බහු මාධ්‍ය තාක්ෂණය යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණය - සාමාන්‍යපෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

බහු මාධ්‍ය තාක්ෂණය යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණය

බහු මාධ්‍ය තාක්ෂණය යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණය

1 වන කොටස

වෙබ් අඩවි භාවිතය (Application of Web Site)

වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ අවශ්‍යතා

තොරතුරු සන්නිවේදනය (Information Communication)

  • එනම් අන්තර්ජාල පරිශීලක වෙත අධ්‍යාපනික, සෞඛ්‍ය ආදී වශයෙන් විවිධ තොරතුරු සන්නිවේදනය වෙනුවෙන් සකස් කල වෙබ් අඩවි වේ. ( www.myschool.lk, www.wikipedia.org ආදී වෙබ් අඩවි ඒ සඳහා දැක්විය හැකි නිදර්ශන වේ.)

අන්තර්ජාල වෙළදාම (E Commerce)

  • අන්තර්ජාලය මගින් භාණ්ඩ හා සේවා අළෙවි කරන වෙබ් අඩවි මේ මගින් අදහස් වේ. (www.ebay.com, www.amazon.com යන වෙබ් අඩවි ඒ සඳහා දැක්විය හැකි හොදම උදාහරණ වේ.)

විනෝදාස්වාදය (Entertainment)

  • එනම්, ගීත, ටෙලිනාට්‍ය, චිත්‍රපට ආදීය ආස්වාදනය කිරීම හෝ බාගත කරගැනීම (Download), විනෝද ක්‍රීඩා (Game) වල යෙදීම, ගුවන් විදුලියට සවන්දීම හෝ රූපවාහිනිය නැරබීම ආදී වශයෙන් විනෝදාස්වාදය ලබා ගත හැකි වෙබ් අඩවි වේ.

ප්‍රචාරණය (Advertising)

  • විවිධ ආයතන නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා පිළිබද විස්තර අන් අය වෙත ප්‍රදර්ශනය කිරීම සඳහා කටයුතු කරන වෙබ් අඩවි මේ මගින් අදහස් වේ.

ප්‍රවෘත්ති බෙදාහැරීම (News)

  • මෙවැනි වෙබ් අඩවි මගින් ඉතා ඉක්මනින් බහු මාධ්‍ය ආකාරයට ප්‍රවෘත්ති දෙයි. (www.hirunews.lk, www.itnnews.lk වෙනි වෙබ් අඩවි වේ සඳහා නිදසුන් වේ.)

සමාජ සම්බන්දතා ගොඩනැගීම (Social Media)

  • රැකියාව , අධ්‍යාපන මට්ටම, රිචිකත්වය හෝ වෙනත් හේතු මත විවිධ සමාජ කණ්ඩායම් අතර සම්බන්ධතා ගොඩනැගීම සහ ඒවා පවත්වාගෙන යාමට පහසුකම් සැලැස්වීම මෙම වෙබ් අඩවි මගින් සිදු කෙරෙන කාර්යයන් වේ. (www.facebook.com, www.instagram.com ආදී වෙබ් අඩවි මේ සඳහා උදාහරණ වේ.)

සෙවුම් අවශ්‍යතා (Search Engine)

  • වචනයක් හෝ වාක්‍ය කාණ්ඩයක් යතුරක් ලෙස භාවිත කරමින් ලෝක ව්‍යාප්ත ජාලය තුලින් අවශ්‍ය තොරතුරු සොයා ගැනීමට පහසුකම් සපයන වෙබ් අඩවි වන අතර, මේවා යන්ත්‍ර (Search Engine) යනුවෙන් හදුන්වයි. (www.google.com, www.bing.com මේ සඳහා දැක්විය හැකි හොදම නිදසුන් වේ.)

 

පෞද්ගලික අවශ්‍යතා  (Personal)

  • දේශපාලකයින්, ලේඛකයන් වැනි ප්‍රසිද්ධ පුද්ගලයන් හෝ පුද්ගල කණ්ඩායම් ඔවුන්ගේ තොරතුරු අන් අය වෙත සන්නිවේදනය කිරීමට භාවිත කරන වෙබ් අඩවි මේ මගින් අදහස් වේ. (www.president.gov.lk වැනි වෙබ් අඩවි මේ සඳහා නිදසුන් වේ.)

