සන්නිවේදනය සමාජ විද්‍යාව (ශ්‍රී ලංකාවේ සිනමාව)

සන්නිවේදනය සමාජ විද්‍යාව (ශ්‍රී ලංකාවේ සිනමාව)

හැඳින්වීම.


සිනමාව යන පදය චිත්‍රපට කලාවක් ලෙස චිත්‍රපටි ක්ෂ්‍රේත්‍රය සහ චිත්‍රපට කර්මාන්තය යන සියල්ල හැදින්විය හැකිය.සිනමා නිර්මාණයන් සිදුකිරීමේදී විවිධ රූපරාමු කැමරා මගින් පටිගත කිරීම් නැතහොත් සජීවි කරණ ක්‍රම භාවිතය මගින් රුපරාමු නිර්මාණය හෝ විශේෂ ප්‍රයෝග භාවිතා කිරීම සිදු කෙරෙයි.චිත්‍රපට නිශ්චිත සංස්කෘතීන් මගින් නිර්මාණය කෙරුණ සංස්කෘතිකමය මානවකෘතීන් ලෙස සැළකිය අතර පෙරළා ඒවා මගින් සංස්කෘතිය වෙතද බලපෑම් ඇතිවේ.ප්‍රචලිත විනෝදාස්වාද ක්‍රමයක්,පුරවැසි අධ්‍යාපනය සැපයීම සදහා ප්‍රබල ක්‍රමවේදයක් සහ කලාත්මක නිර්මාණයක් ලෙස චිත්‍රපට සැළකිය හැක.සිනමාවේ දෘෂ්‍ය ගුණය හේතුවෙන් එය සතුව විශ්වීය සන්නිවේදක හැකියාවක් පවතී.ඇතැම් චිත්‍රපව හඬකැවීම් හෝ උපසිරැස යොදා ගැනීමෙන් ලොව පුරා ප්‍රසිද්දියට පත්ව ඇත.සාම්ප්‍රධායික ක්‍රමයේදී චිත්‍රපටියක් තනිතනි රූපරාමු රැසකින් යුක්ත වේ.මෙම රූපරාමුව එකදිගට වේගවත්ව ප්‍රදර්ශනය කරන විට නිරීක්ෂකයා හට චලනයක් සිදුවේ යැයි හැ‍‍ගෙයි.මෙහිදි රූපරාමු මාරු වීම නිරීක්ෂකයාට දැකිය නොහැකි අතර ඊට හේතුව ඇස තුළ අපට පෙනෙන යම් වස්තුවක රූපය එම වස්තුව මුල් පිහිටුමෙන් ඉවත් වූ විටද තත්පරයකින් කුඩා කාලයක් දක්වා ඇස තුළ පැවතීමේ ආචරණයයි.ඒ අනුව නිරීක්ෂකයන් චලනයක් සිදුවේයැයි තීරණය කරන අතර ඒ සඳහා බීටා චලනය නම් මානසික ආචරණය හේතු වේ.චිත්‍රපට හැදින්වීමටත් භාවිතා වන ඉංග්‍රීසි වචනය “FLIM”නම් වන අතර අතීතයේදී චිත්‍රපටි පටිගත කිරීම සහ ප්‍රදර්ශනය සදහා භාවිතා කළ මූලික මාධ්‍ය වන ඡායාරූප පටල(Photographic flim-flim stock)හැදින්වීම සදහා භාවිතා වූ ඉංග්‍රීසි වචනයෙන් බිදී ආ වචනයකි.චිත්‍රපටියක් හැදින්වීම සදහා ඉංග්‍රීසි බසින් විවිධ නම් භෘවිතා කළ හැක. (Picture,picture show,phote play,flick,movie).මෙම ක්ෂේත්‍රය හැදින්වීමට භාවිතාවන අනෙකුත් පදයන් අතරට රිදී තීරය වැනි යෙදුම් පෙන්වාදිය හැකිය.
ශ්‍රී ලංකාවේ සිනමාව ගත්කළ ශ්‍රී ලාංකීය සිනමාව යනු ශ්‍රී ලංකාවේ නිශ්පාදිත ච්ත්‍රපට අඩංගු සිනමාවයි.එය ආධුනික ව්‍යාපාරයක් ලෙස 1947 “කඩවුනු පොරොන්දුව ”චිත්‍රපටයෙන් පටන් ගත් දා සිට වර්තමානය දක්වා පැවත ගෙන එයි.ශ්‍රී ලාංකීය චිත්‍රපට සිංහල භාෂාවෙන් නිෂ්පාදනය කරන අතර එහි ප්‍රමුඛත්වය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට හිමිවිය.පළමුවන අවුරුදු නවය තුළ චිත්‍රපට බොහොමයක් නිෂ්පාදනය කෙරුණේ දකුණු ඉන්දියාවේදීය.එම නිසා දකුණු ඉන්දියානු ආභාෂය ඒ තුළ රැඳී ඇත.පුරෝගාමී චිත්‍රපට නිෂ්පාදක ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් 1956 දී නිශ්පාදිත රේඛාව චිත්‍රපටය සම්පූර්ණයෙන්ම චිත්‍රාගාර වලින් පිටතදී නිෂ්පාදිත සැබෑ සිංහල කථා සාරයක් අඩංගු චිත්‍රපටයකි.ජාත්‍යන්තර හා දේශීය වශටෙන් අගය කළද,චිත්‍රපට නැරඹීම සදහා ප්‍රමාණවත් සංඛ්‍යාවක ප්‍රේක්ෂකයන් රට තුළ නොමැති වූ නිසා රේඛාව ආදායම් අතින් ඉතා අසාර්ථක එකක් විය.“සංදේශය” හා “කුරුළු බැද්ද” යන චිත්‍රපට වලින් යම්කිසි උත්සාහයක් දැරුවද,60 දශකයේ මුල් භාගයේදී ඉන්දීය ආරයේ කථා සාරයන් අඩංගු චිත්‍රපට නිෂ්පාදනය විය.නැවතත් 1964 වසරේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් ශ්‍රී ලංකාවේ චිත්‍රපට කර්මාන්තයේ උන්නතිය සදහා “ගම්පෙරළිය” චිත්‍රපටය නිර්මාණය කළ අතර මෙය ගීත වලින් තොර පළමු චිත්‍රපටය වේ.තවද මෙය රේඛාව මෙන් චිත්‍රාගාර වලින් බැහැරව නිපදවන ලද්දකි.එමෙන්ම සිංහල සංස්කෘතිය පිළිබිඹු කළ චිත්‍රපටයක් ලෙස මෙයට ඉතා හොඳ ප්‍රතිචාරයක් ලැබුණි.ගම්පෙරළිය නරඹන්නන්ගේ හා විචාරකයන් යන දෙපිරිසම එක හා සමානව අගයන ලදී.මෙම ඉදිරි ගමනේ ප්‍රතිඵලයක් ලෙස 60 දශකයේ අග භාගයේදී මහාචාර්ය සිරි ගුණසිංහයන්ගේ “සත් සමුදුර” ඇතුළුව චිත්‍රපට කිහිපයක් විය.70 දශකයේදී දක්ෂයින් බොහෝ දෙනෙකු ඉදිරියට ආ අතර,වාණිජ චිත්‍රපට ඉන්දියානු චිත්‍රපට වලින් සොරා ගැනීමද දිගටම කරගෙන යනලදී.1979 වසරේදී නිෂ්පාදිත වසන්ත ඔබේසේකරගේ පළමුවන චිත්‍රපටය වන,ඉතා හොඳ ප්‍රතිචාරයක් ලැබූ “වෙස්ගත්තෝ හා පළගැටියෝ” යන චිත්‍රපටද තවත් බොහොමයක්ද මීට ඇතුළත් වේ.මෙම අවධියේදී ඉදිරියට ආ තවත් අධ්‍යක්ෂඛවරයෙකු නම්,ධර්මසේන පතිරාජයි.“බඔරු ඇවිත්” වැනි “අහස් ගව්ව” වැනි චිත්‍රපට වලින් නගරයේ තරුණ ජීවිත වල ඇති ආතතිය ගැන පරීක්ෂා කරන ලදී.විශිෂ්ට කලාකරුවෙකු හා කවියෙකු වූ මහගම සේකරයන්ගේ 1970 දී නිෂ්පාදනය කළ,ඔහුගේ එකම නිෂ්පාදනය වූ තුංමන්හන්දිය චිත්‍රපටයද ශ්‍රී ලාංකීය සිනමාවේ ඉතා වැදගත් චිත්‍රපටියකි.ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ බිරිඳ වන, සුමිත්‍රා පීරිස් මහත්මියද,70 දශකයේදී කාන්තාවන්ගේ ගැටළු පිළීබද හිත යොමුකර නිෂ්පාදනය කළ අතර “ගැහැණු ළමයි සහ ඟඟ අද්දර” එයට නිදසුන් වේ.ඊළඟ දශක කීපයේදී තිස්ස අබේසේකර,ප්‍රසන්න විතානගේ,විමුක්ති ජයසුන්දර වැන්නෝ මෙම ව්‍යාපාරයට අලුතින් ජීවය පිඹීමට උත්සාහ දරා ඇත.විතානගේ පුරහද කළුවර හා විමුක්ති ජයසුන්දරගේ සුළඟ එනු පිණිස යන චිත්‍රපට ලංකාවේ නිෂ්පාදිත හොදම චිත්‍රපට ගණයට අයත් වේ.පසුගිය අවුරුදු වලදී පවුල් සම්බන්ධතාව,ගබ්සාව හා උතුරේ දෙමළ ත්‍රස්තවාදීන් හා හමුදාව අතර ගැටුම් යන ආදිය පිළිබද හා ඒවායේ ප්‍රතිඵල පිළිබදව චිත්‍රපට මගින් විසදුම් සෙවීමට උත්සාහ දරා ඇත.මෙලෙස සමස්තයක් ලෙස ගත්කළ ශ්‍රී ලංකාවේ සිනමාව පැතිරී ගොස් ඇත.වර්තමානය වන විට ඩිජිටල්කරණය යනාදී නව ප්‍රවණතාවයන් යටතේ සිනමාව දියුණු වී ඇත.

1.සිනමාව යනු:


සිනමාව යනු නූතන කළා මාධ්‍යයි.චිත්‍ර,නැටුම් සංගීත වැනි ලලිත කලාවන් සේම සිනමාවද ලලිත කලාවක් ලෙසින් අදහස් කරයි.ලෝකයේ සෑම ප්‍රදේශයකටම එකසේ ජනප්‍රිය අංගය සිනමාවයි.මෙසේ වීමට සිනමාව පසුපස ඇති රහස මොකක්ද යනුවෙන් ගතහොත් සිනමාව යනු එකම කලාවක් සහ කර්මාන්තයකි.සිනමාව කතන්දර කීමේ මාධ්‍යයි.කතන්දර ඇසීමේ ආශාව මිනසාගේ ජීව විද්‍යාත්මක ආශාවකි.මිනිසා යනු සමාජීය සත්වයෙකි. මේ නිසා මිනිසා නිහඬතාවයට,නිශ්චලතාවයට බියවේ.මිනිසාට චලනය නොවී සිටිය නොහැකිය.මන්ද ඕනෑම ජීව වස්තුවක් චලනය වන බැවිනි.චලනය ජීවයේ පදනමයි.සිනමාවේ පදනම ජීවය හා චලනයයි.මිනිසාගේ අද කතා රසයේ ලොල් බවට හොඳම පිළිතුර ලබාදෙන්නේ සිනමාවයි.වර්තමානයේ ඩිජිටල් සිනමාව දක්වා මෙම තත්වය වර්ධනය වී ඇති බව හදුනාගත හැක.කලාත්මක මාධ්‍යක් ලෙස සිනමාවේ පවතින මූලික ශක්‍යතාවයන් සොයාගනු ලැබූයේ ග්‍රිපිත් විසිනි.සිනමාවේ සෘෂිවරයා වන්නේ ග්‍රිපිත්ය.ඔහුගේ අදහස වූයේ සම්පූර්ණ රූපය සිනමාවට නැගිය යුතුය යන අදහස නොවේ.අප සාමාන්‍ය ජීවිතයේදී පුද්ගලයෙකු දකින්නේ ඒ ඒ අවස්ථාවට අපගේ අවධානය ප්‍රාතවන කොටස් ලෙසය.ඒ හැර අප මනසින් කපන රූප,රූප කෝණ ලෙසඔහු දක්වයි.සමීප,මධ්‍යම දුර ආදී ලෙස ග්‍රිපිත් විසින් කතා කීමේ කලාවට වඩා හොදින් කිරීමේ ක්‍රමවේදයක් තනයි.සිනමාව මේ තරම් ජනප්‍රිය වන්නේ අන් කිසිදු මාධ්‍යකට සිනමාව තරම් කථාවක් කිව නොහැකි නිසයි.දිනෙන් දින සමාජය හැකිලීමට පරිවර්තනය වේ.මේ හකිලීම සිනමාවේ ප්‍රසාරණයට හේතු වේ.සමාජයේ හැකිලීම යනු දිනෙන් දින සන්නිවේදනයත් සමග සමාජය කුඩා වීමයි.එහිදී මිනිසාට නිකරුණේ කාලය ගත කිරීමට වෙලාවක් නොමැති නිසා මාධ්‍ය විසින් එයට ලොවක් තනාදී ඇත.මේ අනුව ඇතම් විට ඉතා ගැඹුරින් අපූරු ලෙස අත්දැකීම් කීමේ කලාවක් ලෙස සිනමාව හැඳින්විය හැකිය.උදාහරණයක් ලෙස ගතහොත් ආදරය පිළිබඳ ප්‍රකාශ කරන චිත්‍රපට 100ක් ගතහොත් ඒවායේ ආදරය පිළිබඳ ප්‍රකාශ කරන්නේ සිය ආකාරයකටය.තවද මේ ආකාරයට බොහොමයක් චිත්‍රපට සඳහා කතාව කීමට විවිධ සංස්කෘතීන්,සංස්කෘතිකාංග උපයෝගී කරගන්නා ආකාරයද දැකගත හැක.එහිදී සිනමා ඉතිහාසයේ සිට වර්තමානය දක්වා සිනමාව තුළ සංස්කෘතිය තේමා කරගනිමින් බොහෝ ප්‍රේක්ෂක අවධානයක් දිනා ගැනීමට සිනමාවට හැකිවී තිබේ.
සිනමාව සතු සුවිශේෂී ලක්ෂණ:
සිනමාව යනු කුමක්දැයි පැහැදිලි කර ගැනීමේදි මූලික අවධානය සිනමාවේ ලක්ෂණ වෙත යොමුවිය යුතුය.“සිනමාව මගින් ප්‍රේක්ෂක සිත් සතන්හි ජනිත කරවන භාව රටා ප්‍රකාශ කිරීමට විශේෂ විධික්‍රම ඇත්තාක් මෙන්ම මිනිසා තමාගේ පරිසරය තුළදීම අධ්‍යනය කෙරෙන එකම කලාව වශයෙන්ද සිනමාව හැදින්විය හැකිය. ”මෙම ලක්ෂණය සිනමාව සතු සුවිශේෂීතා අතරද ප්‍රමුඛ වේ.ඔහු අප ප්‍රකෘතිය තුළ රදවාගෙනම ප්‍රකෘතිය දෙස නව නිර්ණායක අප වෙත සම්පාදනය කරයි.ලියෝ බ්‍රෝඩ් නම් විචාරකයා මෙසේ පවසයි.අඛණ්ඩතාවය යන්න වචනයේ පරිසමාප්තියෙන්ම චිත්‍රපටය යන්න අනෙකුත් රංගන කලාශීල්ප එනම් සංගීතය,නාට්‍ය ආදියෙන් වෙන් කරයි.එය බොහෝ විට නවකතාවට සම්බන්ධයක් දක්වයි.එය එසේ වන්නේ යම් කාල සීමාවක් ඔස්සේ නොකඩවා දිග හැරෙන ක්‍රියාදාමයක් ලෙස ඉදිරිපත් කිරීම නවකතාවක හෝ චිත්‍රපටයක මූලික ලක්ෂණය වීමයි.එම සුවිශේෂීතාවයේ අතුරු ලක්ෂණයක් මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මෙසේ පැහැදිලි කරයි.“නවකතාවක් කියවන පාඨකයාට ලැබෙන නිදහස චිත්‍රපට ප්‍රේක්ෂකයාට නොලැබෙන්නේ පාඨකයා සතුව තිබිය යුතු මනෝරූප මවා ගැනීමට ඇති නිර්මාණ හැකියාව චිත්‍රපටකරුවා විසින් සිදුකොට ඇති බැවිනි. ”එය විශේෂ ලක්ෂණයකි.එහෙත් රසිකයාටද පැවරෙන රාජකාරිය සුළුපටු නොවේ.චිත්‍රපටයේ පවතින නෛසර්ගික ගුණ හෙවත් අන්‍ය කලා මාධ්‍යවලින් එය වෙනස් වන්නේ කෙසේද යන්න න්‍යාත්මකව පැහැදිලි වී ඇත.මෙම සංකල්පාත්මක වැකි ක්‍රියාවට නැගෙන්නේ සිනමා නිර්මාණය නම් සාමූහික සුවිශාල ප්‍රයන්තයේ පලයක් ලෙසය.මෙම මහා ව්‍යාපෘතිය සතු මෙවලම් පිළිබද ඉතාම ලුහුඬින් හෝ කෙරෙන පරීක්ෂාව අවබෝධය තවද සුවිශද කරනවා ඇත.එම අංග සමවාය මෙසේය.


