කංකාරිය තුළ දක්නට ලැබෙන සාමුහිකත්වය
අද්යතන සමාජයෙන් ගිලිහී යන ඇතැම් වැදගත් චාරිත්ර සමූහයක් කංකාරියේ අන්තර්ගත වේ. මිනිසුන්ගේ සිරිත් විරිත් හා විශ්වාස එකිනෙකින් වෙන් කළ නොහැකි ලෙස බැදී පවත්නා සේම මිනිසුන් ද එකිනෙකා හා සම්බන්ධිතයි. කංකාරි මඩුවක් කිරීම සඳහා විශාල ශ්රම දායකත්වයක් මෙන් ම ද්රව්ය ආධාර විශාල ප්රමාණයක් ද අවශ්ය වේ. අදවන විට ශ්රම දායකත්වය පවා මුදලට යට වී ඇති බව නොකියාම බැරිය.වෙස් ඇදුම ජනප්රිය වුවත් කංකාරිය රැක ගැනීමට වර්තමානයේ සිටින්නේ අතලොස්සකි. නමුත් අතීතයේ එය එසේ නොවෙයි. මඩුව සැරසීමේ සිට මඩුව අවසන් කිරීම දක්වා අවශ්ය උදවු උපකාර නොමිලේ කර දීමට ජනී ජනයා එක්රැස් විය. කංකාරියට අවශ්ය ද්රව්ය තම වත්ත පිටියේ තියෙනවා නම් ඒවා ලබා දී දේව ආශිර්වාදයත් නොඅඩුව ලබා ගැනීමට ජනයා උත්සුක වීය. ‘කෙසෙල් ගසක් මමත් දෙනවා........... මම අවශ්ය ගොක් අතු ටික දෙන්නම්...........’ කියමින් සාමූහිකත්වය පෙන්වයි. භාණ්ඩ වලින් ද්රව්ය මඟින් උපකාර කරන්නට නොහැකී වූ අය කංකාරියට ශ්රමය ලබා දේ. ‘මම ඔය වතුරටික ලිපේ තියලා තේ ටික හදලා දෙන්නම්..........’, ‘කෙසෙල් ගස් ටික අපි අරන් එන්නන්.....’ කියමින් මෙසේ උත්සුක වේ. භවභෝග, ධනධාන්ය, නිරෝගී බව, විනෝදය............. අනූන මඩුවක් බවට එය පත්කර ගනී. මෙය එක දිනකින් සූදානම් වන දෙයක් නොවේ. දින ගණනාවක් තිස්සේ මහන්සි වී සියළු දෙනාගේ සාමූහිකත්වයක ප්රතිඵලයක්.
“අත් වළලු තබාලා රඟ බිම අඩි ගසාලා
යක් දෙහෙනි නුඹලා නොයිදු යහනට එපිටු පාලා
වැකුණු කුණු කිල්ලේ නොකියති ගිය ලොල්ලේ
අල්ලේ පනල්ලේ කවක් නොකියති ඔබට කල්ලේ”
එහි ඇතැම් අවස්ථාවක ද්රව්ය හුවමාරුවක් සිදු වේ. අපි කවුරුන්ගේ හෝ නිවසකට යන විට යම්කිසි කැවිලි වර්ගයක් රැගෙන යාම සිරිතක් නේද? ඒ වගේම තමයි කංකාරිය නැරඹීමට එන පුද්ගලයන් කංකාරිය පවත්වන දිනයේ දී එම නිවසේ අවශ්යතාවන්ට සරිලන කිසියම් පාරිභෝගික වස්තුවක් හෝ භාණ්ඩයක් ගෙන ඒමට අමතක නොකරයි. එමෙන්ම අයිලයේ හා යක්ගෙහි තබන ලඳ හාල්, එළවළු, පොල්, කරවල ආදිය කංකාරිය අවසානයේ දී ප්රධාන යක්දෙස්සා වෙත ප්රධානය කරනු ලැබේ. ගබඩා කොල්ලය නැමති පෙළපාලියේ දී කංකාරි මඩුව සරසා ඇති සියලුම පලතුරු නරඹන්නන් වෙත භුක්ති විදීමට අවස්ථාව සලසා දෙන අතර ගබඩාවේ ඇති සියළුම ඉතුරු වූ ද්රව්ය ප්රධාන යක්දෙස්සා සහ සහයකයින් බෙදා ගනු ලැබේ. ඉහත ක්රියාවලියෙන් වැඩවසම් සමාජයේ පැවති පාරිභෝගික ද්රව්ය හුවමාරු කර ගැනීමේ වෘත්තමය රටාව හා සමාජ සංවිධානය පෙන්නුම් කරයි.
කංකාරී මඩුවේ සිදුකරන නර්තනයන්,නාට්යයන්, ගායනයන්,වාදනයන් සාමූහිකත්වයක් ගනී. සඟමහළු පිලිවෙලට එනම් වැඩිමහළු අයගේ සිට කුඩා දරුවා දක්වා එකිනෙකාගෙන් ඉටුවිය යුතු යුතුකම් හා වගකීම් මනාව තේරුම් ගෙන තම කාර්යය මනාව කිරීමට ඔවුන් බැදී සිටී. අවශ්ය තැන දී සුදුස්සාට සුදුසු තැන ලබා දෙන අතර අඩුපාඩුවක් වූ තැන එය එතැන දීම නිවැරදි කිරීම ද සිදු කරයි. උදාහරණයක් ලෙස මගුල් බෙර වාදනයෙන් පසු අත්යා බෙර වාදනය සිදු වේ. මින් දක්ෂතාව වර්ධනය වනවා පමණක් නොව අඩුපාඩු නිවැරෙදි වීමක් ද සිදු වෙනවා. තවද එකිනෙකා අතර වෙස් ඇදුම් හුවමාරු කර ගැනීම, වාද්ය භාණ්ඩය හුවමාරු කර ගැනීමෙන් ද සාමූහිකත්වය පිළිඹිබු විය. නවකයන්ගේ ඉගෙනුම් මධ්යස්ථානයක් බවට ද කංකාරිමඩුව පත් වේ.
සමාජ ආර්ථික ක්රමයේ බලපෑම මත විනාශ වී යාමේ ප්රබල තර්ජනයකට ශාන්තිකර්ම මුහුණ පා සිටී. තව ද විදේශිය නර්තන කරපින්නාගෙන ඇති බවක් ද පෙනෙන්නට තිබේ. දේශීය දේ රැක ගැනීමට සියලු දෙනා සාමූහික වීම ද ඉතා වැදගත් බවත් කීමට කැමතී.