ග්‍රාහක කණ්ඩායම් විශ්ලේෂණය

            ග්‍රහකයන් යනුවෙන් හදුන්වන්නේ වෙබ් අඩවියකට ප්‍රවේශ වී, එම වෙබ් අඩවිය පරිශීලනය කරන පුද්ගලයින් ය. නිදර්ශන වශයෙන් ලෝකය පුරා විසිරී සිටින www.google.com වෙබ් අඩවිය භාවිත කරන පුද්ගලයන් google වෙබ් අඩවියේ ග්‍රාහකයන් ලෙස හැදින්විය හැකිය.

වෙබ් අඩවියක් නිර්මාණයේදී ග්‍රාහක විවිධත්වය හඳුනා ගත හැකි ආකාර කිහිපයක් පහත දැක්වේ.

  • භාෂාව හා සංස්කෘතිය
  • වයස් මට්ටම්
  • රුචිකත්වය
  • ස්ත්‍රී - පුරුෂ බව
  • අධ්‍යාපනික මට්ටම

ඒ අනුව ග්‍රාහක කණ්ඩායම් විශ්ලේෂණය වෙනුවෙන් අදහස් කෙරෙන්නේ ඉලක්ක ගත ග්‍රාහක කණ්ඩායම පිළිබඳව හොඳින් විමසා බලා ඔවුන් සතු විශේෂ ලක්ෂණ සහ වෙනස්කම් හඳුනා ගැනීමයි.

මේ සඳහා අනුගමනය කළ හැකි ක්‍රම දෙකක් පහත සඳහන් වේ.

  • ඉලක්ක ගත ග්‍රාහකයන් පිළිබද ව අධ්‍යනයක යෙදීම.
  • මෙවැනිම වූ වෙනත් වෙබ් අඩවි පිළිබද විමසා බැලීම.

වෙබ් අඩවියක අන්තර්ගතය (Web Content)

            වෙබ් අඩවියක අන්තර්ගතය යනුවෙන් හදුන්වන්නේ ඒ තුළ ඇති ද්‍රව්‍ය දෘශ්‍ය තොරතුරු සහ සේවා සියල්ල ය. එම අන්තර්ගතය තෝරා ගත යුතු වන්නේ වෙබ් අඩවිය නිර්මාණයට තුඩ දුන් අවශ්‍යතාව / අවශ්‍යතා සහ ග්‍රාහක කණ්ඩායම් විශ්ලේෂණයේදී හදුනා ගත් ග්‍රාහක අවශ්‍යතා සැලකිල්ලට ගනිමිනි.

            එමෙන්ම ඒ තුල ග්‍රාහකයාට සන්නිවේදනය කල යුතු සියලු තොරතුරු මෙන්ම වෙබ් අඩවිය පරිශීලනය පහසු කිරීම සඳහා ග්‍රාහකයා වෙත සැපයිය යිතු සේවාවන්ද අන්තර්ගත කළ යුතුය. විවධ වෙබ් අඩවි පරිශීලනයේදී ඒවායේ අන්තර්ගතය තුළ විවිධ වර්ගයේ තොරතුරු සහ සේවා හමුවන අතර,

ඉන් කිහිපයක් පහත පරිදි දැක්විය හැකිය.

  • විවිධ පාඨ (tests) - කෙටි විස්තර ලෙස දක්වා ඇති තොරතුරු.
  • රූප - කැමරාවකින් ලබාගත් චායාරූප, පැසුරු සිත්තම් (Clip Arts), සුපරීක්ශකයක් (Scanner) ආධාරයෙන් පරිගණකයට ඇතුළු කරගත් අතින් අදින ලද රූප වැනි දෑ.
  • ශබ්ද - හඬ පට (Voice Clip), ගීත ආදිය.
  • වීඩියෝ - වීඩියෝ පට (Video Clip).
  • සෙවුම් පහසුකම්.
  • දැන්වීම්.
  • සජීවීකරණය (Animation).
  • ප්‍රකාශන හිමිකම (CopyRight) හා යාවත්කාලීන බව පිළිබද තොරතුරු.
  • වෙනත් ලේඛන, රූප, ද්‍රව්‍ය දෘශ්‍ය ගොනු, සමාජ වෙබ් අඩවි ආදිය සඳහා වූ අධිසංධාන.
  • වෙබ් අඩවිය පරිශීලනයට අදාළ ඇතැම් මෘදුකාංග අකුරු වර්ග බාගත කරගැනීමේ පහසුකම්.

2 වන කොටසින් හමුවෙමු.

ඔබට ජය..