1. අධ්‍යක්ෂණය.
2. නිෂ්පාදනය.
3. කැමරාකරණය.
4. රංගනය.
5. සංස්කරණය.
6. තිර රචනය.
7. ආලෝකකරණය.
8. කලා අධ්‍යක්ෂණය.
9. අංග රචනය.
10. සංවාද.
11. සංගීතය.
12. වර්ණ.
13. දෘෂ්ටි කෝණ හා අනෙකුත් සිනමා ප්‍රයෝග,


මෙම සියළුම අංගෝපාංගවල අපරිම කාර්යක්ෂම දායකත්වය කෘතියට ලැබීමේ ප්‍රතිශතය මත අවසන් නිර්මිතය පල දරයි.හැම අංශයක්ම ඉතා හොඳින් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වේ.නොවැදගත් යන අප සිතන සරල හේතුවක් විසින් නිර්මාණය අවරට ඇද දමනු ලැබිය හැකි බැවිනි.සිනමාව වූ කලී එපමණටම ව්‍යවහාර කලා මාධ්‍යයකි.


1.අධ්‍යක්ෂණය.


සිනමාව ප්‍රසිද්ධ වී ඇත්තේ අධ්‍යක්ෂකවරයාගේ කලාව(Director’s Art)ලෙසය.අධිකාරිවරයා ඔහු ය.අවසන් තීන්දුව ඔහුගේය.එය කිසි විටෙකත් පහසු නොවූවකි.ඉන්ග්මාර් බර්ග්මන් සම්මුඛ සාකච්ඡාවකදී සදහන් කළේ සත්තකින්ම චිත්‍රපට නිර්මාණයකරණය කායිකව මහා වෙනසකි.මෙය බෙහෙවින්ම සංකීර්ණ චර්යා වලට සමවායෙන් නිර්මිත චරිතයක් විය යුතුය.සිනමා අධ්‍යක්ෂක කවියෙකු සේ අපූර්ව වස්තු නිර්මාණයේ පරාගත විය යුතුය.කම්කරුවෙකු ලෙස දරාගැනීමේ ශක්තිය ප්‍රගුණ කළ යුතුය.වැඩිහිටියෙකු සේ අන්අය මත පැවතිය යුතුය.දාර්ශනිකයකු සේ මනුෂ්‍ය සිත් කියවාගෙන අනාගතය පුරෝකථනය කරන අතරම ප්‍රේමවන්තයකු සේ බොළඳ විය යුතුය.මේ සියලු කාරණා පරස්පරතා නංවන තරමට සංකීර්ණ බවක් පළ කරයි.සිනමාකරුවෙකු සතුව තාක්ෂණික ඥානය,තාක්ෂණික ශිල්පීන්ගේ ගුණාත්මක සේවය ලබා ගැනීමේ ඥනය,චිත්‍ර ශිල්පියකුගේ ඇස,සංගීත ඥානය,රිද්මය පිළිබද සංවේදීතාවය,කතාන්දර කීමේ වාසනා ගුණය,නාට්‍යයම සංවේදීතාව,මනුෂ්‍ය ජීවිතය ගැන ඥානය,ශිල්පීන්ගෙන් උපරිම සාධාරණය ඉටුවන සේ ඔවුන් හැසිරවීමේ හැකියාව තිබිය යුතුය.සත්‍ය ලෙසම සිනමා අධ්‍යක්ෂක යනු ශිල්පියෙකු, කලාකරුවෙකු, නාට්‍යකරුවෙකු හා මනෝ විද්‍යාඥයෙකුගේ චරිත එකම චරිතයක් තුළට ගොනු වූ අවස්ථාවකි.සිනමා කලාවේ යම් යම් සීමා නිසා වරෙක සිනමා අධ්‍යක්ෂක වාසනාවන්තයෙකු බවට පත්වේ.චරිත නිරූපන වශයෙන් නවකතාකරුවාගෙත් චිත්‍රපට අධ්‍යක්ෂකවරයාගෙත් දෘෂ්ටි කෝණවල වෙනසක් දක්නට නොලැබුණද රූපාත්මක ධ්වනිතාර්ථ නැංවීමේදී චිත්‍රපට අධ්‍යක්ෂකවරයා නවකතාකරුවාට වඩා ඉස්මතුව පෙනේ. අධ්‍යක්ෂකවරයාගේ කලාව වුවද කේවළ කර්තෘත්වයක් පළ කලද අතඅසාමූහික ප්‍රයන්තයක් වන මෙම විෂය අධ්‍යක්ෂකවරයාගේ පාර්ශවයෙන් සාකල්යෙන්ම අභියෝගාත්මකය.සාමාන්‍ය තර්කණය නම් මෙයයි.නිෂ්පාදකවරයා චිත්‍රපටයට මූල්‍ය ප්‍රතිපාදන දෙතියි නම්,කැමරාකරු එය කැමරාගත කරයි නම්,නළු නිළියෝ එහි රඟත් නම්,තිර රචකයා කතාව ගොතයි නම්,පටිගත කරන ශිල්පියා හඬපටිගත කරයි නම්,සංගීතඥයා අදාළ සංගීතය රචනා කරයි නම් නෙක විද තාක්ෂණික ශිල්පියෝ රසායනාගාරයේදී එය වර්ධනය කර මුද්‍රණය කරත් නම්,චිත්‍රපට අධ්‍යක්ෂකට පැවරුණු සුවිශාල කාර්යය වනුයේ ඉහත සියළු ක්‍රියාදාමයන් අධ්‍යනය කිරීමයි.ප්‍රතිඵලය ලෙස කාලය,භූමිය,යුගය සමතික්‍රමණය කරන්නා වූ නිර්මාණයක් බිහි කිරීමයි.


2.නිෂ්පාදනය.


චිත්‍රපට නිෂ්පාදනය කලාත්මක ඥානය වැය කරන කවයුත්තක් නොව මූල්‍ය මූලික කර්තව්‍යකි.සිනමා නිර්මාණයට අවශ්‍ය මුදල් මූලික වූ ප්‍රතිපාදන ශක්තිය හෙවත් අර්ථ පතීත්වය දරනුයේ නිෂ්පාදකවරයාය.එකී ව්‍යාපාරය චිත්‍රපට නිෂ්පාදනයයි.චිත්‍රපටයේ අන්තර්ගතය හා ප්‍රතිබද්ධිත කලාත්මක භූමිකාවක නො රඟන නිෂ්පාදකයා, නොහොත් නිෂ්පාදනය එතරම් නොවැදගත් කටයුත්තක් සේ ඇතැම්හු සිතති. එය එසේ නොවුවකි. නිෂ්පාදකයෙකු හමු නොවන අධ්‍යක්ෂකවරයා මහත් අවාසනාවන්තයෙකි. නිර්මාණය ස්වප්නය යථාර්ථවත් කරනුයේ නිෂ්පාදකයාය. නිෂ්පාදකවරයාගේ රුචිය,කලා නෛපුන්‍ය හෝ සංවේදීතාව එසේ නැතහොත් ඔහු අධ්‍යක්ෂකවරයාට පවරණ නිදහස,ස්වාධීනත්වය ඉතා හොද නිර්මාණයක් ජනනය වීමට සෘජුවම බලපාන බව කිව හැකිය.එම නිසා ඔහුගේ චරිතයද දැවන්ත එකකි.එහෙත් බොහෝ විට ඔහු ව්‍යාපාරකයෙකු වියහැකි බැවින් ලාභය,කීර්තිය බඳු නිර්ණායක ඔහුගේ වට්ටෝරුවේ නියතම තිබිය හැක.මෙසේ සිනමාව වූ කළී මූල්‍ය මූලිකවම ප්‍රභවය වන මිල අධික ස්වභාවයක් පළ කිරීම කෙරෙන්ද අන් කළා විධීන් අතර සුවිශේෂී වේ.


3. කැමරාකරණය.


මෙය ප්‍රධානම සිනමා අංගයකි.අධ්‍යක්ෂකවරයාගේ සිහිනය,ඔහු දකින්නේ කැමරා කාචය තුළිණි.කැමරා අධ්‍යක්ෂණය,කැමරා කෝණ නිර්මාණය හා කැමරාකරණය යන අංශ මේ යටතට ගැනෙන ශිල්පීය අවස්ථාය.සිනමාව මගින් යථාරූප ස්වභාවයක් ස්ථාපිත කිරීමේ අරමුණු හා ඒ ඔස්සේ ප්‍රේක්ෂකයා ග්‍රහණය කරනු ලබන වෘතාන්ත විකාශනයක් කිරීමේ දීත් අධ්‍යක්ෂකවරයා ඡායාරූපකරණය කෙරේ දක්වන අවධානය ඉතා වැදගත්ය.එය හුදු කැමරා ශිල්පියාට පැවරුණු වගකීමක් පමණක් නොවන්නේය.සිනමා රූප,චිත්ත රූප වශයෙන් අධ්‍යක්ෂකවරයා මවා ගන්නා අතර ඔහු විසින් එය වෘතාන්තයක් ලෙස මනසේ විකාශනය කරනු ලබයි.ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂක ධර්මසේන පතිරාජ සදහන් කරන පරිදි කැමරාව ස්වභාව ධර්මය විසින් සංජානනය සදහා ප්‍රධානය කරන ලද ද්‍රව්‍යන් වූ ඇසෙහිම පෘථුලකරණයයි.සිනමා කැමරාකරණයේ මූලික සිද්ධාන්ත කරුණු 04ක් මත රඳා පවතී.
• පටල පටයේ ස්වභාවය.
• කාච පිළිබඳ අවබෝධය.
• සැකැස්ම.
• ආලෝකකරණය.
එසේ ම අර්නස්ට් ලින්ඩ්ග්‍රින් පෙන්වා දෙන රූපයක සංරචනය තීන්දු කරන ප්‍රධාන ධාරණා 03 ද මීට සෘජුවම ඥාතිත්වයක් පළ කරයි.එනම්:
• චලනයේ ස්වභාවය.
• කැමරාවේ ස්ථානගත කිරීම.
• ආලෝකකරණයේ ක්‍රමවේදය යනුවෙනි.
ඉහත සියළු කාරණා රංගනය හා සමපාත විය යුතුය.


4.රංගනය.


චලන චිත්‍ර මාධ්‍යයෙන් චරිතයක් ප්‍රදර්ශනය කිරීම බොහෝ දුෂ්කර කාර්යයක් වේ.නවකතාවක් මගින් එය කිරීම එතරම් දුෂ්කර නොවේ.චරිතයක් විස්තර කරනුවා වෙනුවට චලන චිත්‍රය නළුවෙකුගේ යථෝක්ථ චරිතය හැසිරෙන ආකාරයෙන් ඔප්පු කළ යුතුය.චරිතයට ආවේණික ගුණාංග මතුකර පෙන්වීමෙන් ප්‍රදර්ශනය කළ යුතුය.අමරනාත් ජයතිලක උක්ත ප්‍රකාශයෙන් හෙළි කරන පරිදි සාහිත්‍යයේදී ද චරිත නිරූපනය පහසු නැත.නමුදු සිනමාවේදී මසින්,ලෙයින් සපිරි චරිත අපට හමු වේ.නළු නිළියෝ ඒවා රූපනය කරති.නාට්‍ය ශාස්ත්‍රයේදී රූපන ක්‍රමෝපායන යටතේ රංගන ශිල්පියෙකු සතුව ආංගික,සාත්වික,වාචික හා ආහාර්ය යන චතුර්විධි අභිනයක් පිළිබඳ සාකච්ජා වේ.සිනමා කලාවට ඉහත අභිනය වර්ගීකරණය ක්ෂේත්‍ර 3ක් යටතේ පෙන්වා දී ඇත.එනම්:
• තාක්ෂණික හෝ ආංගික.
• මානසික හෝ බුද්ධිමය.
• චිත්ත වේගික හෝ අධ්‍යාත්මික.
රංගන කාර්ය බරපතළ වෙහෙසකර කටයුත්තකි.එය මානසික වෙහෙස මතු නොව භෞතිකවද ශිල්පියා විඩාවට පත්කරන ව්‍යායාමයකි.චිත්‍රයක් අඳින සිත්තරාත්,කවියක් හෝ නවකතාවක් හෝ ලියන ලේඛකයාත් තම ඇතුළු සිත නිර්මාණ ක්‍රියාවලිය සදහා මෙහෙයවති.එහෙත් නළුවා තම ඇතුළු සිත හා ශරීරය පූර්ණ වශයෙන් නිර්මාණාත්මක ප්‍රකාශනය සදහා යොදා ගනී.එබැවින් නළුකම සිත,කය මෙහෙයවා කළයුතු නිර්මාණාත්මක ප්‍රකාශනයකි.උක්ත වෙහෙස වේදිකා නළුවා කෙරේ වඩාත් බරපතල වන්නේ නමුදු සිනමා රංගන ශිල්පියාට නම් අත්වැල සපයන තාක්ෂණික මෙවලම් රැසක් පවතී.එසේම එහි අන්තගාමී වු ඇතැම් සිනමාකරුවන් අපට ගෙනෙන්නේ රංගනා කුසලතා නොව ඉන්ද්‍රජාලික ශිල්ප හරඹයන් ය.මෙම කලාහීන තත්ත්වය සිනමාවට ලැබී ඇත්තේ අධ්‍යක්ෂකවරයාගේ ප්‍රකාශනයේදි නළුවාද එක් උපක්‍රමයක් වීම නිසාය.එහෙත් චිත්‍රපට රංගන කාර්යද විද්‍යුත් තාක්ෂණය පසු කළ යමක් විය යුතු බවට විවාදයක් නැත.


