සැළලිහිණියෙකු දූතයා ලෙස යොදා ගනිමින් තොටගමුවේ ශ්රී රාහුල හිමියන් විසින් රචිත අනර්ඝ සඳැස් කවක් ලෙස සැළලිහිණිය හඳුනා ගත හැකිය. සන්දේශයන්ට ආවේණික ලක්ෂණ වන දූත වැනුම, මග වැනුම ආදී කොටස් ඇසුරෙන් දූතයා ගමන් ගන්නා මාර්ග වර්ණනාව කතු හිමියන් නිතැතින් ම ආස්වාදක් ජනනය වන ආකාරයෙන් රචනා කර ඇත. කාව්යාලංකාර පමණක් ම නොව, අතීතයේ සමාජය පැවති ආකාරය, මිනිසාගේ සිතුම් පැතුම්, සොබා අලංකාරය ආදී බොහෝ කාරණා මෙම සැළලිහිණිය මගින් ගම්යමාන වේ.
" සු ර ර ද සමන් සමඟින් සුර'ඟන එ වර
පැහැ න ද මදාරා පරසතු මල් පතර
කැර පු ද වඳින රැඳි මුනි සිරිපා තඹර
සකි ස ඳ පෙනේ සමනොළ ගල නැගෙනහිර "
සැළලිහිණියාට ගමන් කිරීමට සිදුවන මාර්ගය දැක්වීමේ දී ප්රථම වශයෙන් සමනොළ ගල හෙවත් අප මහා ගෞතම බුදුන් වහන්සේගේ පා පහස ලත් ශ්රී පාදස්ථානය දැක්වීමට කතු හිමියන් උත්සුක වී ඇති බවක් පෙනේ. කුමන කාරණාවක් ආරම්භයේ දී වුව ද බොදු බැතියන්ට මුලින්ම සිහි වන්නේ දෙවියන්, බුදුන් ය. දෙව් ලොවේ පමණක් ඇතැයි සැලකෙන නා නා පැහැයෙන් යුත් පරසතු, මදාරා මල් ගෙන සුමන සමන් දිව්යරාජයා දිව්යාංගනාවන් හා එක්ව සමනොළ සිරස පිදුමට යන ආකාරය හංසයාට දැක ගැනීමට හැකි වෙතයි පවසයි. දෙවි දේවතාවුන් වහන්සේලා ද පුදන මේ සිරි පතුලට අප කෙසේ නම් ගෞරව කළ යුතු ද? කෙසේ වුව ද මෙහි දක්වන පරිද්දෙන් දෙවිවරු පෙනේ යැයි පැවසීම එතරම් ම ප්රායෝගික නොවන්නක් සේ හැඟෙන නමුදු කාව්යකරණයේදී නම් මෙය අතිශය රසවත් කාරණාවකි. සමාජයේ පවතින කාරණාවක් ඇති සැටියෙන් ම නොදක්වා අතිශයෝක්තියක් එක් කරමින් දැක්වීමට උන් වහන්සේ දරූ උත්සාහය සාර්ථක උත්සාහයක් ලෙස දැක්විය හැකිය. මෙහි එක්තරා අවස්ථාවක රූපකයක් දක්වයි. ඒ බුදුන් වහන්සේගේ ශ්රී පතුල තඹර හෙවත් නෙලුම් මලක් ලෙස දැක්වීමයි. එමගින් පාඨකයාගේ සිත බොදු භක්තියෙන් ඒකාලෝක කිරීම රහල් හිමියන්ගේ අභිප්රාය වන්නට ඇත. තවද මෙහි සෑම කවි පදයක ම අග මෙන් ම මුල් වදනේ ද එළිවැට සුරැකීමට කතු හිමි සමත් වී ඇති ආකාරය අපූරුය.
"ග නේ මිණි බැබළි කිරිණෙව් සතපාය
ර නේ යටඟ සැවුලිඳු දද ගළපාය
අ නේ ලකර කළ පුර අප නරපාය
පෙ නේ දකුණැ මහසෙන් දෙව් රද පාය "
පාද සියයක් ඇති යන අරුතින් මෙහි සතපා ලෙස සූර්යයා නම් කර ඇත.සූර්යයාගෙන් විහිදෙන රශ්මීන්ට සමාන එළියක් විහිදුවන මිණි කැට මඟින් මහසෙන් දෙව් රද හෙවත් කතරගම දිව්ය රාජයන්ගේ ප්රාසාදය සරසා ඇති බව දක්වයි. දිව්ය ප්රාසාදයක් සැරසීමට මැණික් යොදා ගැනීමට තරම් සමාජ වටපිටාවක් එකල නිර්මාණැය වී ඇති බවක් මින් පසක් වේ. කදිර ඩෙවිඳුන්ගේ කොඩියේ සිටිනා සැවුලා පිළිබඳව පවා දැක්වීම මඟින් ප්රායෝගික සමාජ තොරතුරු හුවා දැක්වීමටත් රාහුල හිමියන් උත්සුක වී ඇති බවක් පෙනේ.දෙව් ප්රාසාදයක් අලංකාර කිරීමට ඝන මැණික් යොදා ගත් බව දැක්වීමෙන් හැඟී යන්නේ එකල වැසියන්ගේ දේව භක්තියයි. එමෙන් ම අතීතයේදී ඉතා සුලභ වශයෙන් මැණික් මේ සිරි ලකේ තිබෙන්නට ඇත. එමෙන් ම සූර්යයාගෙන් විහිදෙන ආලෝකයට සමාන එළියක් මේ මැණික් මඟින් විහිදෙනාවා යැයි අතිශයෝක්තියකින් යුතුව දක්වා ඇත. එළිසමය ද අපූරු ලෙස ගළපා උන්වහන්සේගේ කාව්යකරණයේ ශක්යතාව මනාව පෙන්වා ඇත.
මේ ආකාරයට ගත් කළ තොටගමුවේ ශ්රී රහල් හිමියන් සිය නිර්මාණය රසවත් කිරීම සඳහා බොහෝ උත්සාහයන් දරා ඇත. සමහර අවස්ථා ඉතාමත් සරලව, ස්වභාවෝක්තියෙන් දක්වා ඇති මෙන් ම සමහර අවස්ථා ඉතා අපූර්ව ලෙස අතිශයෝක්තියෙන් දක්වා ඇත. තවත් අවස්ථාවක " රන්වන් කරල් ගෙනැ එන ගිරවුන් අතින්" මග තොරතුරු අසාගෙන යන ලෙස හංසයාට පවසයි. කල් යල් වපුරන කුඹුරු ගැන හෝ එම මග දෙපසැති කුඹුරුවල ගොයම් පැසී ඇති බවක් කිසිඳු අවස්ථාවක කතු හිමියන් ප්රකාශ නොකලද ඉහත කී පද්ය පාඨය තුලින් පාඨකයාට අවට පරිසරය පිළිබඳව මනා ලෙස චිත්ත රූප ගොඩ නගා ගත හැකිය. මේ ලෙසින් විමසූ කල හංස සංදේශය ඉතා අලංකාර වූ, රසවත් වූ නිර්මාණයක් බව පසක් වේ.