බෙර ගැන

බෙර ගැන

                          බෙරයේ ඉතිහාසය ගැන කතා කරන විට එය දීර්ඝ අතීතයකට උරුමකම් කියන වාද්‍ය භාණ්ඩයක් වබ ඓතිහාසික තොරතුරු වලින් හෙළිවේ. ගස් බෙනයක් මතට සත්ව හමක් එලා එය වියලීමෙන් පසු එය (සම) ගස් බෙනයට ඇලී පැවතුණි. එයට තට්ටු කළවිට රැව්දෙන හඩක් ඉන් නිකුත් විය.පසුව එම ජනයා ගස්වල කොට ගදන් ගෙන ඒවා බෙනයක් ආකාරයට කුහරයක් සාදා ගනු ලැබීය. පසුව ගස් බෙනය මතට සම එලූ ආකාරයටම මෙය මතද සම එළනු ලැබීය. ආදීජනයා මේ ආකාරයට බෙරය නිර්මාණය කර ගන්නට ඇතැයි විශ්වාස කරනු ලබයි.

ශ්‍රී ලංකාවේද ඉතාඈත අතීතයේ සිටම බෙව වාදනය පැවති බවට සාධක පවතී. මෙම කාරණය සම්බන්ධයෙන් ප්‍රථමයෙන් ලිඛිත සාධකයක් හමුවන්නේ මහාවංශයෙනි. විජය ඇතුළු පිරිස ලංකාවට පැමිණි දිනයේ රාත්‍රියේ තූර්ය වාදනයක් අසන්නට ලැබුණු බව මහා වංශයේ සදහන් වේ. මේ පිළිබද විජය කුමරු විමසූ කල්හි එය සිරිසවස්තුපුර පැවති මංගල උත්වයකින් ඇසෙන හඩක් බව කුවේණිය පිළිතුරු ලබා දුන්නාහ. එම තූර්ය වාදන අතර බෙර වාදනය ද තිබූ බව නිසැකය.

බෞද්ධ සාහිත්‍යයේ හා වෛදික සාහිත්‍යයේ සදහන් වන ආකාරයට බෙරය විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා විසින් මවන ලද භාණ්ඩයකි. පංචසික ගාන්ධර්වයා බුදු රජාණන් වහන්සේට  පූජා පිණිස බෙරයවැයූ බව සදහන් වේ.      

විස්කම් දෙවි එදා
සනෙකින් බෙරේ බැන්දා
ගාන්ධර්වෝ එදා
ගසමින් බෙරේ නොරදා
 
බෙරය ඉන බැදගෙන
ගාන්ධර්වෝ එදින
අපේ මුණිදු සොදින
පළමු දකිනත ගසාවදිමින
 
බුදුන් වෙත ගොස් ගදඹ පන්සිළු
බෙරත් ගහලා සිත් තොසින්
සොදින් ගැයුවයි දකිනා අත් දාසයක්
මුනිදුට පුද ලෙසින්
 

 බෙරය සෑදීමට ප්‍රථම ඒ සදහා සුදුසු ගසක් කැපිය යුතුය. ඒ සදහා සුභ වේලාවක් යොදා ගැනීම සාම්ප්‍රධායික සිරිතකි. “උත්‍රපල” හා “පුනාවාස” යන නැකැත් වලින් ගස කපා “හෙණ” යෝගයෙන් බෙරය සාදා නිම කර ගැනීමෙන් එහි ශබ්ධය ඉතා හොදින් පවතින බව සාම්ප්‍රධායික බෙර ශිල්පීහු විස්වාස කරනු ලබයි. හෙන යෝගයෙන් බෙර සෑදීම ඉතා සුබ බව ජෝතිෂ්‍යයේද සදහන් වේ. 

ඇසළ මස බුධ දින
පසළොස්වකට පැමිණෙන
පුවසල නැකත යෙන
අනුව බුධ හෝරාවලත් තැන
 
මෙලෙස ගෙන යෝගෙට
යොදමින් නැකැත් නිසි කොට
බෙරය ගෙන සුරතට
තබා මල හම් එලා වටකොට

 

බෙරයක් සෑදීමේදී පාරම්පරික ශිල්පීහු ක්‍රියා පටිපාටියන් රාශියක් අනුගමනය කරනු ලබයි. බුංමැඩිය හැරුණු විට මෙරට භාවිතා වන අනෙක් සියළුම බෙර වර්ග සකස් කර ගනු ලබන්නේ දැව යොදා ගනිමින්ය. මේ සදහා හොදින් වැඩුණු මෝරා ඇති ගසක් යොදා ගනු ලැබේ. ගස කැපීමට පෙර ලස පාමුල මල් පැළක් සකස් කර මල්, පහන්, සුවදුම් ආදියෙන් වතාවත් සිදු කර තුනුරුවන්ගේ ආශිර්වාදය ලබා ගනු ලැබේ. එසේම එම ගසට අරක් ගත් යම් දේවතාවෙක් සිටීනම් දේවතාවුන්ගෙන්ද අවසර ලබාගෙන ගස කැපීම ආරම්භ කරනු ලබයි. 