5.සංස්කරණය.


සිනමාව යනු කිසිවිටෙකත් අපට අභිමත අයුරින් එකට ගැස ගසන ලද රූපාවලියක් නොවේ.කිසියම් නිශ්චිත කාල ප්‍රවාහයක් විසින් එක්තැන් කරන ලද මූර්ති පෙළකි.එම මූර්ති හෝ රූප එකට බැඳ තබන පොදු කාල රටාව රූප තුලට බලයෙන් ඇතුළු කළ නොහැකි සේම රූප එකින් එක පිරිද්දීමෙන්ද ජනිත කළ හැක්කක් නොවේ.කාර්මික හා කලාත්මක බහුත්වයක් සහිත විශාල ව්‍යාපාරයක ප්‍රතිඵල ලෙස රූ ගත කරන ලද පටල පට තොගය සංස්කරණ ශිල්පියා අතට පත් වේ.ඒ සියල්ලෙහිම කාර්මික පිටසම දුර හැර හැම අංශුවක්ම කලාත්මක ආවේශයකින් ගවසන්නේ ඔහුය.ලෝක සිනමාවේ මෙම නියාමනය සූත්‍රගත කරන ලද්දේ සර්ජි.එම්.අයිසෙන්ස්ටයින් විසිනි.සංස්කරණය හා රඟපෑම අතර ප්‍රබල සම්බන්ධයක් ඇත.මේ අනුව චිත්‍රපටයක් සාර්ථකව නිර්මාණය කිරීම සඳහා සංස්කරණය අතවශ්‍ය වේ.


6.තිරරචනය.


සිනමා නිර්මාණයට මුල්වන කතා තේමාව නොහොත් කථාව කෙටුම්පත් කර සිනමා බසට අවනත පරිදි නළු නිළියන්ට මග පෙන්වමින් ඇතැම් විට කැමරා උපදෙස් සහිතව ලියවෙන ජවනිකාව,රූපරාමු විස්තර කථනය සිනමා තිරරචනයයි.


7.ආලෝකකරණය.


සිනමාව කාර්මික අභ්‍යාසයකි.සාමාන්‍ය හිරු එළිය හැම විටම කැමරා කාචයට ප්‍රමාණවත් නැත.අපගේ සමට දැනෙන උෂ්ණත්වය නොව වර්ණ උෂ්ණත්වය නම් සාධකය නිරන්තරව ආරක්ෂාකර ගැනීම කැමරා ශිල්පයේදී අවශ්‍ය වේ.ස්වාභාවික ආලෝක තත්ත්වය නො පිරිමසන විට කෘත්‍රීම ආලෝක මූලාශ්‍රය නිපදවා ගැනීමට නිර්මාණකරුවාට සිදුවේ.එය සිදුකරන ශිල්පීය කටයුතුත මෙනමින් හැඳින්වේ.


8.කලා අධ්‍යක්ෂණය.


මෙය චිත්‍රපටයේ යථාර්ත ගුණය හා සෘජුවම සම්බන්ධය.සිනමා කෘතියේ කතාව,කාලය හා පණිවිඩයට ගැලපෙන විශ්වාසනීය පරිසරයක් මවා දීම කලා අධ්‍යක්ෂකගේ වගකීමයි.ඉතාම ගැඹුරින් තම කල්පනා ශක්තිය යොදවා නිවාස,ගෘහ භාණ්ඩ,නළු නිළියන්ගේ ඇඳුම් ආයිත්තම්,ආභරණ,ප්‍රවාහන මාධ්‍ය,මතු නොව පෑන් පැන්සල් දක්වා සියුම් කරුණු ඒ ඒ යුගයට අවශ්‍ය පරිදි ප්‍රතිනිර්මාණය කර රංගන ශිල්පීන්ට ජීවත් වීමට තාර්කික අවකාශයක් නිරිමාණය කරදීම කලා අධ්‍යක්ෂකගේ වගකීම වෙයි.


9.අංග රචනය.


සිනමා කෘතියෙන් අනුදත් චරිත ස්වභාවය පළකරන පෙනුම නළු නිළියන් වෙත පවරා දීම අංග රචනය යනුවෙන් හඳුන්වනු ලබයි.වේශ නිරූපනය,චරිතයේ වයස,සාත්වික ලක්ෂණ,කොණ්ඩය,රැවුල,ඇඳුම්, ආභරණ ,නියපොතු,ඇහි බැම ආදී සියළු දේ අංග රචනයට අයත් වේ.


10.සංගීතය.


සංගීතය වූ කලී ශ්‍රද්ධ වූ කලාවකි. එහෙත් සිනමා සංගීතය වූ කලී ව්‍යවහාර කලාවකි. අධ්‍යක්ෂකවරයාගේ මනදොළ හා අන්තර්ගතයේ ඉල්ලීම සපුරාලිය හැකි සංගීතයක් මගින් සිනමා භාෂාව පෝෂණය කිරීම මෙහි අභිප්‍රායයි.


11.වර්ණ.


මෙම ශීර්ෂය ආලෝකකදරණය හා බැඳුණු දෙයකි.වර්ණ වූ කලී භාෂාවකි. විවිධ සුවිශේෂී වු අවස්ථාවන් ඉස්මතු කොට දැක්වීමට වර්ණ භාවිතා කරනු ලබයි.

2.ශ්‍රී ලංකා සිනමා ඉතිහාසය.

ශ්‍රී ලංකාවේ සිනමා ඉතිහාසය ගත්කළ 1997 දී පහත නම් සදහන් චිත්‍රපට දහය පසුගිය අවුරුදු 50 තුළ නිපදවා ඇති හොඳම චිත්‍රපට ලෙස රාජ්‍ය කමිටුව විසින් හඳුනාගෙන ඇත.


මුල් යුගයේ සංවර්ධනය.(1901-1947)


