තාරකා - සාමාන්‍යපෙළ භූගෝල විද්‍යාව

තාරකා

තාරකා

රාත්‍රි කාලයට අහස දෙස බැලූ විට ග්‍රහ ලෝක හා තාරකා අපට වෙන් වෙන් ව හඳුනාගත හැක. ග්‍රහ ලෝක බබළමින් නිශ්චලව පෙනේ. තාරකා චංචල වෙමින් බබළයි. සූර්යයා ද තාරකාවකි.  එහෙත් එය අපට කිට්ටුව එහි බලයට අප යටත් කර ගෙන සිටින හෙයින් අපි එයට තාරකාවක් යැයි නොකියමු. කෙසේ වුවත් තමාගේ ආලෝකයෙන් බබළයි. සූර්යයා මෙන්ම අනෙකුත් තාරකාවෝද තම තමන්ගේ ආලෝකයෙන් බබළන්නාහ. ඒවා සූර්යයාට වඩා බොහෝ දුරින් පිහිටා ඇත. මේවායේ දුර ප්‍රමාණය කොපමණ දැයි කියතොත් ඒවායේ දුර මැනෙන්නේ ආලෝක වර්ෂ ගණනින්ය. එනම් ඒවායේ ආලෝකය පෘථිවියට ලඟා වන්නට යන කාලය අනුවය.

අධික තාපයක් නිකුත් කරන මෙම තාරකා වල තද බව හා තාප ගුණය අනුව ඒවායේ දීප්තියෙන් අඩු වැඩි බව ඇති වේ. තාරකා අතරින් ඉතාම ප්‍රධාන තැනක තිබිය හැක්කේ උත්තර ධ්‍රැව තාරකාවයි. එයට මේ නම දී ඇත්තේ එය උත්තර ධ්‍රැවය කෙලින් ඇති හෙයිනි. ධ්‍රැවයෙහි සිටින්නන්ට මේ තාරකාව මධ්‍යාංශයෙහි වන නමුත් සමකය දෙසට එනවිට සෑම අංශකයකට ම ධ්‍රැව තාරකාවද අංශකය බැගින් පහත් වී සමකයේ දී ක්ෂිතිජයෙහි දිස් වේ. කොළඹ අංශක 7 ක් උතුරට වන බැවින් කොළඹට එය පෙනෙන්නේ අංශක හතක් මුදුනට ඇති සේය. එහෙත් අංශක හතක ප්‍රමාණය, ඉතා පහත බැවින් ගස් හා කඳු ආදියෙන් තොර විශාල තැන්නෙක දී හෝ විශාල වෙල් යායෙකදී හෝ මුහුදු වෙරළකදීය, මෙය පහසුවෙන් මෙහි දී දර්ශනය කළ හැක්කේ. මෙම උත්තර ධ්‍රැව තාරකාව ඉදිරියෙහි ඇති තාරකා පන්තියට සප්තර්ෂීය හෙවත් මහා වලහා යන නාමය ව්‍යවහාර වෙයි. මේ තාරකා සමූහය යා කළ විට නඟුලෙක ස්වරූපය දක්වන හෙයින් මෙයට නඟුල යයි ව්‍යවහාර වෙයි. එයට තාරකා සතෙක් වෙයි. නඟුල් මිටට ඉතාම ඈතින් පිහිටි තාරකා දෙක දර්ශන තාරකා යයි හැඳින්වෙනුයේ එම තාරකා යා කෙරෙන රේඛාව ධ්‍රැව තාරකාව කෙළින්ම වැටෙන හෙයිනි.

පෘථිවි අක්ෂයේ උතුරු කෙළවර සෑම විටම උත්තර ධ්‍රැව තාරකාව දෙසට යොමුවී ඇත්තේ ය. මෙම තාරකා පන්තිය අහසේ දිස්වන ආකාරය වර්ෂයේ ඒ ඒ කාල වලදී වෙනස් වන නමුත් දර්ශක තාරකාව හරහා ඇදෙන රේඛාව සෑම විටම උත්තර ධ්‍රැව තාරකාව වෙතටම යොමු වෙයි. දක්ෂිණ ධ්‍රැව ප්‍රදේශයේ අහසේ දිස්වන තාරකා පන්තියකි, දකුණු කුරුසිය. මෙහි ඉහළම ඇති තරුවත් පහළම ඇති තරුවත් යා කළ විට ලැබෙන සෘජු රේඛාව දික් කළහොත් එය නිතරම දක්ෂිණ ධ්‍රැවයට යොමු වෙයි. මාර්තු මස පටන් අගෝස්තු මස දක්වා මෙකී දකුණු කුරුසිය අපට දර්ශනය වෙයි. මෙය අපට දිස් වනුයේ දක්ෂිණ අවකාශයෙහි අංශක 300 ක් පමණ නැඟීමෙන් අනතුරුවයි.

විශ්ව ගර්භයෙහි ඉතාම දීප්තිමත්ව ද, විශාලව ද, පෙනෙන තාරකා පන්තිය ඔරයන් හෙවත් දඩයක්කාරයා නම් වේ. මුවසිරිස නමින් ද මෙය හඳුන්වනු ලැබේ. මෙම තාරකා පන්තියෙහි ඉතා දීප්තිමත් තරුව රීගල් නම් වෙයි. මේ තාරකා පන්තිය යා කළ විට මුගුරක් හා පළිහක් ගත් මිනිසකුගේ ස්වරූපයක් දක්වයි. ඔහුගේ පටිය වෙනුවට පිහිටා ඇති තාරකා තුන අතුරින් වම් පස තාරකාව පිහිටා ඇත්තේ සමකයට කෙළින් ය. ඔහුගේ පටියෙන් එල්ලෙන තාරකා තුන කඩු මිට දක්වයි. ඔහුගේ වාමපාර්ශවයෙහි ලොකු බල්ලා යන නමින් හැදින්වෙන තාරකා පංතියෙක් ඇත. මෙහි විශාලතම තාරකාව වන්නේ සිරියස් නම් තාරකාවයි. තවත් පරික්ෂාවෙන් බලතොත් මහ බල්ලාට තරමක් දුරින් කුඩා බල්ලකුද දැකගත හැක. ඊට අමතරව වෘෂභ රාශිය ද පෙනෙයි. ජනවාරි හා දෙසැමිබර් මාස වල දී මෙය පහසුවෙන් දැකගත හැක. මේ හැරුණු විට තවත් මෙවැනිම අන්තාප්‍රමාණ තාරකා අහසේ විසිරී ගොස් ඇත.