තිලොවට උතුම් වන
මුනිදුට මහ සග යන
වැද අත් බැද මුදුන
කියම් හේරිය උපත කවියෙන
 
ලද පස්මල් ඉස පිරිබඩ ලෑවා
මල් පහනින් ගොක් සැරසිලි කරවා
සදුන් කොපුම් පිනි දියරෙන් දෝවා
පුද දෙමි දෙවියනි අවසර බෝවා

 

කිතුල්, පොල්, වරකා. ගංසූරිය, ඇඑැළ, කොහොඹ ආදී දැව වර්ගයන් බෙර සෑදීම සදහා යොදා ගනු ලබන අතර විදුලි සැර වැදුනු ගසකින් බෙරයක් සාදන අවස්ථාවකදී ගස කැපීම සිදු කරන අවස්ථාවේ පටන් එය සාදා නිම කරන අවස්ථාව දක්වාම කිසිදු කෙනෙකු සමග කතා නොකරයි. ඔවුන්ගේ විශ්වාසය පරිදි එයින් බෙරයේ ශබ්ධය වැඩි වන බවයි. බෙර ඇස සකසා ගනු ලබන්නේ සතුන්ගේ සම් ආධාර කර ගනිමින්ය. මේ සදහා වදුරු සම්, කිඹුල් සම්, මුව සම්, එළු සම් ආදී සම් වර්ගයන් යොදා ගනු ලැබේ.

 

ඈත අතීතයේ ශ්‍රී ලංකාවේ භාවිතා වූ තූර්ය භාණ්ඩ වල නම් විශාල ප්‍රාමාණයක් දළදා සිරිත, දඹදෙණි අස්න, ථූපවංශය ආද මූලාශ්‍රවල සදහන් වේ. එම තූර්ය භාණ්ඩ අතර බෙර වර්ග තිස් තුනක් පවතී. එනම්, මිහිගු බෙරය, පටහ බෙරය, රණ බෙරය, ඩෞර බෙරය, ගැට බෙරය, පනා බෙරය, මද්දල බෙරය, එකැස් බෙරය, ලොහො බෙරය, මහ බෙරය, දැදුරු බෙරය. රෝද බෙරය, කැරඩි බෙරය, ඝෝෂා බෙරය, බුරුළු බෙරය, තලප්පර බෙරය, නිසාන බෙරය, විරුදම් බෙරය, තත්සර බෙරය, උඩැක්කිය, යුවළ බෙරය, මොරසු බෙරය, තුන්ඩි බෙරය, ආඩිකෙයි බෙරය, දවුල, සමුද්‍රඝෝෂ බෙරය, දුන් දුභී බෙරය, ඩමරු බෙරය, තිඹිලිව් බෙරය, රණ රග බෙරය, ගැට පහටු බෙරය, කුම්භ බෙරය යන ඒවාය.

 

බෙරයක් වාදනය කරන  ආකාරය අනුව බෙර වර්ගීකරණය කර දැක්විය හැකිය.

ආතත - අත් වලින් පමණක් වාදනය කරන බෙර වර්ග. උදා - ගැටබෙරය, යක්බෙරය, උඩැක්කිය, ඩැක්කිය, බුංමැඩිය

විතත - කඩිප්පු (කෝටු) ආධාරයෙන් වාදනය කරන බෙර වර්ග. උදා - තම්මැට්ටම, දඩු බෙරය

විතාතත - අත්ලෙන් හා කඩිප්පුවකින් වාදනය කරන බෙර වර්ග - උදා - දවුල

 

බෙර වර්ගීකරණය පිළිබද පාරම්පරික ශිල්පීන් විසින් සකසා ගනු ලැබූ කවියක් පහත දක්වා ඇත.

 

බෙරය එකැස්බෙර බුංමැඩි ආතතය
දොං ජිං ජිං ගත අතත නැටුම් වැනිය
කිරල් හඩසුසිරය හෙරණෑ
ආතත විතතය දවුල් නැටුම්


ලිපිය නිර්මාණය කලේ,
ගයාන් මධුශාන්ත


MEMBER

අදාල තවත් ලිපි,



"නර්තනය (සිංහල)" විෂයට අදාල අනෙකුත් ලිපි

අනෙකුත් ලිපි