පළමුවරට 1901 දී ආණ්ඩුකාරයා වෙස්ට් රිජ්වේ හා දෙවන බෝවර් සිරකරුවන් සඳහා පුද්ගලික චිත්‍රපට ප්‍රදර්ශනයක් පවත්වා ඇත.එය ලංකාවේ චිත්‍රපටයක් පෙන්වූ ප්‍රථම වතාව වේ.එය කෙටි චිත්‍රපටයක් වූ අතර,බ්‍රිතාන්‍යයන්ගේ බෝවර් යුධ ජයග්‍රහණය,එලිසබෙත් රැජිණගේ අවමංල්‍ය උත්සවය හා 7වන එඩ්වඩ් රාජ්‍ය ප්‍රාප්තියද ප්‍රදර්ශනය විය.අනතුරුව තව තවත් චිත්‍රපටද ප්‍රදර්ශනය කළ අතර මේවා බිත්‍රාන්‍ය පදිංචිකරුවන් හා ඇංග්ලිකානු සිංහලයින් අතර ප්‍රචලිත විය.ශ්‍රී ලංකාවේ සිනමාව ප්‍රසිද්ධ කටයුත්තක් බවට පත්වූයේ වෙස්වික් මේජර් නැමති ඉංග්‍රීසි ජාතිකයා විසින් වර්ධනය කරන ලද බයිස්කෝප් ප්‍රදර්ශනය නිසාය.මේ චිත්‍රපට දර්ශනය කරනු ලැබූයේ විවෘත ස්ථානයන්හි වන අතර අටවාගත් කූඩාරම් තුළ ඒවා ප්‍රදර්ශනය කරන ලදී.1903 දී ප්‍රථම වතාවට ස්ථීර චිත්‍රපට ශාලා මදක් තියෙටර් මගින් ගොඩ නගන ලදී.මෙම සමාගම ඉන්දියානු චිත්‍රපට ප්‍රදර්ශනය කරනු ලබන අතර,එය සාර්ථක විය.මේ නිසා එහි විරුද්ධවාදී ඔලිම්පියා සමාගම මගින් වෙනත් චිත්‍රපට ශාලා දියුණු කිරීමට පෙළඹිනි.1925 දී රාජකීය වික්‍රමය නම් චිත්‍රපටය ශ්‍රි ලංකාවේදී පලමු වරට නිපදවන ලදී.ආචාර්ය එන්.එම්.පෙරේරා මෙහි ප්‍රධාන චරිතය රඟපෑ අතර,එය ඉන්දියාවේ සහ සිංගප්පූරුවේ ප්‍රදර්ශනය කරන ලදී.නමුත් එම චිත්‍රපටය සිංගප්පූරුවේදී අභිරහසක් ලෙස අතුරුදහන් විය.1933දී පළිගැනීම චිත්‍රපටය කොළඹදී තිරගත විය.1920 හා 1930 ඇමරිකානු තරුවන චාලි චප්ලින්,ග්‍රේටා ගාබෝර්,ජෝන් බැරිමෝ,රෑඩොල්ෆ් වැලෙන්ටීනෝ සහ ඩග්ලස් ෆෙයාබෑන්ක්ස්,කණිෂ්ඨ යන අයලංකාවේ ජනප්‍රිය තරු වූහ.ෂීක්(The shiek)හා බැග්ඩෑඩයේ සොරා (The thief of bagdad)යන චිත්‍රපට විශේෂයෙන්ම ජනප්‍රිය විය.1930 වනවිටදී ,ඉන්දියානු චිත්‍රපට,ඉංග්‍රීසි චිත්‍රපට අභිබවා ජනප්‍රියත්වයට පත්විය.බිල්වා මංගල් නම් චිත්‍රපටය ලංකාවේ ආදායම් වාර්ථා තැබීය.
කඩවුනු පොරොන්දුවට කලින් උපන් සිංහල සිනමාව.
සිංහල කතා නාද වෘතාන්ත චිත්‍රපටය මහජන ප්‍රදර්ශනය සදහා තිරගත වු 1947 ජනවාරි 21 වැනිදා පටන්ය.ඉකුත් විසිවැනි සියවසේ මුල් කාලයේ රට පුරා ජනප්‍රිය නාට්‍යයක්ව වැජඹුණු මීගමුවේ මිනර්වා නාට්‍ය සංගමයේ කඩවුනු පොරොන්දුව නාට්‍ය එනමින්ම චිත්‍රපටයක් ලෙස නිපදවා තිරගත කිරීමෙන්“ප්‍රථම සිංහල චිත්‍රපටය”යන නාමය ඉතිහාස ගතවිය.චිත්‍රකලා මුවිටෝන් නමින් සමාගමක් පිහිටුවා ගෙන කඩවුනු පොරොන්දුව සිංහල චිත්‍රපට වෘතාන්තය නිෂ්පාදනය කළ සුන්දරම් පිල්ලෙයි මදුර නායගම් ,සිංහල සිනමාවේ පියා යැයි විරුදාවලිය හිමිකර ගත්තේය.කඩවුණු පොරොන්දුව අධ්‍යක්ෂණය කළ ජෝතිෂ් සිංහ ප්‍රථම සිංහල චිත්‍රපට අධ්‍යක්ෂකවරයා විය.ඒ කාලයේ ඉන්දියාවේ ජනප්‍රිය අධ්‍යක්ෂකවරයෙකුව සිටි ජෝතින් සිං බෙංගාල ජාතිකයෙකි.බී.ඒ.ඩබ්ලිව් ජයමාන්න,රුක්මනී දේවි,එඩී ජයමාන්න,පීටර් පීරීස්,ජෙමනි කාන්තා,ස්ටැන්ලි මල්ලවආරච්චි,රූපා දේවි,ජේ.බී. පෙරේරා,ඇසලින් බාලසූරිය,ඩී.නිමෝතියස් පෙරේරා,ජෝ.ජයකොඩි,මීරියම් ජයමාන්න,හියුගෝ ප්‍රනාන්දු,එව්ලින් බාලසූරිය,බර්ට්‍රම් ප්‍රනාන්දු,විසිඩෝර් පොන්සේකා,වීඩා පෙරේරා.ප්‍රබාකර් ආදීන් සිංහල සිනමාවේ පෑයූ තාරකා පෙළ වූහ.කතානාද වෘතාන්ත චිත්‍රපටය 1947 ජනවාරි 21 වැනිදා ඇරැඹුණද සිංහල සිනමාවේ ආරම්භය ඉන් එහාට දිව යයි.
සිංහල සිනමාවේ ආරම්භය කවදාද? යන ප්‍රශ්නය නගන විට කඩවුණු පොරොන්දුවෙන් එහා සිතීමට එමට කරුණු කාරණා සොයා ගත හැකිය.මෙකි විමසුම දෙයාකාරයකින් විචාරීම හේතු සහගතය.එනම් ප්‍රථම නිහඬ සිංහල චිත්‍රපටයේ ආරම්භය යනුවෙන් ඉනික්බිති ප්‍රථම සිංහල කතා නාද චිත්‍රපටයේ ආරම්භය යනුවෙනුත් සිංහල සිනමාවේ ඉතිහාසය පුළුල් කරගැනීම යුක්ති සහගතය.ඒ සදහා සෑහෙන ප්‍රවෘත්තීන්ද ඇත.ලෝක සිනමාවේ ආරම්භයද සිදුවූයේ ඒ ආකාරයෙනි.ලෝකයේ ප්‍රථම නිහඬ චිත්‍රපටය මහජනයාට ප්‍රදර්ශනය කොට ඇත්තේ 1895 දීය.ඒ අනුව ප්‍රථම සිංහල කතා නාද වෘත්තාන්ත චිත්‍රපටය තිරගත වනවිට ලෝක සිනමාව අවුරුදු පනස් දෙකක් මුහුකුරා ගිය කලා කර්මාන්තයක්ව පැවතුණි.මේ අනුව සිංහල සිනමාවේ ආරම්භය ලෝක සිනමාවේ අඩසියවසක නූතන තාක්ෂණ වර්ධනය හමුවේ ළාබාල ආරම්භයක් වූ වගයි.එනම් ලොව චිත්‍රපට කලාව අරඹා අඩසියවසකුත් දෑ අවුරුද්දක ප්‍රමාණයකට පසුව සිංහල වෘතාන්ත චිත්‍රපට කලාව බිහිවුණ වගයි.සිංහල සිනමාවේ උපත හෙවත් දේශීය සිනමාවක් බිහිකර ගැනීමේ සංකල්පයේ උපත සෙවීමට නම් “කඩවුණු පොරොන්දුවෙන්” එහාට කල්පනා කළ යුතුය.ඒ අනුව සිංහල සිනමාවේ උපත සිදුවුයේ අවුරුදු අනූවකට ඉහත දී යැයි ප්‍රකාශ කිරීම යුක්ති සහගතය.එනම් කඩවුණු පොරොන්දුව තිරගත වීමට අවුරැදු 24 කට කලිනි.විසිවන සියවසේ මුල් කාර්තුව අගදී එනම් 1923 දී සිංහල සිනමාවක් බිහිකර ගැනීමේ කළල රූපය මෙරට රසික පිරිස් අතළොස්සක් අතරේ පිළිසිද ගෙන ඇත.සිංහල හා අන්‍ය ජාතික පිරිසක් සිංහල චිත්‍රපටයක් නිෂ්පාදනය කරගැනීමේ උත්සාහයේ නිරත විය.1923 දී පටන් ඇරඹි එම සිනමා ප්‍රයන්තය 1947 දී කඩවුණු පොරොන්දුව නමැති ළදරුවා පිළිසද ගැනීමට හේතුවූ කළල රූපී අවස්ථාව විය.සිංහල සිනමාවේ එම දුරාතීතය පිළිබඳව කරුණු සාකච්ඡා කිරීමේදී ප්‍රථම කතා නාද සිංහල චිත්‍රපටයේ උපතට කලින් නිහඬ සිංහල චිත්‍රපටයක උපත සිදුවී ඇති බවයි.එම නිසා සිංහල සිනමාවේ උපත සිදුවූයේ අවුරුදු අනූවකට පමණ පෙරය.ප්‍රථම සිංහල චිත්‍රපටයක් ලෙසින් රාජකීය වික්‍රමය චිත්‍රපට ගත කිරීම ඇරඹුණේ 1923 දීය.මුලින්ම චිත්‍රපට ගත කිරීම සිදුවූයේ කොළඹ බම්බලපිටියේ හිස්ව තිබූ බංගලාවකදීය.එම චිත්‍රපටයේ කැමරා ගත කිරීම කොළඹ දී හා කෝට්ටේ නාවල දියවන්නා ඔය ඉවුරේදී සිදුකොට ඇත.බෝවර් ජාතිකයකු වු ටී.ඒ නුර්බායි මෙහි නිෂ්පාදකයා විය.නුර්බායි සිංහල චිත්‍රපටයක් නිපදවිමට පෙළඹූයේ ඔහු සිනමාවට සම්බන්ධ ව්‍යාපාරිකයකුව සිටි නිසාවෙනි.“රාජකීය වික්‍රමය” අධ්‍යක්ෂණය කළේ ගුප්ත නැමති ඉන්දියානු ජාතිකයෙකි.ඔහු දකුණු ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකි.රාජකීය වික්‍රමය කැමරා ශිල්පියා වූයේද ගුප්තය.චිත්‍රපටයේ ප්‍රධාන කාර්යයන් දෙක සදහා ඉන්දියාවෙන් ශිල්පියෙකු ගෙන්වා ගැනීමට සිදුවූයේ එක්දහස් නවසිය විසි ගණන් වලදීය.ඒ සදහා සිනමා තාක්ෂණ ශිල්පීන් මෙරටේ විරල වීම නිසා සිදුවිය යුතුය.පසු කාලයේදි ලංකාවේ චිත්‍රපට තැනීමේ මුල් යුගයේ ඒවායේ තාක්ෂණික කාර්මික ශිල්පින් වුයේද ඉන්දියානුවන්ය.ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වූයේ ශ්‍රී ලංකා දේශපාලන තලයේ නමක් තැබූ වාමාංශික නායකයකු වු මුදල් ඇමතිවරයෙකු වූ ආචාර්ය ඇන්.ඇම් පෙරේරාය.ප්‍රධාන නිළි චරිතය රඟපෑවේ ලන්සි තරුණියක වූ සිබිල්පිම් නමැති රූමතියකි.ප්‍රථම සිංහල චිත්‍රපට තාරකා වැළට එක්වූ සෙසු නළු නිළියන් වූයේ ග්‍රේෂන් පෙරේරා,එරික් වීරසේකර,ඇන්.ජී.ඩී.ඇල්බට් සිල්වා,රෙජිනෝල්ඩ් පෙරේරා,පර්සි පෙරේරා සහ ඩේවිඩ් මැනුවල් යන ශිල්පීන්ය.නාට්‍ය රඟදැක්වීම සහ නූර්ති ගී ගායනා පැවති එම කාලයේ කාන්තාවෝ එම කාලයේ රඟපෑම් කටයුතු වල යෙදුනේ නැත.නාට්‍යවල ස්ත්‍රී වරිත රඟපෑවේ පිරිමින්ය.එකල සිංහල සමාජයේ ස්ත්‍රීන් රඟපෑමේ නියළීමක් නොවීය.එවන් සමාජ තලයක් පවතිද්දි චිත්‍රපටයේ රඟපෑම සදහා සිබිල් පිම් යොදවා ගැනීම නිෂ්පාදක නූර්බායිගේ සහ අධ්‍යක්ෂක ගුප්තගේ දක්ෂකමක් විය.එම සමාජ පටලය කඩාගෙන සිංහල කතා නාද චිත්‍රපටයෙන් රුක්මනී දේවියද නාට්‍ය වේදිකාවෙන් රද්දොළුවේ නෝනාද රංගනයට එක් වීමෙන් ඉතිහාස ගත වූහ.“ රාජකීය වික්‍රමය චිත්‍රපටයේ දර්ශන තල ඉදිකිරීම් ආදී කලා අධ්‍යක්ෂණය සිදු කළේ සුප්‍රසිද්ධ සිතුවම් ශිල්පියෙකු වු සාර්ලිස් මාස්ටර්ය.එම ප්‍රථම සිංහල චිත්‍රපටය ලංකාවේ රසිකයන්ට බැලීමට අවස්ථාවක් උදා නොවීය.සිංහල සිනමා ඉතිහාසයේ එය අවාසනාවන්ත සිදුවීමකි.ප්‍රථම සිංහල චිත්‍රපටය දැකගත හැකි වූයේ විදේශිකයන්ටය.1925 දී බොම්බාය සහ සිංගප්පූරුවේ ප්‍රදර්ශනය කළ රාජකීය වික්‍රමය බොම්බායේදී ගින්නකින් විනාශවිය.ශ්‍රී ලාංකිකයන්ට නැරඹීමට නිපදවූ සිංහල නළු නිළියන් රඟපෑ,ලංකාවේ පසුබිම් කැමරාවට නැගුණු සිංහල චිත්‍රපටය ගිනි ගැනීමෙන් පසුව එම නෑඹුල් නිෂ්පාදන ක්‍රියාදාමය සිංහල සිනමා වංශකතාවේ මුලින්ම සටහන් වන්නේය.දැවුණේ භෞතික වස්තුවක් වූ සැලෝලයිට් පටයක් වුවත් සිංහල සිනමාවේ ප්‍රථම ප්‍රයන්තය පිළිබඳ අනුවේදනීය සටහන් මැකී නොයන්නේය.ලොව ප්‍රථම නිහඬ චිත්‍රපටය වූ 1895 දී ප්‍රංශයේ ලුමියර් සහෝදරයන්ගේ නිෂ්පාදනය ලෝක සිනමා ඉතිහාසයෙන් මැකී නොයයි.1925 පසු සිංහල චිත්‍රපටයක් නිපදවීමේ ප්‍රයන්තයක් කොළඹ මරදානෙන් දිස්විය.ප්‍රකට සංගීතඥයෙකු වූ මරදානේ නිවැසි ඩබ්ලිව්.දොන් එඩ්වඩ් විසින් “පලිගැනීම” නම් නිහඬ සිංහල චිත්‍රපටයක් නිර්මාණය කරන ලදී.සැබැවින්ම ශ්‍රී ලාංකිකයන්ට දැකගන්නට ලැබුණු පළමු සිංහල නිහඬ චිත්‍රපටය එය විය.1936 දී කොළඹ සිනමා හලක එය ප්‍රදර්ශනය කෙරුණේ ඉංග්‍රීසි චිත්‍රපටයකට අමතරවය.එවකට වේදිකාවේ ජනප්‍රියව වැජඹුණු ඇන්.ආර්.ඩයස් දොන් එඩ්වඩ්,ජෝශජ් සංඝපාල,ශ්‍රියා කාන්තා,එච්.ඩබ්ලිව්.සුගතදාස එහි රඟපෑ නළු නිළියෝ වූහ.“පලිගැනීම”චිත්‍රපටයේ තවත් විශේෂයක්ද වන්නේ එය ලාංකිකයන්ගේ ශිල්පීය දැනුමෙන් නිෂ්පාදනය කර ගත්තක් නිසාය.චිත්‍රපටය නිෂ්පාදනය කළේත් අධ්‍යක්ෂණය සහ කැමරාව මෙහෙය වූයේත් එඩ්වඩ් කලා රසඥයාණන්ය.මෙයට පසුව සිව් වසරක් ඇවෑමෙන් එනම් 1937 දී සිංහල චිත්‍රපටයක් නිර්මාණයට තවත් පිරිසක් උත්සාහ ගන්නා ලදී.ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් වු සී.ඒ.ගාඩිනර්,ඇම්.සවරිමුත්තු,ඇස්.පී.පරෙක් යන අය සමාගමක් පිහිටුවාගේ “ශ්‍රී වික්‍රම රාජසිංහ”නමින් සිංහල චිත්‍රපටයක් නිපදවන්නට තැත් කළේය.එහෙත් දෙවැනි ලෝක යුද්ධය හේතුවෙන් මෙය අසාර්ථක විය.එසේම යුද බිය නිසා 1940 දී කතානාද චිත්‍රපටයක් තැනීමට ගත් උත්සාහයක්ද අතහැරුණේය.“ලෝක දෙකක්” නමින් කතානාද චිත්‍රපටයක් නිපදවන්නට උත්සුක වූයේ රටේ පසුකලෙක වාමාංශික බලකනුවූ රෙජී පෙරේරා,විල්මට් පෙරේරා සහ ඩී.ජී.විලියම් යන දේශපාලනඥයන්ය.ඉන්පසු “ප්‍රේමවතී”නමින්ද “බෑන්ක් මැනේජර්”නමින්ද චිත්‍රපට දෙකක් නිර්මාණය කිරීමට උත්සාහ ගත්තද එය පලක් නොවීය.සිංහල සිනමාවේ ආරම්භක අධ්‍යක්ෂකවරයෙකු හා නිෂ්පාදකයෙකු වූ තංගල්ලේ සිරිසේන විමලවීරයන්ගේ “රොඩී කෙල්ල”නාට්‍ය 1936 දී චිත්‍රපටයට නැගීමට අර ඇදීමක් සිදුවී ඇත.“කඩවුණු පොරොන්දුව”ට කලින් සිංහල චිත්‍රපටයක් සාදා ගන්නා රසිකයන් හා ව්‍යාපාරිකයන් වලි කෑ අයුරු කිසිසේත් අමතක කළ නොහැක.සිංහල සිනමාවේ ආරම්භය ලෙස වර්තමානයේ සලකනුයේ “කඩවුණු පොරොන්දුව”වුවත් එය ඕපපාතිකබිහිවීමක් නොවේ.එයට වසර ගණනාවකට පෙර සිටම ඒ සදහා උත්සුක වූ බොහෝ පිරිසක් වීය.

ආරම්භය(1947)


දකුණු ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදක එස්.එම්.නායගම් ශ්‍රී ලංකාවේ ප්‍රථම චිත්‍රපටය නිෂ්පාදනය සදහා විශේෂ මෙහෙවරක් ඉටු කරන ලදී.1945 දී නායගම් විසින් චිත්‍රකලා මූවිටොන්(Chithrakala Movietone)සමාගම ආරම්භ කර මදුරෙයි සිංහල චිත්‍රපට සෑදීම පිණිසම චිත්‍රාගාරයක් ගොඩනගන ලදී.බොහෝ විකල්පයන් විමසා බැලූ නායගම් අවසානයේ දී ඓතිහාසික වටිනාකමකින් යුත්,සාලිය අශෝකමාලා කථාපුවත චිත්‍රපටයකට නැගීමට තීරණය කළේය.මේ සදහා තිර පිටපතක් සොයා ගැනීමට තරඟයක් පැවැත්වූ අතර,ඉන් සාලිය අශෝකමාලාහි තිර රචකයා වශයෙන් තෝරා ගනු ලැබූයේ එවකට නැගී එන කලාකරුවෙකු වූ ශාන්ති කුමාර්ය.කෙසේ නමුත් අදහස්වල නොගැලපීම නිසා මෙම කටයුත්ත මගදී නැවත්විමට සිදුවිය.අනතුරුව බී.ඒ.ඩබ්ලිව්.ජයමාන්නයන් සමග එක්ව ඔහුගේ “කඩවුනු පොරොන්දුව”නිෂ්පාදනය කිරීමට එකඟතාවයක් ඇති කරගන්නා ලදී.කුමාර් ඔහුගේ තිර පිටපත චිත්‍රපට කිරිමේ අරමුණින් නායගම්ගේ සමාගමින් ඉවත් වී,සිලෝන් තියේටර් සමාගම චිත්‍රපටය සදහා මුදල් වියදම් කිරිමට එකඟකර ගන්නා ලදී.මුලසිට නැවත චිත්‍රපටය ගොඩනැගීමේ භාරදූර කාර්යට මුහුණ දුන් අශෝකමාලා ව්‍යාපෘතිය,කඩවුන පොරොන්දුව චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු ඇරඹී මාස දෙකකට පමණ පසු කොයිම්බටෝර් හිදී තිරගත කිරීම අරඹන ලදී.නායගම්ගේ චිත්‍රපටය 1947 ජනවාරි මස 21වන දින මයිලන්ඩ් හිදී තිරගත විය.අහෝකමාලා චිත්‍රපටය ඉන් මාස 03 කට පසු 1947 අප්‍රේල් මාසයේදී එල්ෆිනිස්ටන් හිදී තිරගත විය.චිත්‍රපට දෙකම ප්‍රේක්ෂකයන් අතර ඉතා ජනප්‍රිය වුවද,විවේචකයන් විසින්,ඒවා දකුණු ඉන්දියානු සිනමාවෙන් උපුටා ගත් දේ යැයි විවේචනයට භාජනය කරන ලදී.

