13-වසර සිංහල

කලාව තුලින් ජීවිතය දකිමු

ආනන්දය යන්න ප්‍රීතිය, සතුට සොම්නස යන අරුත දෙන්නකි. චිත්‍ර, නැටුම්, සංගීත හා සාහිත්‍යය යන සියලු දේ කලාවයි. මිනිසා මේ කලා නිර්මාණ නැරඹීමෙන්, ඇසීමෙන් විදීමෙන් ආනන්දයට අතිශයින් පත් වේ. කිසියම් විටෙක කතාවකට සවන් දී ක්‍ෂණිකව අපි ආනන්දයට පත් වෙමු. කිසියම් කවි පන්තියක් කියවෙන්නේ නම් අපි කවියාගේ අද්දැකීම් සමග ඒකාත්මික ව සතුට ලබමු. සිනමාහල් තුල දී චිත්‍රපටයක් නරඹා අපි එයින් බොහෝ ගැඹුරින් සතුටට පත් වී නිවෙස්වලට පිටත් ව ගිය ආකාරය ඔබේ මතකයට නැගෙනු ඇත. එසේ ම ටෙලි නාට්‍යයක් නරඹා ඔබේ යහළුවන් හෝ පවුලේ උදවිය සමග සතුටු වූ ආකාරය මෙහි දී ඔබේ සිහියට නැගෙනු ඇත. එහෙත් කලාව මෙබදු තාවකාලික වින්දනයක් සදහා පවතින්නේ යැයි අප සිතන්නේ නම් එය වරදකි.

කිසියම් කලාත්මක නිර්මාණයකින් සිදු විය යුත්තේ රස නිෂ්පත්තියයි. කලාකරුවා සිය අද්දැකීම් කියවන්නා සමග විදගනී. මේ වින්දනය බුද්ධියත් සමග සංකලනය වන්නේ නම් සහෘදයා උසස් රසවින්දනයකට හුරුවේ. වින්දන ශක්තිය උසස් මට්ටමින් දියුණු කරගත් රසිකයාට අර්ථ ශුන්‍ය දෙය පහසුවෙන් වෙන්කර ගත හැකි ය. යම් නිර්මාණයක් තුල ඇති ජිවන දෘෂ්ටිය සහෘදයාට තේරුම් යා යුතු ය. එමෙන් ම කිසියම් හෝ ජිවන අද්දැකීමකින් ගැඹුරු යටි පෙළකින් තම නිර්මාණය අර්ථවත් කිරීම නිර්මාණ කරුවාගේ කාර්යය භාරය විය යුතු ය. මෙයට උදාහරණයක් ලෙස සිංහබාහු නාට්‍යය හුදු ඵෙතිහාසික සිද්ධියක් වේදිකා ගත වීමක් නොවේ. එහි යටින් දිවෙනුයේ සදාතනික පීතෘ ප්‍රේමයේ දෝංකාරයයි. පියෙකුගේ සෙනෙහස සම විද මසට ද මස විද ඇට වලට ද ඇට විද මිදුළු වලට ද ගමන් කරන බව එම නාට්‍යයෙන් කියවේ. නාට්‍යය නරඹන ප්‍රේක්ෂකයාට ද මේ සෙනෙහස දැනේ. ඕනෑම කලා කෘතියක් වින්දනය කල පසු සහෘදයාගේ මනසේ කිසිවක් ඉතිරි විය යුතු ය. එය ප්‍රඥාවයි. කපුරු දැවුණාක් මෙන් සහෘද මනසේ කිසිවක් ඉතිරි නොවන නිර්මාණය හරසුන් එකකි.

එම නිර්මාණයේ ආනන්දය තිබිය හැකි ය. නමුත් එහි ප්‍රඥාව නැත. කලාකරුවා  දිය යුත්තේ පොදු ජනයා ඉල්ලා සිටින දෙය නොවේ. ඔවුන්ට සුදුසු දේ ය. අද චිත්‍රපට, ටෙලිනාට්‍ය, සංගීත ප්‍රසංගවල යටත් පිරිසෙන් ආනන්දය වත් නැත. බොහෝ කලා අංග හරසුන් ඒවා ය. වර්තමානයේ ඇතැම් ගී ලියවෙන්නේ කකුල් වලට යැයි බොහෝ විචාරකයන් පවසා ඇත. ඒ මන්ද යත්: බොහෝ දෙනෙකු ගීයක් ඇසුණු විට සුදානම් වන්නේ නැටීමට ය. අද බොහෝ ශ්‍රව්‍ය මාධ්‍ය වල ඇත්තේ හැගීම් කුපිත කරවන පදමාලාවන් ය. වේග රිද්මයන් ය. ඕනෑම කලා මාධ්‍යයකින් විය යුත්තේ හැගීම් සැතපවීමක් මිස කුපිත කිරීමක් නොවේ. උසස් කලා කෘතියක් පහන් සිතින් වින්දනය කොට පහන් හැගීම් පහළ කර ගත් විට එම කෘතියේ යථාර්තය ඇතැම් විට සමකාලීන සමාජ විඥානය විනිවිද දැකිය හැකි ය. උසස් කලා කෘතියක් රස විදීමට හුරු වූ මනස සන්සුන් ය. ජීවිතය දෙස සුබවාදී ව බැලීමටත් හැගීම් වලට වහල් නොවී හොද නරක තේරුම් ගෙන ආවේගශීලී නොවී තීරණ ගැනීමටත් උසස් වින්දනයක් ඇති පුද්ගලයාට හැකියාව ඇත. ඔහු මානව දයාව හදුනයි. සමාජය මෙබදු උසස් රසවින්දනයට හුරු අයගෙන් සමන්විත වේ නම් ආවේගශීලී ව කෙරෙන ක්‍රියාකාරකම් අවම තත්වයකට පත්වනු ඇත. කලා කරුවාගේ ද යුතුකම විය යුත්තේ හරවත් කලාවක් සහෘදයාට පිරිනමා ඔහුගේ ජිවිතාවබෝධය පුළුල් කිරීම ය. මේ ආකාරයට බොහෝ කලා රසිකයන්ගේ හදවත් ප්‍රීති ප්‍රමෝදයෙන් යුතු ව එදිනෙදා ජීවිතය ගත කිරීමේ දී මෙම කලා මාධ්‍ය ඉතා වැදගත් කොට සලකනු ලබයි.       


ලිපිය නිර්මාණය කලේ,
K
kelum priyadarshana


TOP MEMBER

අදාල තවත් ලිපි,



kelum priyadarshana

13-වසර සිංහල

අනෙකුත් ලිපි