01 අංකය ආරම්භයේ දීම කරලියට පිවිසෙන අත්වැල ග්‍රීක දේව පද්ධතියටම අයත් ප්‍රධාන දෙවිවරුනට, දේවතාවියන්ට මේ විපතින් අප මුදවා ගන්නැයි කියයි. අනතුරුව කරළියට පැමිණෙන ඊඩිපස් පිටතින් තමා මේ මරණය සම්බන්ධයෙන් කිසි දෙයක් නොදන්නා බව කියයි. මේ මරණයට සම්බන්ධ සිටිනම් ඉදිරිපත් වන්නැයි කියයි. එසේ ඉදිරිපත් වන්නෙ නම් ලිහිල් දඩුවමක් ලබාදී පිටුවහල් කරන බව පවසයි. එසේත් නොමැති නම් මේ අපරාධය ගැන හෝඩුවාවක් දන්නා කෙනෙක් සිටීනම් ඔහුට පුද පඩුරු දෙන බවද පවසයි. එසේ කෙනෙක් නොමැති වූයෙන් අපරාධකරු සොයා දැඩි දඩුවම් පමුණුවන බවත්, තමා එය අකුරටම සිදුකරන බවත් පවසයි. මේ දඩුවමට තමා වුවද යටත් බව පවසයි. යම් කෙනෙක් මේ ඝාතනය කලේද තම පියා මැරූ අයෙකු සොයන මෙන් මේ සම්බන්ධව කටයුතු කරන බව පවසයි. ඉන් නොනැවතුනු රජු, ලායියුස් රජු මැරූ කෙනා,
" වසංගතයකින් පෙළෙන කෙනෙක් වේවා !
පාළුවේවා උන්ගේ කුඹුරු පිටි
වද බවින් පෙළෙත්වා උන්ගේ අඹුවනගේ කුස් ..." යනුවෙන් සාප කරයි. මෙයින් රජු කෙතරම් උනන්දුවකින්, කැපවීමකින් යුතුව තම යුතුකම ඉටු කිරීමට කැපවී ඇත්දැයි පැහැදිලි වේ. ඒ අනුව පාලකයෙක්ට සුදුසු පෞර්ෂයකින් යුතුව ප්‍රශ්නයට අවතීර්ණ වීමක් මෙහිදි දැකගත හැකිය.
අනතුරුව පේනයක් බලා මේ පිළිබඳව අදහස් දැක්වීම සදහා ටෙරෙසියාස් පූජකතුමා කැදවන්නැයි අත්වැල ඉල්ලීමක් කරයි. එහෙත් මේ වන විට වරක් නොව දෙවරක්ම රජු පණිවිඩ යවා තිබුණි. ටෙරෙසියාස් පැමිණෙන තුරු අත්වැල සමග රජු කරන සංවාදය තුලින් නාට්‍යට වැදගත්වන පුරාවෘත්තයේ සිද්ධි ප්රේක්ෂකයනට යලිදු මතක් කර දෙනු ලබයි. මේ මොහොතේ කණවැල අල්ලාගත් ළමයෙකු සමග අන්ධ ටෙරෙසියාස් පියතුමා වේදිකාවට පැමිණේ.
රජු ගෞරව පූර්වකව පූජක තැන පිළිගනී. ලායියුස් රජු මැරූ පවිටුවා හෙළිකර තීබවාසී සියළු දන දුකින් මුදවා දෙන්නැයි ආයාචනය කරයි. ඒත් ටෙරෙසියාස් ගේ ප්‍රකාශය රජු අන්දමන්ද කරයි. තමාට ආපසු යන්න ඉඩ දෙන්නැයි කියයි. ඊඩිපස් රජු නොදැන ගත්තද පුරාවෘත්තය දන්නා ප්‍රේක්ෂකයා පූජක තැන මේ පිළිබදව කුමන අයුරින් වේද, රජු ඊට දක්වන ප්‍රතිචාරය කුමක්වේද යන්න කුහුලින් කුහුලට පත්වේ. මෙය නම් ප්‍රේක්ෂක මනස නාට්‍ය හා දඩිලෙස බද්ධ කිරීමකි.
රජු ඉතා බැගෑපත්ව නුවර විනාශ වන මේ විපතින් ජනතාව මුදවා දෙන්නැයි ඉල්ලයි. යලි යලිත් ආයාචනය කරයි. ටෙරෙසියාස් පූජකතුමා ඊට නිරුත්තර වන විට රජු කෝපවෙයි.
" කිසිවක් කියන්නෙ නෑ, අකෘතඥය නිවටයා. ගහක් ගලක් වුවත් කෝප ගන්නවා. තා එහෙනම් කිසිදෙයක් කියන්නෙ නැද්ද ? හිතුවක්කාර තීරණයෙම එල්බ ගෙන ඉන්නද හිතන්නේ ?"
