පවුර
(සැලලිහිණි සන්දේශය)
සන්දේශ කාව්යයන් කීපයක ජයවර්ධනපුර දිය අගල සහ නගර ප්රාකාරය විස්තර කළ ආකාරයයි. ගිරා සන්දේශ කවියා නගර ප්රාකාරය ගැන කරන වර්ණනය ගතානුගතික කවි සමයෙන් ගත් උපමා වලින් යුක්තය. ලෝකය මවන ලද්දේ මහා බ්රාහ්මයා විසිනි. ජයවර්ධනපුර පවුර ඔහු ලොව වටා මැවූ චක්රවාට පර්වත වළල්ලට සමානය. මෙයින් කවියා අදහස් කළේ පවුරේ විශාලත්වය හා ශක්තිය පෙන්නුම් කිරීමය. කවියා මෙම පවුර අනන්ත නාග රාජයාගේ දරණ වළල්ලටද සමාන කරයි. ගිරා සන්දේශ කවියා දිය අගල ගැන කරනා වර්ණනය ඔහුගේ කවිත්වය විදහා දක්වයි. මෙම පද්යයෙන් දිය අගලේ ගැඹුර හා විශාලත්වය පමණක් නොව නගරයේ සෞභාග්යය පිළිබඳවද අදහසක්ද පාඨකයා තුළ දනවයි. කිරි මුහුදින් පහළ වූ ශ්රීයාකාන්තාව ජයවර්ධනපුරයට පැමිණි බව කීම සැප සම්පතින් එම නගරය පිරී ඇති බව පැවසීමකි. එසේ පැමිණි ඇයගේ ආරක්ෂාවට කිරි මුහුදින් කොටසක්ද එවූ බව කවියා පවසයි. දිය අගල එසේ එවූ මුහුදු කොටසයි. දිය අගල පිළිබඳ ගිරාවේ එන මැනුම සුන්දරත්වය මෙන්ම නගරයේ ආරක්ෂාව ගැනද හැඟීමක් අප තුළ ඇති කරයි. සැලළිහිණි කවියා නගර ප්රාකාරය ලංකාව නමැති කාන්තාව ඇද සිටිනා තනපටකට උපමා කිරීම එතරම් උචිත නැත. .
පුරඟනන් වර්ණනා කිරීමේදී ද අපේ සන්දේශ කවීන් පැරැණි උපමා රූපක අතර සිරවී ඇත. සෑම ළඳකගේම මුහුණු සඳ හෝ නෙළුම් මල් වැනිය. දෙනෙත්, මහනෙල් මල්වලට සමානය. පියයුරු හංසයන් සේය. සැලළිහිණි කවියා සිසිවන වුවන යන පද්යයෙන් මෙම උපමා රූපක සමූහයම ගෙනහැර දක්වයි. ගිරා කවියා දකින පුරඟනන්ද දෙවඟනන්ට සමානය. මතු මහල්හී සිටින මෙම ලලනාවෝ පබළු,මුතු,මැණික් ආදියෙන් සැරසී සිටිති. ඔවුන් පර්වත බෑවුමක ඇති මල්-ගෙඩි-දළු ආදියෙන් යුක්ත රන් වැල් වැනිය. කියඹු වැල් මුතු පට හා ගොතා බැඳ මඳ සිනානගමින් රූපශ්රීය යාන්තමට බැහැරට පෙනෙන සේ පුරඟනන් සිටින බව ගිරා කවියා පවසයි. මෙය අන්ය සන්දේශ කාව්ය හා සසඳා බලන කල්හී සරල බවක් සහිත වර්ණනයකි.සන්දේශ කාව්ය රැසක දියකෙලි වැනුම් ඇතුළත්ව ඇත. හංස සන්දේශයේ එන දියකෙළි වැනුම සමග සසඳා බලන කල්හී ගිරාවේ දිය කෙළි වැනුම කිසිදු ප්රතිභාවක් මතු නොකරයි. ගතානුගතික කවි සමයට වහල් වීම නිසා ගිරාවේ දියකෙළි වැනුම නීරස නිර්මාණයක් වී ඇත.
ගිරා සන්දේශයේ එන දීර්ඝ මාර්ග වර්ණනා පද්යයන් අතර කවියාගේ ප්රතිභාව ඉස්මතු වී පෙනෙන ස්ථානද කීපයක් අපට හමුවේ. මොරටු එලිය පසුකරන ගිරවාට පානදුරේ තොටුපළේ දී දක්නට ලැබෙන දර්ශනය පද්යයට නගන්නේ අපූර්ව චිත්ත රූපයක් මතුවෙන අයුරිනි.
