ජන කවි 4 - සාමාන්‍යපෙළ නර්තනය (සිංහල)

ජන කවි 4

කරත්ත කවි

 ජන කවි බොහෝමයක් ජන්මය ලැබුවේ තමාගේ අද්දැකීම් පාදක කර ගනිමිනි. කරත්ත කවිය බිහිවීම සිදු වූයේද ඒ ආකාරයෙන්මය. කරත්ත අත්දැකීම තම ජීවනොපාය කරගත් පුද්ගලයෝ තමාට සිදුවන සිදුවීම් කවියට නැගූහ. ගමනාගමනය සදහාද භාණ්ඩ ප්‍රවාහනය සදහාද එකල ජනයා කරත්තය භාවිතා කළහ. බර කරත්ය, බර බාගය, තිරික්කලය, බක්කි කරත්තය, රේස් කරත්තය ආදී වශයෙන් කරත්ත වර්ග තිබුණු අතර ඒවා බොහෝ විට භාවිතා කරනු ලැබුවේ ගමනා ගමන කටයුතු සදහාය. වෙළද කටයුතු සදහා භාවිතා කරනු ලැබුවේ ගැල්ය. භාණ්ඩ පටවාගත් ගැල් කරත්ත දවස් ගණන්, සති ගණන්, මාස ගණන් ගම් දනව් පුරා සැරිසරයි. එම නිසා මෙම කරත්ත ජීවිතය බොහෝ දුෂ්කර කාර්යක් වූවා සේම පීඩිත ද වූයේය.    

 

දුප්පත් කමට ගොන් බැඳ ගෙන දක්කනවා 

කන්ටත් නැතුව දිව රෑ අපි වෙහෙසෙනවා 

ගොන්ටත් නොයෙක් වද දී අපි ගෙනියනවා 

දැන්වත් දුකට දෙවියෝ පිහිටක් වෙනවා 

 

කළුගල් තලාලයි පාරට දමන්නේ

එම ගල් පෑගිලයි ගොං කුර ගෙවෙන්නේ

ගොනා නොවෙයි හරකයි බර අදින්නේ

කිරිගල් පොත්ත කන්දයි මේ නගින්නේ

 

වැස්‌සක්‌ වසින්නා වැසි කළු ගලන්නා

ගොනා නොයන්නා ගෝනිය තෙමෙන්නා

පතුල ලිහන්නා බඩු බිම ඇනෙන්නා

මෙදා මගේ තවලම රිස්‌ව යන්නා

 

තණ්ඩලේ දෙන්නා දෙපොලේ දක්කනවා 

කටු කැලේ ගාලේ නොලිහා වද දෙනවා 

හපුතලේ කන්ද දැකලා බඩ දනවා 

පවු කල ගොනෝ ඇදපන් හපුතල් යනවා

 

වයිර ගොනා දණ ගහලා අදින කොට

මයිල ගොනා පැන්නේ පස්‌සට හොරට

මොකද කරන්නේ පූරුවේ කළ පවට

ඇදපන් ගොනෝ විගසින් ගාල ගාවට

 

කඳු නැගලා දෙපයට සවි තැන ඉතිනේ

බර ඇදලා ඉලදඬු පොඩිවිය තදිනේ

දුක සිතිලා ගම නෑයෝ මතක්වුනේ

ගම ඉඳලා වත් පණයන්න නොලැබුනේ

 

සසඳ සසඳ සඳ පානේ අපි යනවා

මක්‌කොලි බඳට ගොන් බානක්‌ බැඳ යනවා

සකිය සඟව්වට රෝදය කැරකෙනවා

දත් කැකුළට නාරම්මල පසුවෙනවා

 

අහංගමද කතළුව ගොයියා වානේ

මිදිගම කුඹල්ගම මාතෙයියා පොකුණ

වැලිගම පැළදමද පොල් අතු මෝදරින

මිනී කන්ද කත සිටිනා නවාතැන

 

එගොඩ ගොඩේ නා කණුවේ බැන්ද ගොනා 

මෙගොඩ ගොඩේ සපු කණුවේ බැන්ද ගොනා 

දෙගොඩතලා යන වතුරට පැන්න ගොනා 

අපොයි මගේ රන්මුතු වල්ලියා ගොනා 

 

දුක්‌වෙනවා නෙතට නිදිමත වී බොහොම

දක්‌කනවා යන්න පසුකර හේන ගම

සිත් වෙනවා දැන් ඇලවෙන්න මෙහෙම

බත් කනවා උයාගෙන හවස රයිගම

 

අම්බලන් පෝරුපිට සිටිනා ළදුනේ

රංසලං ලෙසට ගෝමර පිට දිලුනේ

මං බොලං එහෙම දේකට නැත අගුනේ

රං දොඹං පිටත් වෙනකොට හද මුදුනේ

 

බතල කන්ට බැරි බතලේ ගල කන්ද

අලට කන්ට බැරි අලගලේ කන්ද

හූනට කන්ට බැරි හුන්නස්ගිරි කන්ද

මෙකඳු තුනට නායක සමණල කන්ද

 

උපන්නාට මේ ලොව වැනෙනවා විනා

ලොව සිරිතට අඹු දරු රකිනවා විනා

රූපේ අරන් පාපේ ගෙවනවා විනා

ගෙන යන දෙයක් නැත ණය ගෙවනවා විනා

 

එගොඩ ගොඩෙ නා කණුවේ බැන්ද ගොනා

මෙගොඩ ගෙඩේ සපු කනුවේ බැන්ද ගොනා

දෙගොඩතලා යන වතුරට පැන්න ගොනා

අනේ මගේ රන්මුතු වල්ලියා ගොනා

 

මාවැලිගගේ මා බැසලා නානකොට

සුරපුර ලියක් බැස්සයි ‍ගඟ අද්දරට

‍කරේ තිබුණු මුතු දෙපොටේ ලස්සනට

අරන් යන්න සිතුනයි අඟුලෙන් ගම්ට

 

බර වැඩියෙන් පටවා කළ වරදට

තඩිබාල දැක්කුවෙ ගොන් ඉස්සරට

වුණ මෙමුලා කියමිද මම දැන් කාට

සුදු වයිරෝ ඇදපන් ගාල ගාවට 

 

රිදී කලේ රන් කොතලේ බීපු මට

මැටි බදුනේ දිය නොලැබෙයි පිපාසෙට

කොට්ට මෙට්ට ඇද ඇතිරිලි ඇති අපට

මෙහෙමත් කළ යාද පලුවීර ගස්යට

 

බැදල වියමාන ගොන් දෙන්නගෙ කරට

මැනල ගනිමු බෝතලයක් සිලිමකට

බෙදල බොමුව හැමදෙන එක්ක හරියට

කොතලාවල පසුව යමි මිතුර විහගට

 

රෝද දෙකට තෙල් දාපන් කැරකෙන්ට

‍ගොන් බානට මිණි බැදපන් නද දෙන්ට

අං යුවලට කොපු දාපන් දිලිසෙන්න

දක්කාපං අපි හපුතල් යන්න

 

බණේ කොහො කීවත් පව් පලදෙනවා

කටු ගැලේ ගාල නොලිහ වද දෙනවා

හපුතලේ කන්ද දැකල බඩ යනවා

පවුකල ගොනෝ ඇදපන් හපුතල් යනවා

 

කන්දේ කකා ලන්දේ යන බෝසත්තු

අත මිණි බැඳ පය මිණි බැඳ ජය ගත්තු

රාජ සපන් සොඳ කරුණා ලැ බ ගත්තු

වලවේ ගඟට බැස්සොය ගෝමර ඇත්තු