රජු මේ අන්දමට කටයුතු කරද්දි, පූජක තැන නිරුත්තර වීම ගැන රජූ කෝපවීම සාධාරණය. රජු කෝප වුණා පමණක් නොව මිණීමරු චෝදනා නගමින්, මේ රුදුරු අපරාධයට පූජක තැන සම්බන්ධ යැයි චෝදනා කරයි. එම ප්‍රකාශය, ටෙරෙසියාස් ද කෝප ගන්වන සුළු ප්‍රකාශයක් විය. එකිනෙකා කෝප ගැන්වීම තුළින් මතුවන තත්වය නාට්‍ය විකාශනයට ඉවහල් විය. ප්‍රේක්ෂකයා තවදුරටත් අවදියෙන් තැබීමටත්, නාට්‍යමය අවස්ථා කුළු ගැන්වීමටත් හේතු සාධක වෙයි.
ඊඩිපස් සහ ටෙරෙසියාස් අතර ගැටුම උච්ච අවස්ථාවට පත්වෙත්ම පුරාවෘත්තයේ තොරතුරු දිගින් දිගටම ටෙරෙසියාස් ගේ මුවට නංවන අතර තේමාව විකාශනය කිරීම සදහා එමගින් නාට්‍යකරු ප්‍රබල සහයක් ලබාගනී. මෙය ඊඩිපස් රජුවත්, ප්රෙක්ෂකයාවත් කිසිසේත්ම බලාපොරොත්තු වූවක් නොවේ. ටෙරෙසියාස් ගෙන්වීමෙන් බලාපොරොත්තු වූයේ පවතින තත්වයට විසදුමකි. එහෙත් නොසිතු තත්වයකට දැන් එය පෙරලී ඇත. මෙය නම් ක්රීයෝන් සමග කරන ලද කුමන්ත්රණයකැයි සිතන රජු කෙලින්ම ඔවුනට කුමන්ත්‍රණ චෝදනා නගනු ලබයි.
ටෙරෙසියාස් ආපසු යන්නෙ නුඹ සොයන වරදකරු අන් කිසිවෙකු නොව නුඹමය කියමිනි. අනාගතයේ සිදුවන දෙය ප්‍රේක්ෂකයා ඉදිරියේ තබමින් 1 අංකය අවසානයට පෙර එන අත්වැල ඊළග අංකයට හොද ප්‍රවේශයක් සපයනු ලබයි. එපමණක්ද නැත. ටෙරෙසියාස් කියු කරුණු දෙස යථාර්ථවාදීවම බලයි. අපරාධකරු සොයා ගත යුතුය. මිහිකත පවා ඔහුට පලි ගසනු ඇත.
"බොහෝ කරුණු මන්ත්රකරු කීවෙහි
එහි ඇත්ත නැත්ත ගැන සිතා ගැනීමට නොහැක."
ඊඩිපස් නාට්‍යයේ සිද්ධි ගැලපීමේ ඇති තර්කාණූකූල බාවයට මෙය හොද නිදසුනකි. නාට්‍යයේ සිද්ධි දාමයේ එන භාවමය පරිසරය මනා තිවෘ කිරීමකි. පුරාවෘත්තයේ කුමක් කීවද පුරාවෘත්තය මෙහි පසුබිමෙහි තිබුණද නාට්‍යයකින් සිදුවිය යුතුදෙ ඒ අයුරින්ම ඉටු කීරීමට සොෆොක්ලීස් වගකීමෙන් යුතුව කරතී. සිද්ධි හා චරිත මගින් ලෙයින් සෑදුණු මිනිසුන්ගේ අන්‍යොන්‍ය ආශ්‍රය හා එහිදි උනුන් කෙරෙහි කරන ප්‍රතික්‍රියා නිසා මතුවන හේතුඵල නිගමනයන්ට අනූව ගොඩනගනු ලබයි. තත්වය එසේනම් ටෙරෙසියාස් කියන දේ ඒ අයුරින්ම පිළිගත යුතුද? නැත. මේ සා විශාල වැඩ කොටසක් කළ ජනතා ප්‍රසාදයට පත්වූ පාලකයෙකු ටෙරෙසියාස් කී පමණින් අපරාධකරු වෙකු කල යුතුද? නැත. අත්වැල කියනු ලබන්නෙ මේ යථාර්තය මිස අන්කවරක්ද? සොෆොක්ලීස්, ඊඩිපස් හා ටෙරෙසියාස් ගැටුම ඔස්සෙ නාට්‍ය අවස්ථා වර්ධනය කරයි. ඊඩිපස් චරිතය යථාර්ථවාදීව ගොඩනංවනු ලබයි.
රචනය ✍️ සදුනි නිසංසලා