ගම්බද ගොක් කලාව - සාමාන්‍යපෙළ ශිල්ප කලා

ගම්බද ගොක් කලාව

ගම්බද ගොක් කලාව

පොල් ගසේ ගොබයෙන් ලබා ගන්නා “ගොක්” කොළයට ගම්බද ව ලැබෙනුයේ විශිෂ්ඨ තැනක් බව කොයි කාගේත් පිළිගැනීමයි. විශේෂයෙන්  බුදු සසුන බැබලවිමටත් ජෝතිෂ්‍ය හා ගුප්ත ශාස්ත්‍රිය ක්‍රම ඔප් නැංවීමටත් මෙයින් ලැබෙන පිටිවහල ඇති මහත් ය. යාග ශාන්තිකර්ම වල දී ගැයෙන් පොල් උපත වනුමේ දී ගොක් කොළයට විශේෂ තැනක් හිමිවේ. ගසේ නාමය නොකියවෙන කොලය “ගොක්” කොලයයි. ගොක් කලාව පිළිබද දැනුම හා පුහුණුවක් ඇතැම් ගුරු භවතුන් කෙරෙහි වෙති. එහෙත් අද මේ කලාව සමාජ රටාවෙන් තුරන්ව යන බවක් පෙනී යයි. ගොක් කොළයෙන් ලබා ගන්නා ප්‍රයෝජන ලෙස,

ගොක් පහන

කෝටු තුනක් සිටවා එහි මුදුනේ ගොක් කොළ ගොටුව තනා ඒ තුළ මැටි පහන දල්වන්නේ දෙවියන් උදෙසා කෙරෙන ආරක්ෂක පුද පුජා උදෙසා ය. ගෙවල් අත්තිවාරම් යොදන තැන්වල මේ සිරිත දැකගත හැකි ය. කෙනෙකුට සොරකමක් පාඩුවක් කල විට දී දෙවියන් යදින්නේත් ගොක් පහන දල්වමිනි. සුළගට පහන නිවී යන බැවින් එයට ආවරණයක් ද ගොක් කොළයෙන් තනයි. යම් යම් ආරක්ෂක ක්‍රම වලදී ගොක් කොළ ඉරා රැහැනක් සේ භූමිය වට කර එල්ලනු ලැබේ.

පුහුල එල්ලීම

අලුතින් නිවසක පදිංචි වීමේ දී කිරිබත් කැවිලි සමග මුට්ටියක දමා වහලේ එල්ලන්නේත් ගොක්කොල පිලිවැස්සක ය. තම නිවසට ඇස් වහ කට වහ වදිනවාටය කියා නැට්ට නොකැපුව පුහුල් ගෙඩිය වහලයේ කොනක එල්ලන්නේත් ගොක්කොල ගෙතුමක ය. ඉපැරණි ජනයා නැදෑ ගමනක් යන විටදීත් පන්සලට දානය ගෙන යාමේදීත් කිරි මුට්ටිය ගෙන් යන්නේ ද ගොක්කොල පිලිවැස්සක ය. එය ඉතා ආරක්‍ෂිත වේ.

මගුල් පෝරුව තැනීමට

මංගල පෝරුව විවිධාකාර හැඩතල, මෝස්‌තර, රටා යොදා ගැමි කලාකරුවා විසින් ගොක්කොලයෙන් නිමවනු ලබයි. එසේ ම මංගල තොරණ ද නිමවනු ලබයි. එයට නාරිලතා, නාරිගැට, පද්ම පුෂ්ප අදීය ද ගොතා දමයි. මේ සදහා ගොක් කලාකරුවන් ගම්බදව සිටියේ ය.

තොරණ සැරසිලි සදහා

ගෙඩි තොරණ මෙකල නැත. එකල විවිද උත්සවයන් සදහා පොල්, පුවක්, රඹකැන් යොදා තොරණ සරසා තිබේ. ඒවා විසිතුරු කලේ ගොක්කොළ රටා යොදමින් ය. අවමංගල තොරණට “නිවන් සැප ලැබේවා” කියා අකුරු එක් කලේ ද ගොක් කොලයෙන් ය. රටා පැදුරු සේ ගොක් පැදුරු ගොතා හිඩැස් පිරවවී ය. මගුලට, පිරිතට, බණට ගොක් රටාව නැතිවම බැරි විය. එය චාරිත්‍රයක් වශයෙන් ද පැවතුනේ ය. මෙවන් සැරසිලි වලදී වනිතා පක්ෂයේ ද සහයෝගය නිබදව ලැබුණි. පන් කලාවට අද තැනක් නොලැබෙයි. ගොක් කොළ ගිරවා ඉතා අලංකාර වේ. සතුන්, පෙට්ටි හා වෙනත් උපකරණයන්හි හැඩය ද ගොක් කොළයෙන් මවා පෑවේ ය.

යාග හෝම වලදී

අත් බලියේ පටන් සියලුම යතු කර්ම වලදීත් ගොක් කොළයට වැදගත් තැනක් හිමිවිය. සදුන් දියෙන් අනා තනන මැටි පිඩුව වටා හැඩතල කපා ගත් ගොක් කොළ තීරු ක්‍රමානුකූලව ශාස්ත්‍රයට අනුව ගසනු ලැබේ. ඇද කුද නොවී නියම ස්වරුපය කපා ගැනීමට තියුණු ආයුධ බලි ඇදුරා සතු විය. මෙසේ ගොක් සැරසිලි මල් බලියට අවශ්‍ය වේ. ගර්භ අසූවක් මලින් තනන බැවින් අසූ ගැබ “ අසූ ගොබේ” මල් බලිය යයි කියනු ලැබේ. මල් යහන මතට යකුන් හෝ දෙවියන් කැදවනු ලබන්නේ යග කවියෙනි.

                                                                         ප්‍රේතයින් යකුන් උදෙසා පිදෙණි දීමේදී ගොතන ලද ගොක් තටුවකට බත් මළු පිනි, ගොඩ දිය, මස් පුළුටු බෙදා අයිලය තනයි. පසුව එය සතරමන් හන්දියක හෝ ගලාගෙන යන ජල පහරකට හෝ සොහොනක් ලග තබනු ලැබේ. ඉන් පසුව ක්‍රමයෙන් ගොක් කොලය මැලවී යයි. මෙලෙස සලකා බැලීමේ දී ගොක් කොලය එදා මෙන් ම අද ද ජනතාව අතර භාවිතයේ පවතී.