මූලික අවස්ථාව(1947-1955)


කඩවුණ පොරොන්දුවේ සාර්ථකත්වයත් සමඟ,බී.ඒ.ඩබ්ලිව්.ජයමාන්න ඔහුගේ නාට්‍යානුසාරයෙන් චිත්‍රපට වැලැක්ම නිෂ්පාදනය කරන ලදී.මේවා කපටි ආරක්ෂකයා,වැරදුන කුරුමාණම(1948),හදිසි විනිශ්චය(1950),මෙය ජයමාන්නයන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ප්‍රථම චිත්‍රපටය වේ.ඉන්පසු ඔහු විසින් නිෂ්පාදිත සෑම චිත්‍රපටයකම අධ්‍යක්ෂණය ඔහු විසින්ම දරන ලදී.සැඟවුනු පිළිතුර(1951),උමතු විශ්වාසය(1952),කැලෑ හඳ(1953),අයිරාංගනී(1954),මතභේදය(1954),දේව විපාකය(1956),වන ලිය(1958),හදිසි විවාහය(1959),කවට අන්දරේ(1960),ජීවිත පූජාව(1961),මංගලිකා(1963),සහ මගුල් පෝරුව(1967)ජයමාන්නයන්ගේ අභාවය නිසා වෙනත් අධ්‍යක්ෂකවරයෙකු විසින් නිම කරන ලදී.ජයමාන්නයන් දකුණු ඉන්දීය සිනමාවෙන් බොහෝ ක්‍රම විධි ලබාගත් අතර,කලාත්මක චිත්‍රපට සංවර්ධනය සඳහා කිසිදු දායකත්වයක් නොදරන ලදී.ඔහුගේ සිනමාවෙන් බොහෝ ක්‍රම විධි ලබාගත් අතර,කලාත්මක චිත්‍රපට සංවර්ධනය සදහා කිසිඳු දායකත්වයක් නොදරන ලදී.ඔහුගේ චිත්‍රපට බොහොමයකම රුක්මණි දේවී සහ එඩී ජයමාන්න යුගලයේ සහභාගීත්වය තිබූ අතර මෙය ඔවුන් ශ්‍රී ලංකාවේ ප්‍රථම චිත්‍රපට තාරකාවන් බවට පත් කරන ලදී.නිදහසේ උදාවත් සමග,ශ්‍රී ලංකාව තුළට හා පිටතට ගමන් කිරීමට තහංචි පැණවීම නිසා,වියදම් අඩුකර ගැනීම සදහා නායගම්ට ඔහුගේ ව්‍යාපාරය දිවයින තුළට ගෙන ඒමට සිදුවිය.ඔහු කඳාන ප්‍රදේශයේ ඉඩමක් මුදලට ගෙන ශ්‍රී මුරුගන් නව කලා චිත්‍රාගාරය ගොඩනගන ලද අතර(පසුව එය එස්.පී.එම්.චිත්‍රාගාරය ලෙස හදුන්වනු ලැබීය.)එය එවකට රටේ වූ දියුණුම චිත්‍රාගාරය විය.ඔහුගේ ප්‍රථම නිෂ්පාදනය වු බංඩා නගරයට පැමිණේ(1952),මෙය රට තුළ ප්‍රේක්ෂකයන් අතර සාර්ථක විය.එය ප්‍රථම ස්වදේශීය නිෂ්පාදනය වුවද තාක්ෂණය අතින් දකුණු ඉන්දීය තත්ත්වයේම විය.නායගම් ඊළඟට ප්‍රේම තරංගය(1953) හා අභ්‍යන්තර ස්ත්‍රී(1954)නිෂ්පාදනය කරන ලදී.චිත්‍රාගාරයේ පහත් මට්ටම අනුව නායගම් උසස් තත්වයේ ආම්පන්න මිලයට නොගන්නා ලදී.එමනිසා මේවා බොලිවුඩයෙන් ගෙන්වූ ඒවාට සමකළ නොහැකිවිය.මෙම චිත්‍රපට වඩාත්ම දකුණු ඉන්දියානු චිත්‍රපට වට්ටෝරුවලට අනුගත වූ ඒවාය.එවකට නැගී ආ කලාකරුවන් අතර සිරිසේන විමලවීර ප්‍රධාන වශයෙන් කැපී පෙනෙයි.ඔහුගේ චිත්‍රපට බොහොමයක් ඉතිහාසය පදනම් කරගෙන හා අශෝක අධිරාජ්‍යා,රොබින් හුඩ් වැනි ඓතිහාසික චරිතයන් ආශ්‍රිතව ගොඩනැගී ඇත.මේ වකවානුවේ තවත් ප්‍රධාන නිෂ්පාදකවරයෙක් ලෙස කේ.ගුණරත්නම් හැදින්විය හැකි අතර,ඔහුගේ ඉන්දියාවේ සලෙම්හි“මොඩන් තියෙටර්”චිත්‍රගාරයේදි නිෂ්පාදිත සුජාත තාක්ෂණික චිත්‍රපටයක් ලෙස කැපී පෙනෙනු නමුදු එය ශ්‍රී ලාංකීය සංස්කෘතිය විදහා දැක්වීමට අපොහොසත් වී ඇති බව පෙනෙයි.


රේඛාව(1956)

1956 දි වාර්ථාගත නිෂ්පාදක ලෙස්ටර් ජේම්ස් පීරිස් හා ඔහුගේ සම කාර්මික ශිල්පීන් වන ටයිටස් තොටවත්ත හා විලියම් බ්ලේක් යන අය රාජ්‍ය චිත්‍රපට මණ්ඩලයෙන් ඉවත් වූයේ සත්‍ය වශයෙන්ම ශ්‍රී ලාංකික චිත්‍රපටයක් නිෂ්පාසනය කිරීමේ අරමුණෙනි.මේ අරමුණ සිත් දරාගෙන රේඛාව චිත්‍රපටය නිෂ්පාසනය අරඹණ ලද්දේ චිත්‍රාගාර වලින් තොර සාමාන්‍ය පරිසරය හා ඉතා අඩු වියදම් පිරිස් බලයක් යොදා ගැනීමෙනි.මෙහි එන කථා පුවත ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලාංකීය ජන සමාජය හා ඒ ආශ්‍රිත දේ සාකච්ඡාවට බඳුන් කළ අතර එය විශ්ව කර්ම බල ඇති සේන නැමති ගැමියෙකු වටා ගෙතී තිබුණි.එය එවකට ශ්‍රී ලංකාවේ චිත්‍රපට සදහා ප්‍රේක්ෂක පිරිසක් නොමැති නිසා ආදායම් අතින් බිඳවැටුණු නමුත් අන්තර්ජාතික වශයෙන් ඉමහත් ඇගයීමට ලක්විය.කෑන්ස් ජාත්‍යන්තර චිත්‍රපට උළලේ ප්‍රදර්ශනය කිරීම මගින් ඒ බව පැහැදිලි වේ.

රේඛාව ආකාරයට ගොඩනැගුණු කලාව(1957-1963)


රේඛාව චිත්‍රපටය ඉන්දියානු සිනමාවෙන් වැහී තිබූ ශ්‍රී ලිංකික සිනමාව වෙනස් කිරීමට අපොහොසත් වුනු නමුදු,ක්ෂේත්‍රයට එන්නට බලා වුන් කුඩා කණ්ඩායම් වලට මෙය විශාල අනුබලයක් විය.මෙම කණ්ඩායම් අතර කුරුළු රෑන නිෂ්පාදන කණ්ඩායම් වන තිරපිටපත් රචක පී.කේ.ඩී.සෙනෙවිරත්න නිෂ්පාදක ජෝන් අමරතුංග හා නිළි පුන්‍යා හීන්දෙනිය කැපී පෙනෙයි.රේඛාව චිත්‍රපටයෙන් පිබිදුණු අමරතුංගයන්,සෙනෙවිරත්නයන්ගේ කුරුළුබැද්ද ගුවන්විදුලි නාට්‍යය චිත්‍රපටයකට නැගීමට යෝජනා කළේය.සුළු සුළු අඩුලුහුඬුකම් තිබුනද ශ්‍රී ලාංකීය සංස්කෘතියේ විවිධ පැතිකඩවල් ගෙන හැර දැක්වීමට එම චිත්‍රපටය සමත් විය.ප්‍රවීණ නිළි පුන්‍යා හීන්දෙණිය මෙම චිත්‍රපටයේ විශිෂ්ඨ රංගනයක යෙදෙන්නේ පෙර නිළියන්ගේ තිබූ ඉන්දියානු සම්භවය සම්පූර්ණයෙන්ම බැහැරව සත්‍ය වශයෙන්ම ශ්‍රී ලාංකීය ලෙසටය.එය එවකට ශ්‍රී ලංකාවේ අති සාර්ථක වූ අතර එහි වූ ශ්‍රී ලාංකීය බව වඩාත් ඇගයීමට ලක් විය.

ගම්පෙරළිය(1963)


1963 දී ලෙස්ටර් ජේම්ස් පීරිස්,නිෂ්පාදක ඇන්ටන් වික්‍රමසිංහ සමග එකතු වී ජනප්‍රිය නවකතාවක් වූ මාටින් වික්‍රමසිංහයන්ගේ “ගම්පෙරළිය”නවකතාව ඇසුරින් චිත්‍රපටයක් නිෂ්පාදනය කළ අතර,පොදුවේ චිත්‍රපටවල අඩංගුව තිබූ සිංදු,නැටුම්,විහිළු තහළු සහ සටන් වලින් තොර චිත්‍රපටයක් බවට එය පත්විය.මෙය කලාත්මක එකක් වුවද වාණිජමය සාර්ථකත්වයක් ලබා ගැනීමට සමත්විය.මෙම චිත්‍රපටය නවදිල්ලියේදී පැවති තුන්වන ජාත්‍යන්තර චිත්‍රපට උළලේදී රජත මොණර සම්මානය(Golden Peacock Award ) හා විචාරකයන්ගේ තිළිණයද(Critics Prize)ලැබිණි.
කලාත්මක පිබිදීම(1964-1970)
ගම්පෙරළිය චිත්‍රපටයේ සාර්ථකත්වය,ශ්‍රී ලංකා චිත්‍රපටවල මාර්ගය විශාල වශයෙන් වෙනස් කරන ලදී.ගම්පෙරළිය ප්‍රදර්ශනයෙන් පසු මෙතෙක් ඉවත දමා තිබූ,සැබෑ බාහිර දර්ශන අඩංගු චිත්‍රපට නිෂ්පාදනයට යුහුසුළු විය.සෙනෙවිරත්න නැවතත්,ගැමි දිවිය පිළිබඳව වූ “පරසතු මල්”නැමති තිර රචනය සමග මතුවිය.මෙවර ඔහුට චිත්‍රා බාලසූරිය නැමති පොහොසත් නිෂ්පාදකයකුගේ සහාය ලැබුණ අතර ඔහු අමරතුංගයන් මෙන් ආර්ථික අපහසුතාවලට නොවැටෙනු ඇත.බාලසූරිය කලාත්මක චිත්‍රපට නිපදවීම පිළිබඳව හොඳ උනන්දුවක් දැක්වූ අතර ඔහුට උවමනා වූයේද ගම්පෙරළිය වැනි චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමටය.මෙහිදී ගෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ බිරිඳ වන සුමිත්‍රා පීරිස් මහත්මිය තාකෂණ අධ්‍යක්ෂක ලෙස යොදාගෙන,ගාමිණී ෆොන්සේකාට අධ්‍යක්ෂණයේ අවස්ථාවක් දෙන ලදී.ඔහු රේඛාව චිත්‍රපටයේද මෙවැන් තත්ත්වයක සිටින ලදී.කැමරාකරු සුමිත්ත අමරසිංහ වූ අතර,රජයේ චිත්‍රපට ඒකකයේ පුහුණුවලත් ඔහු බාහිර කැමරාකරණය පිළිබඳව පුහුණුවක් ලබා ඇත.
1956දී සෙරන්ඩිබ් නිෂ්පාදකයන්(Serandib Productions)ද කලාත්මක නිෂ්පාදනයට අනුකූලව සාරවිට නැමති චිත්‍රපටය නිෂ්පාදනය කරන ලදී.ජෝ අබේවික්‍රම නැමති විකට නළු පළමු වරට ශ්‍රී ලංකා සිනමාවට එකතු වන ලදී.එම වසරේ ජාතික තිළිණයන් බොහොමයක්ම මෙම චිත්‍රපටය විසින් දිනා ගන්නා ලදී.සන්දේශය චිත්‍රපටයෙන් පසු ටයිටස් තොටවත්තයන්,ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගෙන් ඉවත් වී චණ්ඩියා චිත්‍රපටය එම අවුරුද්දේම අධ්‍යක්ෂණය කරන ලදී.
ජී.ඩී.එල්.පෙරේරා ඔහුගේ කලා පෙළ සමග වෙනමම අංශයකට යොමුවෙමින් සමකාලීන නාගරික වටපිටාවක “දහසක් සිතුවිලි”නැමති චිත්‍රපටය නවතම කැමරාවකින් හා විශේෂිත ප්‍රේරණයක් යොදා පළමු වරට ශ්‍රී ලංකා සිනමාවේදී පටිගත කරන ලදී.පෙරේරා සහ ඔහුගේ කණ්ඩායම ග්‍රාමීය ජීවිතය අලලා සාමා නැමති චිත්‍රපටය නිපදවන ලද අතර එය අතිශය ජනප්‍රියත්වයට පත්විය.
සිරි ගුණසිංහයන්ගේ සත්සමුදුර 1966 දී නිෂ්පාදිත ඉතාමත් සාර්ථක චිත්‍රපටයක් විය.මෙය ධීවර වටපටාවක් පිළිබඳ වන අතර දෙනවක හාමිනේ,එඩ්මන්ඩ් විජේසිංහ හා සිරිල් වික්‍රමගේ යන අය රඟපෑමෙන් එක්විය.ගුණසිංහයන්ගේ නවතම සිනමා උපක්‍රම,එනම් ඉතා බහුල ලෙස සමීප රූප යෙදීම විය.තිර රචනයෙන්,අධ්‍යක්ෂනයෙන් ගුණසිංහයන් සමග සිටියේ වසන්ත ඔබේසේකරය.සංස්කරණය හා ඡායාගත කිරීම කරන ලද්දේ ඩී.බී.නිහාල් සිංහයන් විසිනි.මේ අවධියේදි නිෂ්පාදිත වෙනත් වැදගත් චිත්‍රපට වනුයේ වසන්ත ඔබේසේකරගේ “වෙස්ගත්තෝ” සහ ඩී.බී.නිහාල් සිංහයන්ගේ “වැලි කතර, නිම්වළල්ල” මහගම සේකරයන්ගේ“තුංමන් හංදිය” හා පියසිරි ගුණරත්නයන්ගේ “මොකද වුණේ” සහ සුගතපාල සෙනරත් යාපාගේ “හන්තානේ” යනාදියයි.
පමාවූ සංවර්ධනය මුදුන්පත් කරගැනීම(1971-1976)
1971දී සමාජවාදී රජයක් රටෙහි බලයට පත්වෙන ලදී.චිත්‍රපට කර්මාන්තය කෙරෙහි යම්කිසි පාලනයක් ඇති කිරීමට ඔවුන් උත්සුක වූ අතර චිත්‍රපටයක් නිෂ්පාදනයට පෙර මූලික අවශ්‍යතා සමහරක් සම්පූර්ණ කළයුතුව තිබුණි.මේ සමයේදී,නිදහස් වූ දක්ෂතාවන් පිළිඹිබු කරමින් ඉදිරියට ආ සිනමාව,බාල වාණිජ චිත්‍රපට ගලා ඒම නිසා ඉවතට විසිවී ගියහ.මෙය ඇතිවූයේ අලුතින් ඇතිකරන ලද රජයේ ණය දීමනා නිසාවෙනි.ටයිටස් තොටවත්තයන් හා ලෙස්ටර් ජේම්ස් පීරිස් යන දෙදෙනා කලාත්මක චිත්‍රපට නිපදවීම පිළිබඳ ප්‍රධාන තැනක් ගන්නා ලදී. තොටවත්ත,හාර ලක්ෂය,සිහසුන,සාගරිකා සහ මංගල යන චිත්‍රපට නිපදවා තාක්ෂණ දක්ෂතා තත්ව සමග සම්මිශ්‍රණය කර ප්‍රධාන ප්‍රේක්ෂක ආකර්ෂණය ඩැහැගත් අතර,රජයේ යම් යම් තහනම් තිබුණද,ලෙස්ටර් ජේම්ස් පීරිස් ඔහුගේ ඉතාම වැදගත් කෘතීන් මෙම අවධියේදී නිපදවීමෙන් වඩාත් සාර්ථක විය.ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් 1972 දී නිෂ්පාදිත නිධානය චිත්‍රපටය අවුරුදු 50 ක් ඇතුලත නිපදවූ විශිෂ්ටම චිත්‍රපටය ලෙස රජයේ මණ්ඩලයක් විසින් තීරණය කරන ලදී.එහි ගාමිණීගේ හා මාලිනීගේ රඟපෑම් අති දක්ෂ වූ අතර පීරිස්ගේ අධ්‍යක්ෂණයද අති දක්ෂ විය.පීරිස්ට එය ජාත්‍යන්තර සාර්ථකත්වයක් වූ අතර වැනීසියේදී පවත්වන ලද ජාත්‍යන්තර චිත්‍රපට උළලේදී සිලිවර් ලයන් ඔෆ් සෙන්ට් මාර්ක්(Silver Lion Of St.Mark Award)දිනාගැනීමට හැකි වූ අතර එම අවුරුද්දේදී කැපී පෙනෙන චිතුපටය බවටද පත්විය.ලන්ඩන් චිත්‍රපට උළලේදී ඩිප්ලෝමා සහතිකයක් ලද අතර ඔහුගේ මෙම සමයේ පසු නිෂ්පාදන ඉතා සාර්ථක විය.යාපාගේ හන්තානේ කථාවෙහි වැඩකළ ධර්මසේන පතිරාජ,ඔහුගේම අධ්‍යක්ෂණයක් වූ අහස් ගව්ව සමගින් 1974 දී මතුවිය.එයට නාගරික තාරුණ්‍යයේ ජීවය අල්ලා ගැනීමට හැකි වූ අතර සිරිල් වික්‍රමගේ වැනි නළුවනට වඩා හොඳ කලාත්මක කෘති වලට සම්බන්ධ වීමේ හා දියුණු වීමේ අවස්ථාව ලැබුණි.ඔබේසේකරද සමාන වූ තේමාවක් ඔහුගේ කෘතියන්හිදී අනුගමනය කරන ලදී.
යලි මතුවීම(1977-1983)
1977 ජන්දයත් සමගින් වඩාත් ධනවාදී පක්ෂයක් බලයට පැමිණි අතර පනවා තිබූ සමහර තහනම් ඉවත් කරන ලදී.සුමිතරා පීරිස් ,ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ බිරිඳ 1978 දී ගැහැණු ළමයි සමගින් ඇගේ අධ්‍යක්ෂණ සම්ප්‍රාප්තිය සිදු කළාය.එය ග්‍රාමීය ගැහැණු ළමයෙකු කෙරෙහි සමාජ බලපෑම් කෙළෙස ඇතිවන්නේද යන් පෙන්වූ අතර එය වසරේ හොඳම චිත්‍රපටය බවට පත්විය. පීරිස් මහතාගේ ඊළඟ චිත්‍රපටය වූයේ 1980 නිෂ්පාදිත ගඟ අද්දර චිත්‍රපටයයි.මෙය ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගේ සිත්සතන් බැඳගන්නා සුළුවූ,රට තුළ වාර්ථාගත සියළු ආදායම් අභිබවා ගිය එකක් විය.විවේචකයන්ගේද ප්‍රශංසාවටද ලක් විය.
මෙම කාලය තුළ පතිරාජ විසින් “එයා දැන් ලොකු ළමයෙක් 1977දී, බඹරු ඇවිත් 1978දී, පොන්මනී සහ සොල්දාදු උන්නැහේ 1981 දී” අධ්‍යක්ෂනය කරන ලදී.පතිරාජගේ පොන්මනී චිත්‍රපටය දමිල භාෂාවෙන් නිෂ්පාදනය වූවකි.දමිල සිනමාව රටතුළ වර්ධනය කිරීමේ අදහසින් එම චිත්‍රපටය කරන ලදී.1979 දී ඔබේසේකරයන් ඔහුගේ ඉතාමත් අගය කල චිත්‍රපටය වූ පළගැටියෝ නිර්මාණය කරන ලදී.ඔහුගේ ඊළඟ චිත්‍රපටය වූ 1983 දී නිෂ්පාදිත දඩයමටද හොඳ ප්‍රතිචාරයක් ලැබුණි.