සබඳ මඳක් තැන් ගිය මග දකුණු පසේ
විහිද තිබෙන වලූබර පොල් උයන් රැුසේ
නොමඳ තරග පහරට බියව නොකම සේ
මුහුද කැලූම් රැුස්වූ වැන්න වෙරළසේ
නීලඹරේ වැජඹෙන ගන කුළු ලෙසට
මුදු තෙරේ යන එන නැව් පෙනය තට
පෑර තරේ පියදුක් නොසිතා ගතට
පානදුරේ තොටි’නෙතරව යව එපිට
පානදුරේ මුහුද ආසන්නයට පැමිණි ගිරවාගේ සිත චමත්කාරයෙන් පිරී යයි. නිල්වන් සයුරේ රැළි ඈත සිට පෙරළි වෙරලට එයි. නිරන්තරයෙන් සිදුවන මේ කි්රයාවලියේදී මුහුදේ නිල් පැහැය වෙරළට පැමිණ කැටි ගැසුණා සේ පොල්වතු යාය දිස්වේ. මේ ගිරා කවියා මවන අපූර්ව කාව්යමය චිත්රයකි. ඈත සිතිජය ආසන්නයේ ගමන් කරන නැව් නිල් අඹරේ පාවී යන වලාකුළු වැනිය. මෙයද සජීවි බවක් දනවන අපූර්ව කාව්යමය සිතුවමකි.ගිරා සන්දේශයේ එන සැදැ වැනුම්වලද ප්රතිභාන්විත කවිත්වයක සලකුණු මතුව පෙනේ.
පබඳ දිලෙන දිනමිණ මැද මිණිනි බඳ
නොමද වොරැුදි සඳවෙල අබරණ පැළඳ
පැහැද සොබන පැළ දිග’ඟන දුට සබඳ
එසඳ සිතෙයි තුඬ රසිනු’දුල කගෙ ළඳ
පැළදිග අහසනැමැති කාන්තාව සන්ධ්යාවලා නැමති අබරණ පැළඳ සිටී. සූර්යයා ඒ අබරණ මැද පිහිටි මැණිකකි. මේ සිරිය දක්නා ගිරවාට සිය ගිරවිය සිහිපත්වන බව කවියා ප්රකාශ කරයි. මෙය අපූරු කවි කල්පනයකි.
තුරු වැළ උදුල සඳරස් පිරි නුබ ගැබද
බිඟුරළ මුමන පිරිපුල්මල් වන හිසද
ලෙල රළ වතල පෙණ පිඩු සැදි සමුදුරද
මනදොළ වඩා දැක දැක උන් සඳ සබඳ
මෙය චමත්කාරජනක පරිසර වර්ණනයකි. මෙහිදී ගිරා කවියාගේ කවිත්වය මතුවී පෙනේ. අහසත් , පොළොවත් , සයුරත් එකම මල් යායකැයි කවියා පවසයි. නිල් අහස් තලයේ තාරකාවෝ දිදුලති. පහළ නිල්වන් වන පෙත කුසුමින් ගැවසී ඇත. මුහුද සුදු පෙණකැටිවලින් ආකුලවී තිබේ. ලොව එකම මල් යායක් මෙනි. මෙහිදී ගිරා කවියාගේ ස්වාධීන කවිත්වයක සලකුණු දැකිය හැකිය.
තිවට කසුබු ඉසි සුරගුරු මෙන් සුබඳ
ලොවට කලන ඒ යතිසඳුගේ නොමඳ
සුමට වදන්දුල විසිතුරු මහ මුහුද
දසට පොරණ රළ පතරින් පිරි නිබද
(ගිරා සන්දේශය)
ගිරාවෙන් සහ හංසයෙන් එකල අපරට තිබූ ප්රමුඛ පෙලේ අධ්යාපන ආයතන දෙකක් ගැන අගනා තොරතුරු හෙළිවේ. සමකාලීන අධ්යාපනය පිළිබඳ අවබෝධයක් ලැබීමට මෙම සන්දේශ කදිම මූලාශ්ර දෙකකි. විජයබා පිරිවෙන් වැනුම සහ පද්මාවතී පිරිවෙන් වැනුම කියවීමෙන් එදා අධ්යාපනික විෂය මාලාව ගැන මනා අවබෝධයක් ලබාගත හැක. පද්මාවතී පිරිවෙනට වඩා පුලූල් විෂය මාලාවක් විජයබා පිරිවෙනේ උගන්වා තිබේ. වෛද්ය ශාස්ත්රය,ජ්යෝතිෂ්ශාස්ත්රය වේදය,අර්ථ ශාස්ත්රය සහ පාලි,දෙමළ,සංස්කෘත යන භාෂාවන්ද එහි ඉගැන්වූ බව ගිරා සන්දේශය කියයි.මේවැනි දෑ ඔස්සේ ගිරා සංදේශ කතුගේ කවිත්වයේ ඇති ප්රතිභාව තවදුරටත් මොනවට ස්ථුට කරන්න ද?