පිරිහීම(1983-1990)
සිංහල සිනමා නිර්මාණ වල ආකර්ෂණය බිඳවැටීමට බලපෑ හැකි ප්‍රධානම සාධකය ලෙස ඩී.බී.නිහාල්සිංහ ඇතුළු ප්‍රබල සිංහල සිනමාකරුවන් රැසක්ම සිය අදහස් 1980 දශකයේ මුල සිටම ඉදිරිපතත් කරඇත.සිනමා රසවිඳීමට ප්‍රේක්ෂකයා නොපැමිණියේ නම් එකී සිනමාවේ බිඳවැටීම නිසැකය.70 හා 80 දශකයේ ස්වර්ණමය යුගයෙන් පසු නූතන සිංහල සිනමාව එබදු ප්‍රේක්ෂකයා ආකර්ෂණය කරගන්නා නිර්මාණ බිහිනොකිරීම නිසා සිංහල සිනමාව ආගාධයට ගමන්කොට ඇත.මෙම අවදියේ ඉතා වැදගත් චිත්‍රපටය වූයේ සුමිත්‍රා පීරිස්ගේ “සාගර ජලය මදි හැඬුවා ඔබ හින්දා”, මාටින් වික්‍රමසිංහයන්ගේ විරාගය නවකතාව ඇසුරින් තිස්ස අබේසේකර නිපදවූ විරාගය(1988) සහ ඩී.බී.නිහාල්සිංහයන්ගේ රිදී නිම්නය(1983),මල්දෙනිය සිමියොන්(1986), සහ කෙළි මඬල(1991) වේ.
ස්වාධීන චිත්‍රපට සාදන්නන්ගේ නැගටීම.(1990-2000)
ශ්‍රී ලංකා සිනමාවේ ඉතා වැදගත් චිත්‍රපට සාදන්නකු වූ ප්‍රසන්න විතානගේ ඔහුගේ ප්‍රථම චිත්‍රපටය වූ “ සිසිල ගිනිගනී(1992), අනන්ත රාත්‍රිය(1995) ” නිර්මාණය කරන ලදී.දෙවැන්න ඉතා සාරථක එකක් වූ අතර ජාත්‍යන්තර චිත්‍රපට උත්සව රාශියක ප්‍රදර්ශනය කළ අතර තිළිණ රාශියක් හිමිකර ගන්නා ලදී.අවුරුදු දෙකකට පසු නැවතත් විතානගේ “පවුරු වළලු”නැමති පැරණි නාට්‍ය නීටා ප්‍රනාන්දු නිළිය යොදා නිර්මාණය කරන ලදී.ඔහුගේ දශකයේ අවසාන චිත්‍රපටය වූ“පුරහඳ කළුවර” ශ්‍රී ලංකාවේ සොල්දාදුවන්ගේ පවුල් වලට සිවිල් යුද්ධය බලපාන්නේ කෙසේදැයි පරීක්ෂණයට පත්කරන ලදී.ප්‍රධාන භූමිකාව රඟපෑ ජෝ අබේවික්‍රම,භාවනායෝගී රඟපෑමක නිරත වූ අතර මෙම චිත්‍රපටය විතානගේගේ විශිෂ්ට නිපැයුමක් ලෙස සලකන ලදී.


3.ශ්‍රී ලංකා සිනමාවේ විවිධ දශකයන්.


1947 න් ආරම්භව වර්ථමානය දක්වා ගෙවි ගිය දශක ගණනක කාලය තුළ සිංහල සිනමාවේ ස්වර්ණමය ජයන්තිය පසුවී දශක දෙකක් පමණ ගතවී මුත් වර්තමාන සිනමා කලාවේ පුනරුද අවධියක් මෑත දශකයන් තුළ දක්නට නොවීම කනගාටුවට හේතුවකි.වසරක සාමාන්‍යයෙන් තිරගත වූ සිංහල චිත්‍රපට සංඛ්‍යාව හතක් හෝ අටක් වූ පනහ දශකයේ රේඛාව හැරෙන්නට සිංහල යැයි සැලකීමට හැකි චිත්‍රපට බිහිවූවාදැයි සැකයකි.එකළ ජනප්‍රියව පැවති වේදිකා නාට්‍ය විශේෂයෙන් මීගමුවේ මිනර්වා නාට්‍ය කණ්ඩායමේ ජනප්‍රිය නාට්‍ය ඉන්දීය චිත්‍රාගාර වලදී රෑගත කොට මෙරට සිනමාශාලා වල ප්‍රදර්ශනය කළද එය අපගේ චිත්‍රපටද යන්න ප්‍රේක්ෂකයන්ට ප්‍රශ්නයක් වූ බව නොපෙනෙයි.ප්‍රථම කතානාද චිත්‍රපටය,කඩවුණු පොරොන්දුව චිත්‍රපට විචාරක ජයවිලාල් විලේගොඩගේ හැඳින්විම අනුව එකළ භාෂා දොළහක් කතාකරමින් සිටි ඉන්දීය සිනමාවට තවත් එක් භාෂාවක් එකතු වීම පමණි.බී.ඒ.ඩබ්ලිව් ජයමාන්න මෙන් නොව ඔහුට සමගාමි චිත්‍රපටකරණයට පැමිණ සිරිසේන විමලවීරගේ චිත්‍රපට දේශිය කතා වස්තු මත නිර්මාණය වූ චිත්‍රපට විය.එහෙත් ඒවා චිත්‍රපට ලෙස සැබෑ කලාත්මක ගුණයෙන් වියුක්ත,සැබෑ ලෝකයෙන් ඈත්වූ නිර්මාණ විය.මේ දශකයේ චිත්‍රපට සඳහා සම්මත වට්ටෝරුවක් වූ බව පැහැදිලිය.පෙම්වතා,පෙම්වතිය,දුෂ්ටයා,දුප්පත් පෙම්වතා හෝ දුප්පත් පෙම්වතිය,කුලවන්ත,කුලහීන පවුල්,පැය තුනක හෝ ඊට වැඩි කාලයක් තුළ දර්ශනය වූ චිත්‍රපටයක යටත් පිරිසෙන් ගීත දහයක් හෝ දොළහක් වූ බව පෙනෙයි.කඩවුනු පොරොන්දුවෙහි ගීත දොළහක් වූ අතර,අශෝක මාලාහි ගීත දහයක් විය.වට්ටෝරුවට අවශ්‍ය කරන භාණ්ඩ අතර මල්වතු,මුහුදු වෙරළ පෙම් ජවනිකා,සිහින දකිමින් ගයන ගීත,පෙම්වතාගේ පාර්ශවය හා දුෂ්ටයාගේ පාර්ශවය අතර සිදුවන සටන් ජවනිකා,සමාජ ශාලා දර්ශන,ස්ත්‍රීන් පැහැරගෙන යාම් මෙන්ම නිත්‍ය විහිළු කරුවන්ගේ හාස්‍යයෙන් තොර විහිළු තහළුද චිත්‍රපටයේ අනිවාර්ය අංග වේ.එහෙත් පනහ දශකයේ ආරම්භයේදීම සිංහල සිනමාවේ තිස්නම වන චිත්‍රපටය ලෙස ආචාර්ය ලෙස්ටර්ගේ රේඛාව නරඹන්නට ලැබුණද එය සිංහල සිනමා වංශ කතාවේ සැබෑ සිංහල චිත්‍රපටය ලෙස සටහන් වුවද හැටේ දශකයට පිවිසෙන තෙක්ම ලංකාවේ යැයි කිව හැක් චිත්‍රපටයක් තිරගත නොවු බව ඉතිහාසය පවසයි.
හැටේ දශකයේ ඇරැඹුමෙහිදීම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් රේඛාවට නොදෙවැනි වූ වෙනස් සිංහල චිත්‍රපටයක් ප්‍රේක්ෂකයන්ට පිරිනමමින් ඉන්දීය සිනමාවේ ආභාසයෙන් මිදී අපූරු චිත්‍රපටයක් ලෙස පොදුජන ප්‍රේක්ෂකයන්ට ළං වූ සංදේශය ඉතිහාසයට එක් කළාය.මිහිරි ගීත හතකින් අපූර්ව ගේය පද රචනයෙන් ස්වතන්ත්‍ර ගී තනුවලින්,මිහිරි ගායනාවෙන් පොහොසත් වූ සංදේශයෙහි නළුවරණයද (Casting)නව හැඩයක් ගත් සෙයක් පෙනිණි.වට්ටෝරු ලක්ෂන වලින් මිදුණු සංදේශයෙහි රඟපෑ කාන්ති ගුණතුංග ,අයිරාංගනී මීදෙණිය ,ගාමිණී ෆොන්සේකා ,ෂේන් ගුණරත්න, ආතර් වැන්ලැන්ගන්බර්ග් ,රෙග් වැන්ක්‍යුලන්බර්ග්(පෘතුග්‍රීසි කපිතාන් හැලයිතන්)වින්සන්ට් වාස්,හියුගෝ ප්‍රනාන්දු,ඩේව්ඩ් ධර්මකීර්ති ආදීන්ගේ රංගන ඉතා ඉහළ තලයක වීය.ප්‍රධාන චරිතයට තෝරාගෙන තිබූ ආනන්ද ජයරත්නයන්ගෙන් කැරලි නායකයා ලෙස අවශ්‍ය වූ රංගනය ඉදිරිපත් නොවූබව විචාරක මතය විය.හැටේ දශකය ආරම්භක දශකයට වඩා ප්‍රේක්ෂක ප්‍රසාදයට ලක්වූ චිත්‍රපට ප්‍රදර්ශනය වූ දශකයක් වීම පෙනෙයි.ඉන්දීය ආභාසයෙන් කෙමෙන් මිදී කලාත්මක මෙන්ම ජනප්‍රිය වාණිජ ලකුණුද සටහන් කළ චිත්‍රපට රැසක්ම ප්‍රදර්ශනය වීම කැපී පෙනෙයි.කුරුළු බැද්ද,රන්මුතු දූව, සිකුරු තරුව, ගම්පෙරළිය, ගැටවරයෝ, චණ්ඩියා, සාරවිට, දෙලොවක් අතර, සත්සමුදුර, පරසතු මල්,රන්සළු,ගොළු හදවත ,දහසක් සිතුවිලි,හන්තානේ කතාව,බක්මහ දීගේ ඒ අතර වේ.ඉනදු ගම්පෙරළිය මෙරට සිනමා වංශ කතාවට ලෝක සිනමාවේ පරිච්ජේදයක් වෙන් කරමින් 1965 නවදිල්ලි ජාත්‍යන්තර චිත්‍රපට උළලේදී හොඳම චිත්‍රපටයට හිමි රණ මයුර සම්මානය දිනා ගත්තේය.හැටේ දශකයට ඒ වූ කලාත්මක චිත්‍රපට රැසක්ම ආචාර්ය ලෙස්ටර්ගේ අධ්‍යක්ෂණය වීමද විශේෂයෙන් සඳහන් කළ යුතුය.
1967 වර්ෂයේ සත් සමුදුර තිරගත වීම මෙරට කලාත්මක සිනමාවේ නව දිශානතියක ඇරැඹුම විය.ආචාර්ය සිරි ගුණසිංහ,වසන්ත ඔබේසේකර ,ඩී.බී.නිහාල්සිංහ වැන්නන්ගේ ආගමනය සාකල්‍යයෙන්ම වැදගත් විය.
සිංහල සිනමාවේ තුන්වන දශකය,එනම් 1970න් ඇරැඹෙන අවධිය සිනමා වංශකතාවේ ස්වර්ණමය යුගය ලෙස පෙන්වාදිය හැකිය.චිත්‍රපට කලාවේ මෙන්ම කර්මාන්තයේද පෙරළියක් වූ දශකයක් වන්නේ මෙරට චිත්‍රපට කර්මාන්තය රජයේ පාලනය යටතට පත්කිරීමට එදා බලයට පත්වූ සමඟි පෙරමුණු රජය කටයුතු කිරීමයි.මැතිවරණ ව්‍යාපාරයේදී නළු නිළි හවුල චිත්‍රපට කර්මාන්තය සඳහා රාජ්‍ය සංස්ථාවක් ඉල්ලා හඬ නැඟූ අතර 1972 දී ප්‍රථමවරට මෙරට සිනමා කර්මාන්තය වෙනුවෙන් රාජ්‍ය චිත්‍රපට සංස්ථාව පිහිටුවනු ලැබීය.හැත්තෑව දශකය ආරම්භයේදීම සිනමාවට පිවිසුණ පූර්ව අත්දැකීම් සහිත වසන්ත ඔබේසේකර මෙන්ම කලාංශ රැසකම ප්‍රතිභාන්විතයා වූ මහගම සේකර තම ප්‍රථම සිනමා නිර්මාණය තුංමං හන්දිය සමග සිනමා වංශකතාවේ දෙසිය දහඅටවන චිත්‍රපටය සටහන් කිරීමද මේ දිගු ගමනෙහි මතක අතරෙහි සිහිවේ.70 දශකය ඇරැඹුමෙහිදීම මෙරට සිදුවූ දේශපාලන පෙරළියෙන් පසු ඇතිවූ තරුණ පිබිදීම මෙරට සියළු කලාවන්හි මෙන්ම ජන ජීවිතයෙහිද වෙනස්කම් රැසකට බලපෑම් කළ අවස්ථාවක් විය.1971 කැරැල්ල යනුවෙන් සඳහන් වූ රැකියා විරහිත,උගත් තරුණ පිරිසකගේ පිබිදීම සිනමාව,සාහිත්‍යය,සංගීතය,වේදිකා නාට්‍ය ආදී වූ සමස්ථ ලංකාවේම පරිවරිතිත යුගයක ඇරැඹුම ලෙස සටහන් කළ හැකිය.සිනමා කලාවේ සිදුවූ පරිවර්තනය පෙර නොවූ විරූ සිනමාත්මක හා කලාත්මක සිනමාවක් වෙනුවෙන් බිහිවූ සුන්දර අවධියක් සේ මතකයට නැගෙයි.චිත්‍රපටයෙන් අප දන්නා හඳුනන ගැහැණුන්,මිනිසුන් ඔවුන්ගේ චර්යාවන් අන්තර් සම්බන්ධතා යෞවනය,විවාහ ජීවිතය,සමාජ හා දේශපාලන සාධක,විරැකියාව,ජාතීන් අතර වූ විරසකය ආදී තේමා මත බිහිවූ චිත්‍රපට රාශියක නම් ගම් හැත්තෑව දශකය පුරා සිනමා වංශ කතාවේ ලියැවිණි.මේ දශකයෙහිද පෙර දශකය මෙන් සිංහල සිනමාවේ විශිෂ්ටම අධ්‍යක්ෂකවරයා ලෙස සැලකෙන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ නිධානය,1972 දී තිරගත වීම ගම්ලෙපරළියෙන් පසු නිර්මාණය වූ විශිෂ්ට නිර්මාණයකි.තරුණ අධ්‍යක්ෂකවරුන්ගේ ආගමනය මෙන්ම ඔවුන්ගේ බොහෝ නිර්මාණ සඳහාද 70 දශකයේ සිනමා ඉතිහාසය කෙරෙහි විශාල ඉඩකඩක් හිමිව තිබේ.ඩී.බී.නිහාල්සිංහයන්ගේ වැලිකතර(1971),ධර්මසේන පතිරාජගේ අහස් ගව්ව (1974),එයා දැන් ලොකු ළමයෙක් (1977) ,දෑස නිසා (1975), කළුදිය දහර (1975),වසන්ත ඔබේසේකරගේ වල්මත් වූවෝ (1976),පතිරාජගේ බඹරු ඇවිත් (1978),සුනිල් ආරියරත්නගේ සරුංගලේ (1979),වැනි සිනමා නිර්මාණ නොදැවී, එහෙත් මන්දගාමී පිතිකරුවෙකුගේ පහරදීම් සිහිගන්වන වර්තමාන සිංහල සිනමාවේ ජවසම්පන්න නිර්මාණ වෙති.අහස් ගව්ව යෞවන ජීවිත හරස්කඩක අභ්‍යන්තරය සලකුණු කළ අතර,වල්මත් වූවෝ උගත් තරුණ පරපුරෙන් අපේක්ෂා භංගත්වය,ඔවුන්ට මුහුණ පෑමට සිදුවූ විරැකියා ප්‍රශ්නය දෙස නව දෘෂ්ටියකින් කතා කිරීම,ධීවර ගම්මානයක සුපුරුදු ජන ජීවිතය දෙදරවා ගිය නාගරික ව්‍යාපාරික තරුණ බලවේග හැසිරීම් ස්වභාවය ප්‍රතිනිර්මාණය වූ බඹරු ඇවිත් සිනමාරූපී සිනමාවක හැඩරුව සිනමා කෘති වේ.1976 දී තිරගත වූ දුහුළු මලක්,ආදරය,විවාහ ජීවිතය,අසම්මත ප්‍රේමය ආදී වූ ප්‍රශ්න හමුවේ ස්ත්‍රී පුරුෂ හැසිරීම් එමගින් ඔවුන්ගේ ජීවිත මුහුණ දෙන ඛේදවාචකය අසම්මත ආදරයේ සුකුමාරත්වය,අපූරුවට ප්‍රකට කළ චිත්‍රපටයක් ලෙස ප්‍රේක්ෂක සිත් සතන්හි රැඳී පවතී.හැත්තෑව දශකයේ අගභාගයේ තිරගත වූ සුනිල් ආරියරත්නගේ සරුංගලේ චිත්‍රපටය,මේ දශකයේ විශිෂ්ට චිත්‍රපට අතරට එක්වන්නේ එහි තේමාව වූ කාලීන බවද සිනමා කෘතියක් ලෙස එහි නිර්මාණාත්මක බව නිසාය.
අසූව දශකය තුළ තිරගත වු චිත්‍රපට අතර කලාත්මක සිනමා නිර්මාණ සේ සැලකියට හැකි චිත්‍රපට අල්පයකි.තරුණ අධ්‍යක්ෂකවරයෙක් ලෙස වේදිකාවෙන් සිනමාවට පැමිණි ධර්මසිරි බණ්ඩාරනායකගේ හංස විලක්(1980),තිස්ස අබේසේකරගේ කරුමක්කාරයෝ(1980),ධර්මසේන පතිරාජගේ සිරිබෝ අයියා(1980),ඩී.බී.නිහාල්සිංහයන්ගේ රිදී නිම්නය(1982),වසන්ත ඔබේසේකරයන්ගේ දඩයම(1983),කැඩපතක ඡායා(1989),පරාක්‍රම නිරිඇල්ලගේ සිරිමැදුර(1989) වැනි චිත්‍රපට වුවත් දශකයේ විශිෂ්ටතම සිනමා කෘතිය වන්නේ වසන්ත ඔබේසේකරගේ දඩයමයි.අසූව,අනූව දශකය තුළ මෙරට සිනමාවේ ජනප්‍රිය හා වාණිජමය ලක්ෂණ වලින් හෙබි සිනමා ශාලාවට ප්‍රේක්ෂකයන් කැඳවා සමත් වූ චිත්‍රපට නිර්මාණය කළ අධ්‍යක්ෂකවරුන් අතර එච්.ඩී.ප්‍රේමරත්න,ටී.අර්ජුන,කේ.ඒ.ඩබ්ලිව්.පෙරේරා ආදීන් වේ.
අතීතයෙන් වර්තමානයට සෙමෙන් පියනගන සිංහල සිනමාව පෙරදා සිට වර්තමානය තෙක්ම සිනමාව අත්නොහැර සිටින ධර්මසේන පතිරාජ,සුමිත්‍රා පීරිස්,සුනිල් ආරියරත්න,බුද්ධි කීර්තිසේන,උදයකාන්ත වර්ණසූරිය,සෝමරත්න දිසානායක,බෙනට් රත්නායක,ඉනෝකා සත්‍යාංගනී,ජැක්සන් ඇන්තනී,ජයන්ත චන්ද්‍රසිරි ආදී ප්‍රවීණ හා නවීන සිනමාකරුවන්ගේ නිර්මාණ හේතුකොට ගෙනද,අනූව දශකය පමණ සිට මෙරට සිංහල සිනමාව,එතෙර සිනමාවට යා කරන්නට තම නිර්මාණ කෞශල්‍යය ප්‍රදර්ශනය කරනු ලබන ප්‍රසන්න විතානගේ,අශෝක හඳගම,විමුක්ති ජයසුන්දර,ප්‍රසන්න ජයකොඩි වැනි තරුණ නිර්මාණකරුවන්ද හැත්තෑව පසු කරන වයෝවෘද්ධ සිනමාව,පා පැටලී බිම ඇද වැටෙන්නට නොදී රැකගැනීමට උත්සාහ ගත්තක් වේ.මේ පිරිස ගමන් ගන්නා මගෙහිද සිනමා මාධ්‍යය හඳුනාගෙන නිර්මාණකරනයේ නිරතව සිටින ජවසම්පන්න නව තරුණ පරම්පරාවක මුහුණුද වර්තමානයේ දක්නට ලැබෙයි.

4.ශ්‍රී ලංකා සිනමාවේ නූතන යුගය(2000-වර්ථමානය දක්වා)


ලෝක ප්‍රසිද්ධ කෑන්ස් චිත්‍රපට උළලේ(Cannes Flim Festival)දී කැමරා ඩී.ඕර් (Camera d’Or) නැමති ගෞවරණීය සම්මානය දිනා ගැනීමට,ප්‍රථම ශ්‍රී ලාංකිකයා වූ විමුක්ති ජයසුන්දරට “සුලඟ එනු පිරිස(2005)”නිපයුමෙන් හැකිවිය.විවාදාත්මක චිත්‍රපට නිපැයුම්කරු අශෝක හඳගමගේ චිත්‍රපටි දැනට රටෙහි පවත්නා වර්ගවාදී ගැටුම් පිළිබඳ යථාර්තවාදී සැබෑ විග්‍රහයක් කෙරෙන ඒවා බව සිනමා කර්මාන්තයට අදාළ බොහෝ විද්වතුන්ගේ අදහස වේ.ඔහු චිත්‍රපට පහක් නිර්මාණය කරඇත.“සඳ දඩයම,චන්ද්‍ර කින්නරී,මේ මගේ සඳයි,තනි තටුවෙන් පියාඹන්න,අක්ෂරය” මෙම චිත්‍රපට පහ වේ.මේවා බොහෝ ජාත්‍යන්තර සිනමා උළලෙවල් වලදී තිළිණ ලබාගෙ ඇත.ඔහු බොහෝ අවස්ථාවල චිත්‍රපට පරීක්ෂක මණ්ඩලයේ තහංචි වලට ලක්විය.මෑතකදී ඔහුගේ අක්ෂරය චිත්‍රපටය ලංකාවේ තහනමට ලක්විය.මෑත අතීතයේ ප්‍රදර්ශනයවූ සූරිය අරණ,සමනල තටු,හිරිපොද වැස්ස යන චිත්‍රපට ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් සිනමා ශාලාවලට ඇද ගැනීමට සමත්ව ඇත.සූරිය අරණ චිත්‍රපටය ශ්‍රී ලංකාවේ චිත්‍රපට ඉතිහාසයේ වැඩිම ආදායම් වාර්ථා තැබූයේ මිලියන 121 ක වාර්ථා ආදායමක් ලබමින් ය.ජැක්සන් ඇන්තනීගේ අබා චිත්‍රපටය ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම මුදලක්,එනම් රුපියල් මිලියන 60 ක් වැය කළ චිත්‍රපටය වේ.චීනය,ඉතාලිය සහ ඕස්ට්‍රේලියාව ආදි රටවල මෙම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය දැක්වීමෙන් පසු එම රටවල චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම පිළිබඳව උනන්දුවක් දක්වා ඇත.චීනය විශේෂයෙන්ම මෙය චීන බසට හඬකවා ප්‍රදර්ශනය කිරීමට උනන්දුවක් දක්වා ඇත.අබා 2008 අගෝස්තු 8 තිරගත කරන ලදී.2009 වනවිට එය අවුරුද්දකට මිලියන 7.2 ක පමණ පැමිණීමකට ලක්විය.1979 දී 365 ක් වූ සිනමාහල් සංඛ්‍යාව 147 ක් දක්වා පහත වැටී ඇත.2010 අවසානය වනවිට වාර්ශික සිනමාශාලා ආදායම මිලියන 5.5 දක්වා පහත වැටුණි.ජාතික චිත්‍රපට සංස්ථාව විසින් නිකුත් කරන ලද දේශීය චිත්‍රපට සංඛ්‍යාව පහළොවකි.ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ චිත්‍රපට බෙදා හැරීම සහ ආනයනය පෞද්ගලීකරණය කිරීම හේතුවෙන් සිනමාහල් වලට වාර්ශිකව පැමිණීම පහත වැටුණි.ජාතික චිත්‍රපට සංස්ථාව පදනම් කරගත් ශ්‍රී ලාංකික සිනමාවේ අනාගතය පැහැදිලිවම අඳුරු විය.මෑත වසරවලදී ආලෝකා උදපාදී,අබා,පත්තිනි,මහරජ ගැමුණු සහ හෝ ගාන පොකුණ වැනි ඉහළ චිත්‍රපට කීපයක් සාර්ථක ප්‍රතිඵල අත්පත් කර ගත්හ.

5.ශ්‍රී ලංකා සිනමාවේ නව ප්‍රවණතා:


ශ්‍රී ලාංකීය සිනමාව ඩිජිටල්කරණයේ නව යුගයකට කැටුව යමින් 8 වසරකට පසු “ජනාධිපති සිනමා සම්මාන උළෙල -2017”අති උත්කර්ෂවත් අයුරින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලදී.මේ අනුව ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් 1979 වසරේදී මෙරටට හඳුන්වාදුන් ජනාධිපති සිනමා සම්මාන උළෙල වසර අටක නිහැඩියාවෙන් පසු මෙලෙස නැවත ආරම්භ විය.මේ අනුව සිනමාවේ නව ප්‍රවණතාවක් ලෙස ජනාධිපති සිනමා සම්මාන උළෙල පෙන්වාදිය හැකිය.එමෙන්ම සම්පූර්ණ සැලසුමක කොටසක් ලෙස සිනමා කර්මාන්තය සංවර්ධනය ක්‍රියාදාමයක් ලෙස මහබැංකුව විසින් අවධානය යොමුකරන ලදී.
1898 දී චලන රූප කලාව ආරම්භ වීම.
ශ්‍රී ලංකාවේ සිනමා ඉතිහාසය අග දක්වා දිව යන්නකි.සහතික නොකරන ලද මූලාශ්‍ර දක්වන පරිදි පළමු චලන රූප ප්‍රදර්ශනය සිදුවූයේ මුදල් ගෙවා නැරඹූ ප්‍රේක්ෂක සභාවකට කොළඹ හුනුපිටියේ පිහිටි මහජන ශාලාව නම් ස්ථානයකදීය.එනම් 1898 ජනවාරි 8 වැනි දිනයකදීය.එය සිද්ධවූයේ පැරීසියේදී ලුමියේර් සහෝදරයන් විසින් 1895 දෙසැම්බර් 28 වැනිදා චලන රූප දර්ශනයක් ප්‍රථමයෙන් තිරගත කිරීමෙන් වසර තුනක් වැනි සුළු කලකට පසුවය.
1972 දී රාජ්‍ය චිත්‍රපටි සමාගමේ උප්පත්තිය.
සත්‍යය ශ්‍රී ලාංකීය වූ සිනමා කර්මාන්තයක් ශ්‍රී ලංකාව තුළ දිරිගැන්වීම සඳහා 1971 දී අංක 47 පනත යටතේ ජාතික චිත්‍රපට සමාගම 1972 ජනවාරි 21 වැනිදා පිහිටුවන ලදී.ඒ සමගම වෘත්තීය සිනමා කර්මාන්තයේ නව යුගයක් උදාවිය.සමර්ථ සිනමා අධ්‍යක්ෂකවරුන්ට,නිෂ්පාදකයන්ට ඹවුන්ගේ තිරපිටපත් හා කුසලතා අනගිත්වය ඇගයුම් කිරීමෙන් අනතුරුවත් අධ්‍යක්ෂකවරුන්,කලාකරුවන් හා තාක්ෂණික අංශයේ අයගේ දැනුම හා සමර්ථ බව තක්සේරු කිරීමෙන් අනතුරුවත්, NFC මගින් ඔවුන්ට ණය ලබාදුණි. NFC මගින් රටේ නිෂ්පාදනය වූ සියළුම චිත්‍රපට ප්‍රදර්ශනය කරමින් චිත්‍රපට බෙදාහැරීමේ කාර්යභාරයද ඉටුකරන ලදී.පරිස්ථානය හා ඔවුන් සතු උපකරණ සලකා බැලීමෙන් ඒ අනුව සිනමාහල් ශ්‍රේණිගත කරනු ලැබීය.එහි ප්‍රතිඵලයක් වශයෙන් කර්මාන්තයේ සංවර්ධනය කිසිකලක නොතිබූ ලෙසින් වර්ධනය විය.1972 ඇතුල් වීමේ ප්‍රවේශපත් මිලියන 30ක සිට 1979 වෙද්දී මිලියන 74.4 දක්වා ඉහළ ගියේය.රටපුරා පැවත් සිනමා හල් 1979 වෙද්දී 359 දක්වා ඉහළ ගියේය.1972 දී(සිලෝන් තියටර්ස් සහ සිනමාස්)බෙදාහරින පරිපථයන් දෙක විවිධ වර්ගවල චිත්‍රපට වලට ඉඩ දෙමින් පරිපථ පහක් දක්වා වැඩිකරන ලදී.පස්වැනි පරිපථය කලාත්මක බැවින් ඉතා ඉහළ අගයෙන් යුතු වූවට පමණක් වෙන්කෙරිණ.දේශ්‍රිය චිත්‍රපට තිරගතකරන කාලය 20% සිට 58% දක්වා ඉහළ යන ලදී.
1978 දී ආර්ථිකයේ දොරවල් විවෘත වීම.
වැසුණු රටේ ආර්ථිකය විවෘත බවට හැරවූයේ 1978දීය.වෙනස් වීමත් සමග රටේ ආර්ථික වාර්තාවරණය ඉතා දැඩි වෙනසකට ලක්විය.මේ ලිබරල්වාදී තත්ත්වයන් යටතේ බොහෝ කර්මාන්තයන් තරඟයට විවෘත විණි.සිනමා කර්මාන්තයේ විශේෂයෙන් වෙනසක් සිදුවූයේ නැත. NFC රෙගුලාසි යටතේ වුවද නිෂ්පාදනය හා සිනමා ප්‍රදර්ශනය පුද්ගලික හිමිකම් යටතේ සිද්ධවුණි.චිත්‍රපටි බෙදාහරින ලද්දේ NFC විසින් පමණකි.මේ සැකැස්ම එවක පැවති තත්ත්වයන් සමගත්,සිනමා කර්මාන්තයක් හැටියටත්,ලාබදායී වූවක් ලෙස හොඳින් ගැලපුණි.අනෙක් රටවල් වගේ නොව,රටේ නිෂ්පාදනය වූ හැම චිත්‍රපටියක්ම ප්‍රදර්ශනයට අවස්ථාව සහතික වුණි.අනෙක් කර්මාන්ත සමග සසඳද්දී ,චිත්‍රපටි නිෂ්පාදනය සඳහා යට කරන ලද මුදල් වලින් සහතික ලෙසින් ලාභ උපයන්නට හැකිවුණි.මේ තත්ත්වය පවතිද්දී NFC විසින් අලුතින් එන සිනමාකරුවන්ට සුදුසුකම් අවශ්‍යතාවය යටතේ ඇත්ල්විය හැකි බාධක ලිහිල් කරන ලදී.චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්නට ආ හැම කෙනෙකුටම පාහේ අවසරය හා ණය ලැබිණි.
1995 දී සිනමාවේ අර්බුදය හඳුනා ගැනීම.
රටේ සිනමාව අර්බුදයක ඇතැයි 1995 දී නිල වශයෙන් හඳුනා ගැණිනි.මහාචාර්ය සේනක බණ්ඩාරනායක මූලිකත්වයෙන් ආණ්ඩුව විසින් “ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තය ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය පිණිස වූ ජනාධිපති කොමිසම ”පිහිටුවන ලදී.මේ කොමිසම සාමාන්‍යයෙන් හැඳින්වූයේ සේනක බණ්ඩාරනායක කොමිසම(SBC) යනුවෙනි.ඒ 1995 අගෝස්තුවේදීය. SBC යට පැවරී තිබූ මෙහෙය වූයේ කර්මාන්තයේ පවතින තත්ත්වය හදාරා එහි ප්‍රතිසංස්කරණයට හා සංවර්ධනයට නිර්දේශ ඉදිරිපත් කිරීමයි.වසරකින් ඒ විමසුම සම්පූර්ණ කළ කොමිසම වාර්ථාවක් 1997 ජනවාරියේ දී ඉදිරිපත් කරන ලදී.ඒ ශ්‍රී ලංකා සිනමාවේ 50 වැනි ජයන්තියයි. SBC 1997 වාර්තාවේ කියවෙන පරිදි ශ්‍රී ලංකා සිනමාව පැවතියේ 1982 තරම් ඈත කාලයක සිට පැවත එන දරුණු අර්බුදකාරී තත්වයකි.ශ්‍රී ලංකා සිනමා කර්මාන්තය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ 1997 චාර්තාවෙන් උපුටා ගත්කළ“සුළු පිරිසක් දකින්නේ සිනමා කර්මාන්තය දැනටමත් මියගිහින් ඇති බවයි.අනිත් අය දකින්නේ මෙය මාරාන්තික රෝගියෙක් බවයි.සමහර අය තර්ක කරන්නේ සිනමා කර්මාන්තය මේ වර්තමාන තත්වයට ගෙනවිත් ඇත්තේ නොසැළකිල්ල හා අපහරණයකින් බවත් විශාල වශයෙන් කරන රුධිර පාරවිලනයක් නොමැතිව එය ගොඩ ගන්නට නොහැකි බවයි.”
2001 දී NFC බෙදාහැරීමේ මොනපොලිය අත්හරියි.මේ නිර්දේශ මත පදනම් වී බලවත් පරිශ්‍රමයක් දරනා කර්මාන්තයට විසඳුමක් වශයෙන් NFC විසින් චිත්‍රපටි බෙදා හරින මොනොපොලිය කොමුපැණි පහක් යටතේ බෙදාහැරිණ.SBC විසින් සිනමාවේ ප්‍රෙක්ෂක සංඛ්‍යාව පහළ වැටීම ගෝලීය ප්‍රවණතාවක් ලෙසින් හඳුනාගෙන ඇත.මේ අනුව බලන කළ පළමු සිංහල චිත්‍රපටිය දශකයක් ගෙවී යන්නට මත්තෙන් ලංකා සිනමාව ගැන ලෝකයම දැනගනී.ප්‍රවීන සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් රේඛාව චිත්‍රපටිය 1956 දී කෑන්ස් සිනමා සම්මානය දිනා ගන්නා ලදී.එමෙන්ම මෙම කාල වකවානුව සත්‍යජිත් රායී ඉන්දීය සිනමාවට නව කලාත්මක මුදුන් පෙත්තට යන ලදී.මේ අනුව එකළ ගෝලීය ප්‍රවණතාවත් සමග එක සමානව තිබී ඇත.50 ගණන් 60 ගණන් මුලදී තරම් ඈත කාලයක ලංකා සිනමාව එහි පැවැත්ම ලෝක සිතියමේ සටහන් කර තිබුණි.චිත්‍රපටි නිෂ්පාදනයේ සහ අලෙවිකරණයේ වූ නම්‍යශීලී නොවූ තත්ත්වයන් අතර ලංකා සිනමාව,පටන් ගත් තාක්ෂණික වෙනස්කම් වලට අනුව හැඩගැසී පරිණාමය වෙන්නට තරම් නම්‍යශීලී නොවීය.ලෝක සිනමාවේ පවතින වර්තමාන ඩිජිටල් යුගයේදී ක්‍රම ක්‍රමයෙන් සිදුවූ කාන්තිය ශ්‍රී ලංකාව තුළ සිදුවූයේ නැත.එහි ප්‍රතිඵලයක් වශයෙන් සුළු ප්‍රමාණයකින් සිද්ධ වූ ඒකභාවී ප්‍රයන්තයන් හැරෙන්නට ලංකා සිනමාව අන්තර්ජාතික වෙළඳපොළේ නිසියාකාරයෙන් පිහිටා නැත.එගෙත් වර්තමානය වන විට ඩිජිටල් යුගයකට සම්ප්‍රාප්ත වී ඇත.ඩිජිටල් තාක්ෂණය විසින් චලන රූප කලාව තවත් ප්‍රජාතන්ත්‍රවාදී කරඇත.මේ අනුව ඩිජිටල් තාක්ෂණය හරහා කැමති කෙනෙකුට චිත්‍රපටියක් නිර්මාණය කොට අන්තර්ජාලයට එකතු කළ හැකිය.මේ අනුව සිනමාවේ ප්‍රධාන නව ප්‍රවණතාවක් ලෙස ඩිජිටල් යුගයට සම්ප්‍රාප්ත වීම පෙන්වා දිය හැකිය.


සාරාංශය


සිනමාව යනු සාමූහික පුකාශන මාධ්‍යකි.චිත්‍රපටය,සිනමාව,චලන චිත්‍රය හෝ මූවි යන යන වචන වලින් හැඳින්වෙන මාධ්‍යයේ ඓතිහාසින වර්ධනය පිලිබඳ කෙරෙන විස්තරය චිත්‍රපට ඉතිහාසය තුළ අන්තර්ගත වේ.චිත්‍රපට ඉතිහාසය යනු 19 වන ශතවර්ෂයේ අගභාගයේ සිට වර්තමානය දක්වා වසර 100යකට අධික කාලයක් පුරා විහිදී යන්නකි.20 වන හා 21 වන ශතවර්ෂ තුළ ජනමාධ්‍ය තුළින් සන්නිවේදනය සහ විනෝදාස්වාදය ඇතුළත් ඉතාමත් වැදගත් ක්ෂේත්‍රයක් ලෙස සිනමාව හැඳින්විය හැකිය.මෙහි පදනම වනුයේ දෘෂ්ටියේ අඛණ්ඩතාවයයි.ලාංකේය සිනමාවේ ආරම්භය ලෙස සැලකෙන්නේ 1925 දී නූර්බායී විසින් නිපදවනු ලැබූ රාජකීය වික්‍රමයයි.මෙහි එන්.එම්. පෙරේරා ප්‍රධාන නළුවා වන අතර ප්‍රධාන නිළිය වූයේ සිබිල් ෆීට් වේ.ඉන්පසු සිංහල සිනමාවේ ආරම්භය ලෙස සලකනුයේ එස්.එම් නායගම් විසින් 1947 දී නිෂ්පාදනය නළ කනවුණු පොරොන්දුවයි.පසුව 1956 දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් රේඛාව නිෂ්පාදනය කරනු ලැබූයේ එය ප්‍රථම එළිමහන් චිත්‍රපටය ලෙසයි.මෙලෙස ආරම්භ වූ සිංහල සිනමාව විවිධ දශකයන් ඔස්සේ ප්‍රචලිත විය.ෙම් අනුව සිංහල සිනමාව තුළ ඇතිවූ සුවිශාල වර්ධනයක් ලෙස ප්‍රථම වර්ණ චිත්‍රපටිය වන රන්මුතු දූව නිර්මාණය පෙන්වා දිය හැකිය.එතැන් පටන් අද දක්වා විශාල කෘෑති සංඛ්‍යාවක් ශ්‍රී ලාංකීය නිර්මාණකරුවන් විසින් සිංහල සිනමාවට දායාද කරනු ලැබ ඇත.කෙසේ වුවුද සිංහල සිනමාව අන්තර්ජාතික පිළිගැනීමකට ලක්කරනු ලැබූ සිනමාකරුවන් අතරින් ලෙස්ටර් ජේම්ස් පීරිස් යන නාමය ඉතා වැදගත් තැනක් උසුලයි.ඔහු විසින් නිර්මාණය කරන ලද වෑකන්ද වලව්ව චිත්‍රපටය,හොඳම විදේශ භාෂා චිත්‍රපටය සඳහා පිරිනැමෙන ඇකඩමි සම්මානය ලැබූ ප්‍රථම චිත්‍රපටය වේ. මේ අනුව 60 දශකය ගත් කළ කුරුළු බැද්ද, රන්මුතු දූව, සිකුරු තරුව, ගම්පෙරළිය, ගැටවරයෝ,චණ්ඩියා, සාරවිට,දෙලොවක් අතර, සත්සමුදුර,පරසතු මල්,රන්සළු,ගොළු හදවත,දහසක් සිතුවිලි,හන්තානේ කතාව,බක්මහ දීගේ ආදී නිර්මාණ රැසක් බිහිවූ අතර ,70 දශකයේදී ඩී.බී.නිහාල්සිංහයන්ගේ වැලිකතර(1971),ධර්මසේන පතිරාජගේ අහස් ගව්ව (1974),එයා දැන් ලොකු ළමයෙක් (1977) ,දෑස නිසා (1975), කළුදිය දහර (1975),වසන්ත ඔබේසේකරගේ වල්මත් වූවෝ (1976),පතිරාජගේ බඹරු ඇවිත් (1978),සුනිල් ආරියරත්නගේ සරුංගලේ (1979),වැනි සිනමා නිර්මාණ බිහි විය.80 දශකය වන විට ධර්මසිරි බණ්ඩාරනායකගේ හංස විලක්(1980) ,තිස්ස අබේසේකරගේ කරුමක්කාරයෝ (1980), ධර්මසේන පතිරාජගේ සිරිබෝ අයියා(1980) ඩී.බී.නිහාල්සිංහයන්ගේ රිදී නිම්නය (1982) ,වසන්ත ඔබේසේකරයන්ගේ දඩයම(1983) ,කැඩපතක ඡායා(1989),පරාක්‍රම නිරිඇල්ලගේ සිරිමැදුර(1989) වැනි නිර්මාණයන් බිහි විය.මෙලෙස ආරම්භ වූ සිනමාව වර්තමානය දක්වා ඩිජිටල්කරණය වැනි විවිධ ප්‍රවණතාවයන් හමුවේ වර්ධනය වී ඇත.


ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය


ජෝර්ජ් ලෙස්ලි රණසිංහ,සිනමා වංශ කතාව.
තිස්ස අබේසේකර,සිනමා සිතුවිලි.
අරුණ ගුණරත්න,චිත්‍රපටයේ කතාව
තුසිත ජයසුන්දර,චිත්‍රපට වාර්ෂිකය.